දින 10කට රට යන්න මහින්දට උසාවියෙන් අවසර

141

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබන 20 වැනිදා සිට 30 දක්වා දින 10ක කාලයක් විදේශගත වීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (11 දා) අවසර ලබා දුන්නේ ය.

ඔහුට පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය තාවකාලිකව අත්හිට වූ බව ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට වහාම දන්වා යවන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේ ය.

පසුගිය මැයි 09 දා අරලියග මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ගාලු මුවදොර අරගල භූමියේ රැස්ව සිටි අරගලකරුවන්ට පොලු මුඟුරුවලින් පහර දීමේ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු 17 දෙනකුට විදේශ ගමන් වළක්වමින් මැයි 12 දා නියෝගයක් නිකුත් කර තිබිණි.

මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි දෙකකට යටත්ව විදේශගත වීමට නීතිපතිවරයා අනුමැතිය ලබාදී ඇතැයි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා එම ඉල්ලීම කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වී ය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment