දිනේෂ් ෂාෆ්ටර්ගේ රක්ෂණ මුදල් ගෙවීම අත්හිටුවීමේ නියෝගය ඉවත් කෙරේ

236

අභිරහස් ලෙස මියගිය ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන දිනේෂ් ෂාෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස දන්වමින් ෆෙයාෆස්ට් හා ජනශක්ති රක්ෂණ සමාගමට පසුගිය නඩුවාරයේදී කළ නියෝගය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (15) ඉවත් කිරීමට නියෝග කළාය.

අදාළ පාර්ශ්වයන් වෙත රක්ෂණ මුදල් ගෙවීම අත්හිටුවීමට තවදුරටත් අවශ්‍ය නැතැයි අධිකරණයට හැඟී යන බැවින් එම නියෝගය ඉවත් කරන බවද මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

එම වන්දි මුදල් ලබා ගැනීමට වෙනත් කිසිදු පාර්ශ්වයක් උත්සාහ ගන්නා බවට කරුණු හෙළිවී නැති බවද මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

ෂාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට තහවුරුවී ඇති බැවින් ඒ පිළිබඳව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සහය දැක්වීමක් ලෙස සතියක කාලයක් යනතෙක් අදාළ අයට එම රක්ෂණ වන්දි මුදල් ගෙවීම අත්හිටුවීමට ඉහත සඳහන් රක්ෂණ සමාගම්වල බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මහෙස්ත්‍රාත්වරිය එම වන්දි ප්‍රතිලාභ නොගෙවන ලෙස ඉහත කී සමාගම්වලට පසුගිය නඩුවාරයේදී නියෝග කර තිබුණි.

බොරැල්ල පොදු සුසාන භූමිය අසලදී සිදු වූ අභිරහස් සිද්ධියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ෂාෆ්ටර් මහතා ඉකුත් වසරේ දෙසැම්බර් මස 16 දින මියගොස් තිබුණි.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් එම පවුලේ ඥාතීන් බොරැල්ල පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම මරණය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවක්ද පත් කර තිබුණි.

ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට සැක කළ හැකි බව එම විද්වත් වෛද්‍ය කමිටුව පසුගියදා අධිකරණයට සිය වාර්තාව මගින් දැන්වීම හේතුවෙන් මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

අධිකරණයේ නියෝග අනුව නැවත ගොඩගෙන කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ ෂාෆ්ටර් මහතාගේ දේහය ඉකුත් 4 දින ජාවත්ත පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරිණි.
ඒ.ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment