දින දෙකේ වැස්සෙන් ජලාශ 25ක් පිරිලා 15 ක් වාන් දමයි:
පුත්තලමට හලාවතට ගංවතුරක් නෑ

220
  • වාරිමාර්ග අධ්‍යක්ෂ

පසුගිය දින දෙක තුළ (24 සහ 25) ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වාරි ජලාශ 88 න් 25 ක් පිරීගොස් ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඩී. අබේසිරිවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.

තවත් ජලාශ 15 ක් සියයට හැත්තපහක් (75%) සියයට අනූවක් (90%) පිරීගොස් ඇතැයි ද අනෙකුත් ජලාශ සියයට පනස්පහ, හැට (55% – 60%) ප්‍රමාණයට පිරී පවතින බව ද ඒ මහතා කීවේය.

රාජාංගනය, පරාක්‍රම සමුද්‍රය, දැදුරු ඔය ඇතුළු ජලාශ 15 ක පමණ වාන් දැමීම සහ ජලාශ දොරවල් විවෘත කර ජලය මුදා හැරීමට කටයුතු කළ බවත් විශේෂයෙන් දැදුරුඔය ජලාශයේ ජලය මුදාහැරීමේදී පුත්තලම හා හලාවත ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව අපේක්ෂා කළ ද එම ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොතිබීම නිසා ගංවතුර තත්ත්වයක් ඇති වී නොමැති බව ද අබේසිරිවර්ධන මහතා සඳහන් කළේය.

මහ කන්නයට ජලය අවශ්‍ය අවස්ථාවක වර්ෂාව ලැබීම වගාවට ආශිර්වාදයක් ලෙස දකින බවත්, මෙවර මහ කන්නය සාර්ථකව වගාකර ගැනීම සඳහා අඛණ්ඩව ජලය සැපයීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හැකිවීම සතුටක් බවත් ඒ මහතා කීවේය.

මහවැලි ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබී නොතිබුණත් එහි ජලාශ ද සියයට 60 ක ජලධාරිතාවකින් පවතින බව ද අබේසිරිවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment