දිනේෂ් ගුණවර්ධන ලිස්සුවේ ඇයි?

472

තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව අවි අමෝරාගත් ආරක්ෂකයින් සමග ස.ජ.බ. නායක සජිත් පේ‍්‍රමදාස ‘මිනි කූපර්’ විරෝධතාවයක  – පින්තුරය තුෂාර අතපත්තු
 

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය ඉතාමත් අනතුරුදායක මාර්ගයක ගමන් කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අතර ගැටුම නව මුහුණුවරක් ගෙන ඇත. ආණ්ඩු කණ්ඩායමේ හවුල්කාර පක්ෂ අතරද ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වීමට හේතුවනු ඇත. ගම්මන්පිල -කාරියවසම් ගැටුම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කුඩා පක්ෂවලට බලපාන්නේ කෙසේද? පසුගිය සඳුදා දෙරණ නාලිකාවේ ‘360’ සජීවී දේශපාලන වැඩසටහන මෙහෙයවූ මා මිත‍්‍ර සංඛ අමරජිත් පිවිතුරු හෙළ උරුමය නායක ගම්මන්පිලට බරපතළ ප‍්‍රශ්නයක් අපූරු ආකාරයකට ඉදිරිපත් කළේය. කවදත් සිනහමුසු මුහුණින් වැඩසටහන් මෙහෙයවන අමරජිත් ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ඔහුට එරෙහිව කථානායක මහින්ද යාපා අබේවර්ධනට ඊට පසුදින භාර දීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණ නායක දිනේෂ් ගුණවර්ධන ගත් ස්ථාවරය පිළිබඳවය.

ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණේ ස්ථාවරය මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ‘එතුමා ඉතා සීරුවට ලිස්සා යනවා. එතුමා පවා අවිනිශ්චිත තැනක ඉන්නේ,’ යැයි අමරජිත් පෙන්වා දීම ආණ්ඩු කණ්ඩායමේ බෙදීම අවධාරණය කිරීමක් නොවන්නේද? ගම්මන්පිල පෙන්වා දුන්නේ ආණ්ඩුවේ සභානායකවරයාගේ අවිනිශ්චිත ස්ථාවරය සම්බන්ධයෙන් එතුමාගෙන් ප‍්‍රශ්න කළ යුතු බව පෙන්වා දුන්නේය. ‘ඇත්තටම එතුමාව මෙතැන වාඩිකරගෙන අහන්න ඕනෑ,’ ගම්මන්පිල අමාත්‍යවරයා පැවසීය.

තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් කාරියවසම් අතර ඇති වූ ගැටුමේදී මහජන එක්සත් පෙරමුණ කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටියේ නැත. පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන, නීතිඥ සිසිර ජයකොඩි පිළිවෙළින් කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්ක නියෝජනය කරයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලැයිස්තු හරහා තරඟ කළ එම දෙදෙනාට අමතරව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් හිමිවිය. එම අසුන දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ පුත‍්‍රයා වන යදාමිණිට හිමිවිය. ආණ්ඩු කණ්ඩායමට හිමිවූ මුළු ජාතික ලැයිස්තු ධුර ගණන 17 කි. පිවිතුරු හෙළ උරුමයට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර හිමිවූයේ නැත. එම පක්ෂයෙන් තරඟ කර මැති සබයට ඇතුළු වූයේ ගම්මන්පිල පමණි. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරඟ කළ එතුමා ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් විය.

තෙල් මිල සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමේදී මහජන එක්සත් පෙරමුණ ගම්මන්පිල අමාත්‍යවරයා සමඟ සිට ගත්තේ නැත. මහජන එක්සත් පෙරමුණ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ නායක), ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර (ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ) මෙහෙයවන කඳවුරේ නැත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික අරමුණක් වූ 20 වැනි සංශෝධනය බලාත්මක කිරීම සහ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට ඉන්දියාව හවුල් කර ගැනීම සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණ වීරවංශ – ගම්මන්පිල – වාසුදේව කණ්ඩායම සමග සාමුහික ස්ථාවරයකට පැමිණියේ නැත. වීරවංශ – ගම්මන්පිල – වාසුදේව පිල සමග යම් අර්බුදකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනට එකට සිට ගැනීමට හැකිද? දෙරණ නාලිකාවේ අමරජිත් විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන ‘ඉතා සීරුවට ලිස්සා යනවා’ පෙන්වා දෙනු ලැබුවේ එතුමා මෙම අර්බුදකාරී තත්ත්වය තුළ ක‍්‍රියා කරන ආකාරයද?

තෙල් ගැටුම තුළ මෙම බෙදීම තවදුරටත් තීව‍්‍ර වූ බව පැහැදිලිය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරු 8 දෙනෙකු ජුනි 14 වන දින ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලය හරහා නිකුත් කළ නිවේදනයක කාරියවසම් මන්ත‍්‍රීවරයාට ප‍්‍රබල ප‍්‍රහාරක් එල්ල කර තිබිණි.

ජනතාව ඉදිරියේ ආණ්ඩුව අනවශ්‍ය අර්බුදයකට ඇද දමා ඇති බවට කාරියවසම්ට චෝදනා කළ එම කණ්ඩායම ආණ්ඩුව තුළ ක‍්‍රියාත්මක කල්ලිවාදය සම්බන්ධයෙන් ද කුකුසක් ජනතාව ඉදිරියේ තබා ඇති බව අවධාරණය කර ඇත. තවදුරටත් එම කණ්ඩායම මතු කළේ මෙවැනි කට්ටිවාදී සහ අපරිණත ක‍්‍රියාවන් ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු විය හැකි බවයි. එම නිවේදනයට මහජන එක්සත් පෙරමුණ අත්සන් තබා නැත. ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා දැක්වීමට එම පක්ෂය බැඳී නැත.

එම නිවේදනයට අතුරලියේ රතන හිමි (අපේ ජනබල පක්ෂය), විමල් විරවංශ (ජාතික නිදහස් පෙරමුණ), වාසුදේව නානායක්කාර (ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ), තිස්ස විතාරණ (ලංකා සමසමාජ පක්ෂය), ඒ. එල්. එම්. අතාවුල්ලා (ජාතික කොංග‍්‍රසය ), ජී වීරසිංහ (ශ‍්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂය), ටිරාන් අලස් (එක්සත් මහජන පක්ෂය) සහ අසංක නවරත්න (ශ‍්‍රී ලංකා මහජන පක්ෂය) අත්සන් තබා තිබිණි. එම අට දෙන අතරින්, මහාචාර්ය තිස්ස විතාරණ සහ ටිරාන් අලස් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත්වීම් ලැබූ 17 අතර සිටිති.

මහජන එක්සත් පෙරමුණ මෙන්ම ‘යුතුකම’ ජාතික සංවිධානය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංග ද එම නිවේදනයට අත්සන් තබා නැත. මහජන එක්සත් පෙරමුණ සහ ‘යුතුකම’ සමග ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම තෙල් මිල සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් යම් එකඟතාවයකට පැමිණීමට යම් උත්සාහයක් කළාද?

ගෙවිඳු කුමාරතුංගට අමතරව කළුතරින් තරඟ කළ අනූප පැස්කුවල් ‘යුතුකම’ නියෝජනය කරයි. අපේ ජනබල පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවකරුවකු නොවන අතර එම පක්ෂයේ එකම ආසනය සම්බන්ධයෙන් නැවතත් සංවාදයක් ඇතිවී ඇත. අගෝස්තු 2020 පැවති මහමැතිවරණයේදී නාමයෝජනා ප‍්‍රතික්ෂේප වූ නිසා එම පක්ෂයේ ප‍්‍රධානියෙකු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට තරඟ කිරීමට නොහැකි විය. රතන හිමි ගම්පහට තරඟ කර පරාජය විය. ඥානසාර හිමි පවසන්නේ රතන හිමි ඉල්ලා අස්වී එම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය තමන් වහන්සේට ලබා දිය යුතු බවයි. තෙල් මිල සම්බන්ධයෙන් ගැටුමේදී රතන හිමියන් ගත් තීන්දුව අපේ ජන බල පක්ෂයේ තීරණයද? එම කණ්ඩායමේ ඉතිරි පක්ෂ හත ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ වන අතර ජාතික නිදහස් පෙරමුණට මන්ත‍්‍රීවරුන් හය දෙනෙකු වර්තමාන පාර්ලිමේන්තුවේ ඇති අතර ඉතිරි පක්ෂ නියෝජනය එක පක්ෂයකට එක මන්ත‍්‍රීවරයා බැගිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ තෙල් මිල වහාම වැඩිකිරීම හැර වෙන විකල්පයක් නැති බව පිළිගෙන ඇත. තෙල් මිල ගැටුම හේතුවෙන් වේගයෙන් වර්ධනය වෙමින් පවතින බරපතළ මූල්‍ය අර්බුදය මතුවී ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන පක්ෂ සහ කණ්ඩායම් තෙල් මිල තම තමන්ගේ දේශපාලන වාසියට යොදාගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය තත්ත්වයකි. දෙරණේ අමරජිත් පෙන්වා දුන් ආකාරයට කවුරු විපක්ෂයේ සිටියත් ‘සිල්ලර’ විරෝධතාවල යෙදෙයි. එදා යහපාලන රජය තෙල් මිල වැඩිකිරීමට එරෙහිව පාපැදිවලින් පාර්ලිමේන්තුවට ආ කණ්ඩායම අද බලයේ සිටින පක්ෂයයි. අද තෙල් මිල වැඩිකිරීමට එරෙහිව ප‍්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට යන පාරේ පසුගිය අඟහරුවාදා (ජුනි 22) අපූරු විරෝධතාවයක යෙදුනේය. මන්ත‍්‍රීවරු දෙදෙනකු සහ මන්ත‍්‍රීවරියක පැමිණි ‘අත් ට‍්‍රැක්ටරයක්’ පොලිස් රථයක යාන්තමට ගැටීමට අපුරුය. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මිනි කූපරයක’ නැගී රථ පෙළපාලියට එක්වූයේ අවි අමෝරා ගත් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් සහ ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් සමඟය. ජාතික ලැයිස්තු මන්ත‍්‍රී එරාන් වික‍්‍රමරත්න සමඟ ඔහුගේ පොලිස් ආරක්ෂකයින් ද විය. අද බලයේ සිටින එදා විපක්ෂයේ කණ්ඩායම පාපැදිවලින් පාර්ලිමේන්තුවට පැමිණෙද්දී ඔවුන්ගේ ආරක්ෂකයින් ද පිටුපසින් විය. මේවා ඇත්තටම සිල්ලර විරෝධතා ය.

හිටපු කැබිනට් නොවන ඇමැති සහ සමගි ජන බලවේගය මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද ‘ඩිමෝ බට්ටා’ රථයක් පාර්ලිමේන්තුව දෙසට පැදවූයේ තෙල් මිල ඉහළ දැමීමට එරෙහිවය. තෙල් මිල පිළිබඳව ගැටලූව ශ‍්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ සමස්ත ආර්ථික අර්බුදයේ එක කොටසක් බව ආචාර්ය ද සිල්වා දනී. නමුත් මෙවැනි සිල්ලර විරෝධතාවලට එක්වීමට මහජන නියෝජිතයින්ට සිදුවේ. ලංකාවේ තරු පහේ දේශපාලනය ක‍්‍රියාත්මක වන්නේ එසේය. මෙම ලියුම්කරු කළ විමසීමකදී එතුමා පැවසුවේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන අර්බුදය තෙල් මිල ඉහළ දැමීමෙන් පමණක් විසඳා ගත නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වේදනාකාරී උපදෙස් වහාම ලබාගත යුතු බවත් සමස්ත මූල්‍ය හැසිරවීම උඩු යටිකුරු කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව අවධාරණය කළ මන්ත‍්‍රීවරයා තමා දිගින් දිගටම මෙම තත්ත්වය පෙන්වා දී ඇති බව මෙම ලියුම්කරු සමඟ පැවසීය.

සමගි ජන බලවේගය මන්ත‍්‍රීවරු ඊට පසුදින ද පාර්ලිමේන්තුව තුළ ද විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කළේය. රජයත්, ප‍්‍රධාන විපක්ෂයත් සෙසු පක්ෂ සහ කණ්ඩායම් උත්සාහ කරන්නේ කෙලෙස හෝ ප‍්‍රධාන හෝ සමාජ මාධ්‍ය අවධානය දිනා ගැනීමයි. පාර්ලිමේන්තුව නැවත නගා සිටුවීම තුළින් ශ‍්‍රී ලංකාව නිසි මාර්ගයට ගැනීමට නිසියාකාර ක‍්‍රියාමාර්ගයක් නැත.

වර්තමාන තෙල් මිළ ඉහළ දැමීම නැතහොත් ආර්ථික අර්බුදයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් යොමු කළ යුත්තේ පාර්ලිමේන්තුවට එරෙහිවය. මුල්‍ය පරිපාලනය කඩා වැටීම සම්බන්ධයෙන් වගකීම පාර්ලිමේන්තුව ගත යුතුය. පාර්ලිමේන්තුව මෙම අවාසනාවන්ත තත්ත්වයට වගවිය යුතුය. වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය විමර්ශනය කළ යුත්තේ පාර්ලිමේන්තුව මුල්‍ය පරිපාලනය අතහැර ඇති තත්ත්වයක් තුළය.

ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව කථානායකවරයාට භාර දුන් විශ්වාසභංග කිසිදු තේරුමක් නොමැති නිෂ්පල ක‍්‍රියාවකි. මාධ්‍ය අවධානය දිනා ගැනීමට කළ විකාරයකි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මෙම ලියුම්කරු කළ විමසීමකදී පැවසුවේ අදාළ විශ්වාසභංගය මුදල් ඇමැතිවරයාට (අගමැති මහින්ද රාජපක්ෂ) එරෙහිව ක‍්‍රියාත්මක කළ යුතුව තිබුණේ යැයි පැවසීය. තමන් මෙම අදහස ඉදිරිපත් කරන්නේ මහජන නියෝජිතයකු ලෙස බවත් කිසිලෙසකත් ශ‍්‍රීලනිපයේ මහ ලේකම් ලෙස නොවන බවත් අවධාරණය කළේය. ඔවුන් දෙදෙනාගෙන් කාට එරෙහිව ඡන්ද විමසීමක් කළත්, ආණ්ඩු පක්ෂය කිසිදු අපහසුතාවයකින් තොරව ජයගනු ඇත. ආණ්ඩු කණ්ඩායමේ මන්ත‍්‍රීවරු 145 සිටිති. එයින් 116 ක් ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයින්ය. එම පක්ෂයටම පාර්ලිමේන්තුවේ සුළු බහුතරය ඇත.

මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය තිස්ස විතාරණ සහ අනුර ප‍්‍රියදර්ශන යාපා සභාපතිත්වය දරන වර්තමාන පාර්ලිමේන්තුවේ කොමිටි වාර්තා මාධ්‍ය නිසියාකාරව ජනතාව අතරට ගෙනයෑමට සමත් වූයේ නම් ජනතාව පෝලිම් ගැසී සීනිගම දේවාලයට යනු ඇත. පොල් ගසනු ඇත. සාප කරනු ඇත. සමස්ත රාජ්‍ය අංශයම දූෂණයෙන්, වංචාවෙන් සහ අක‍්‍රමිකතාවලින් වෙලාගෙන ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ අඩු වැඩි වශයෙන් මෙම තත්ත්වයට වග කිව යුතුය. වඩාත් විනාශකාරීවන්නේ වේගයෙන් පැතිරෙන කොවිඞ් වෛරසයේ ‘ඩෙල්ටා‘ ප‍්‍රභේදය ද නැතහොත් දුෂණයට යටවී ඇති තරු පහේ පාර්ලිමේන්තු ක‍්‍රමයද? සමස්ත රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය – පෞද්ගලික එකතුවී ආර්ථිකය වළපල්ලට යැවීම වඩාත් වේගවත් වී ඇත. ණය බරින් මිරිකී ඇති ශ‍්‍රී ලංකාවේ මහජන නියෝජිතයින්ට ටොයෝටා ලෑන්ඞ් කෘසර් ඇණවුම් කිරීමට කැබිනට් පත‍්‍රිකාවක් පසුගිය මාසයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ රටේ සැබෑ මූල්‍ය තත්ත්වය දන්නා මුදල් අමාත්‍යංශයයි. කථානායක මහින්ද යාපා ඒ සම්බන්ධයෙන් කතා කිරීමට මැලිය. මෙම ලියුම්කරු එතුමා කථානායක ලෙස මන්ත‍්‍රීවරුන්ට ‘ටොයෝටා ලෑන්ඞ් කෲසර්‘ ලබා දීමට යම් මැදිහත් වීමක් කළාදැයි විමසු විට ඔහු පැවසුවේ වාහන ආනයනය කිරීම නවතා දමා ඇති තත්ත්වයක් තුළ ඒ සම්බන්ධයෙන් කතා කිරීම අනවශ්‍ය බවයි. කථානායකවරයාට බලපෑම් කිරීමට කළ හැකිද?

අවසානයේදී පෙන්වා දිය හැක්කේ ‘ටොයෝටා ලෑන්ඞ් කෘසර්‘ ආනයනය කිරීමට තීරණය කළ එකෙකු නැති බවයි. මෙවැනි රටක මුල්‍ය වගකීම මෙන්ම මුල්‍ය වගකීම සම්බන්ධයෙන් කතා කිරීමද නිෂ්ඵල ක‍්‍රියාවකි.

ගම්මන්පිල අමාත්‍යවරයා මෑතකදී පුන පුනා අවධාරණය කළ බරපතළ ආර්ථික ගැටලූව සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් ලේකම් එස්. ආර්. ආටිගල ගෙන් රජයේ මුදල් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස විමසා සිටීම අගය කළ යුතුය. පවතින තත්ත්වය තුළ යම් ආර්ථික ගැටලූ මතු වුවද එය කළමනාකරණය කිරීමට උපරිමයෙන් කටයුතු කරන බවට කළ ප‍්‍රකාශය විමසා බැලිය යුතුය. වර්ධනය වෙමින් පවතින අභියෝග අධ්‍යනය කළ යුත්තේ රුපියල් බිලියන 1,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අනුමැතිය දුන් තත්ත්වයක් යටතේය.

සමස්ත දේශපාලන ව්‍යුහයම අවුල්ය. ජනතාවගේ ප‍්‍රශ්න විසදීමට කිසිදු පක්ෂයකට වුවමනාවක් නැත. සියලූම පක්ෂවල ක‍්‍රියාත්මක බලය රැක ගැනීමේ හෝ බලය ලබා ගැනීමට අවශ්‍ය මෙහෙයුම්ය. ආර්ථිකය ශක්තිමත් නොකර තෙල් මිල පාලනය කළ නොහැක. තෙල් සහ විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 737 ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණය වීම ගම්මන්පිල අමාත්‍යවරයාගේ ප‍්‍රශ්නයක් නොවේ. මෙතුවක් කලක් ආණ්ඩු කළ උන් ආර්ථිකයට කළ විනාශය තේරුම් ගත හැකිය. සංධානයක් නියෝජනය කරණු ලබන පක්ෂ වැඩිවන තරමට අවුල් වියවුල් වැඩිය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගය ද ඊට උදාහරණය. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කීමට ඇත්තේද එයමය. වර්තමාන පාර්ලිමේන්තුව පක්ෂ 15 කින් සමන්විත වී ඇත. එම පක්ෂ 15 න් 9 ක ඇත්තේ එක මන්ත‍්‍රීවරයෙකු පමණි. තවත් පක්ෂ දෙකක මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු බැගින් සිටිති. මන්ත‍්‍රීවරු තුන්දෙනෙකු සිටින පක්ෂයක් ඇත. අහෝ පාර්ලිමේන්තුව!

ඉහළ දැමූ තෙල් මිල නැවත පහළ දැමීමට කිසිදු අවස්ථාවක් නොමැති බව හර්ෂ මන්ත‍්‍රීවරයා පමණක් නොව සියලූම මහජන නියෝජිතයින් දනිති. බැසිල් රාජපක්ෂ සිටියා නම් තෙල් මිල ඉහළ දමන්නේ නැති බව ප‍්‍රකාශ කිරීම ජනතාව රැවටීමක් නොවන්නේද. අවසන් වශයෙන් කීමට ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සුපිරි පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත නැවතත් අවධාරණය කරමින් ජනතාව ප‍්‍රතික්ෂේප කළ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ඇතුළු වීමයි. ඇත්ත වශයෙන්ම ජාතික ලැයිස්තුව අවශ්‍ය නැත. එජාප ජාතික ලැයිස්තුවේ සිටින 29 දෙනාවම ඉවතලමින් ප‍්‍රතික්ෂේප වූ වික‍්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවේ මුල් පෙළ අසුනක් හිමිකර ගැනීම ශ‍්‍රී ලංකා දේශපාලනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment