දිනේෂ් දිවයිනම රනින් සරසයි – අම්මේ මම ලෝකය දිනුවා -යුද්ධයේදී වෙඩි වැදිලත් පුතා හමුදාවට ගියා – මව කියයි

479

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 67.79 ක් දුර විසි කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් එහි රන් පදක්කම දිනා ගැනීමට ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සාජන් දිනේෂ් පි‍්‍රයන්ත හේරත් ඊයේ (30 දා) සමත්විය.

දිනේෂ් දිවයිනම රනින් සරසයි - අම්මේ මම ලෝකය දිනුවා -යුද්ධයේදී වෙඩි වැදිලත් පුතා හමුදාවට ගියා - මව කියයි

ඒ අනුව පැරාලිම්පික් උළෙලකදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩකයෙක් ලෝක වාර්තාවක් පිහිටුවීම සහ රන් පදක්කමක් දිනාගත් පළමු ක‍්‍රීඩකයා බවටද ඔහු පත්විය.

 ඔහු මෙවර ශී‍්‍ර ලංකාව නියෝනය කරමින් පැරාලිම්පික් උළෙලට සහභාගි වූ කණ්ඩායමේ නායකයාද වේ. හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් එක් අතක් වැළමිටට පහළින් හෝ ඉහළින් අහිමි කාණ්ඩයෙන් ඔහු තරග කළේය. දිනේෂ් මීට පෙර 2016 රියෝ පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසි කිරීමේ තරගයට සහභාගිවී මීටර් 58.23 ක් දුර විසි කරමින් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

 කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී 2008 වසරේ දෙසැම්බර් 16 දා කිළිනොච්චි ප‍්‍රදේශයේ පැවැති මෙහෙයුමකදී ත‍්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් දිනේෂ්ගේ අතක් සම්පූර්ණයෙන්ම ආබාධිත තත්ත්වයට පත්විය.

 2004 මාර්තු 18 වැනිදා යුද හමුදාවට බැඳුණු දිනේෂ් සාලියපුර ගජබා රෙජිමේන්තුව යටතේ පුහුණුව ලැබීය.

 ආබාධිත තත්ත්වයට පත්වීමෙන් පසු ඔහු ගජබා රෙජිමේන්තුව යටතේ පැරා මලල කී‍්‍රඩා තරග සඳහා පුහුණුවට එක්විය.

 2012 වසරේදී ඔහු යුද හමුදා පැරා මලල කී‍්‍රඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 52 ක් දුර හෙල්ල විසිකර එහි රන් පදක්කම දිනා ගත්තේය. 2012 වසරේදී මැලේසියාවේ පැවැති පැරා මලල කී‍්‍රඩා උළෙලේදී ද මීටර් 52.95 ක් දුර හෙල්ල විසිකර පළමුතැන දිනාගත් අතර 2017 වසරේදී ජර්මනියේ පැවැති පැරා මලල කී‍්‍රඩා උළෙලේදී මීටර් 53.09 ක් දුර හෙල්ල විසි කරමින් දෙවැනි ස්ථානය දිනා ගත්තේය. එසේම එම වසරේදී ලන්ඩන් නුවර පැවැති පැරා මලල කී‍්‍රඩා උළෙලේදී මීටර් 59.90 ක් දුර හෙල්ල විසි කරමින් ද දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.

 උපාලි ද සේරම්, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment