දින 33 න් ඇමැතිට ක්‍රිකට් තිත්ත වුණේ දේශපාලන බලපෑමකින්ද?

3316

පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා මෙරට වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා වේ. ඔහුගේ පත්වීම ශ්‍රී ලංකා ක්‍රීඩා පරිච්ඡේදයේ 20 වැනි පිටුව ආරම්භ කිරීමක් විය. එනම් ඔහු මෙරට 20 වැනි ක්‍රීඩා ඇමැතිවරයා වේ. එසේ නව පිටුවක් ආරම්භ කරමින් වැඩ භාරගත් ඇමැති රොෂාන් දැන් ඉතා කාර්යබහුල ඇමැතිවරයෙකි. එම කාර්යබහුලත්වය මත වුවද ඇමැති රොෂාන් රණසිංහ පසුගියදා ප්‍රධාන උත්සව දෙකකට සහභාගි වූයේ ය. ඉන් එකක් පැවැත්වුණේ පසුගිය ජූලි මස 7 වැනිදාය. එම ස්ථානය වූයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයයි. අනෙක් උත්සවය ඊට මසකට පමණ පසු පසුගිය 10 වැනිදා පැවැත්වුණි. ඒ ටොරින්ටන් හි පිහිටි ජාතික ක්‍රීඩා සභාවේ දී ය.

ඉන් පළමු උත්සවයේ නිමිත්ත වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබා දුන් මුදල් පරිත්‍යාගයක් පිළිගැනීමයි.

දෙවැනි උත්සවයේ නිමිත්ත වූයේ ලෝක ශූර ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභාව පත් කිරීමයි. ඒ අතරින් එහි පළමු උත්සවයේදී රොෂාන් රණසිංහ ඇමැතිවරයා කියූ දෙයක් අපි මෙසේ සටහන් කරමු.

‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ රටේ සෑම ක්‍රීඩා සංගමයකටම ආදර්ශයක් ලබාදී තිබෙනවා. ආදර්ශය තව තවත් වර්ණවත් කර තිබෙනවා. සෞඛ්‍ය අංශයේ රිජ්වේ ආර්යා ළමා රෝහලටත්, මහරගම අපේක්ෂා රෝහලටත් ඇමෙරිකන් ඩොලර් මිලියන 2 ක මුදලක් එනම් ශ්‍රී ලංකා රුපියල් මිලියන 718ක් පරිත්‍යාග කළා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 22.5ක මුදලක් ලබාදී තිබෙනවා. එය ලොකු ශක්තියක්. ක්‍රීඩා සංගම් සමග පැවති පසුගිය සාකච්ඡාවලදී මම පැවසුවේ ඩොලර් මිලියන

ගණන් ආදායම් ලැබිය නොහැකියි. නමුත් යම් තැනකින් ආරම්භ කර ස්වෝත්සාහයෙන් නැඟී සිටිය හැකියි.

ඊට අමතරව අපේ ක්‍රීඩා අරමුදල සඳහා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකබලා ගැනීමට රුපියල් මිලියන සීයක් පරිත්‍යාග කළා. මේ අරමුදල හරහා යුපුන් අබේකෝන් වගේ මහත්තුරු තව තවත් මේ රටෙන් බිහි කරන්න අපට හැකියාව ලැබෙයි. ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්පත් කර දුන් යුපුන් අබේකෝන් සොයුරාට වසරකට ඇමෙරිකන් ඩොලර් පනස්දාහ බැගින් වසර දෙකක් සඳහා ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වූ බව නිල වශයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 36කට වැඩි මුදලක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රටේ ක්‍රීඩාවට පමණක් නොවෙයි රටේ සෑම අංශයකටම ආදර්ශයක් වී තිබෙනවා. ස්වෝත්සාහයෙන් නැඟී සිටින්නේ කෙසේ ද, අන්‍යයන්ට සහයෝගය දක්වන්නේ කෙසේද යනුවෙන් ඔබ අද කළ උතුම් මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු දෙනාටම මෙහිදී ස්තුතිය පුද කරනවා.”

දින 33 න් ඇමැතිට ක්‍රිකට් තිත්ත වුණේ දේශපාලන බලපෑමකින්ද?

ඇමැති රොෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එදා තුති පුදමින්, ගෞරව කරමින් එදින උත්සවය එසේ නිමා කළේය.

එතැන් සිට ගෙවී ගියේ තවත් දින 33කි. එනම් මසකුත් දින තුනකි. මෙම දින 33ක කාලය තුළ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් තවත් වැදගත් දෙයක් සිදුවිණි. එනම් අප මීට ඉහතින් සඳහන් කළ ජාතික ක්‍රීඩා සභාව පත් කිරීම ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉහත කී අරමුදල් ලබා දෙන විට ජාතික ක්‍රීඩා සභාවක් මේ රටේ නොතිබුණි. 2022 මැයි මස 24 වැනිදා ක්‍රීඩා ඇමැති ලෙස වැඩ භාරගෙන තවත් සති දෙකක් යන්නට පෙර ජාතික ක්‍රීඩා සභාවක් පත්කර ගැනීමට තරම් කාලයක් ඔහුට නොතිබෙන්නට ඇත. ජාතික ක්‍රීඩා සභාව යනු ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් ලබා දීම පිණිස එම ඇමැතිවරයා විසින් පත් කරගන්නා ලබන සභාවකි. නාමල් රාජපක්ෂ ඇමැතිවරයාට සිටියේ වෙනස්ම ක්‍රීඩා සභාවකි. පසුව පත්වූ තේනුක විදානගමගේ ක්‍රීඩා ඇමැතිවරයා ද ජාතික ක්‍රීඩා සභාවක් පත්කර ගැනීමට වෙහෙස වුණු නමුත් ඊට පෙර ඇමැතිවරයාට එම තනතුරෙන් යෑමට සිදුවිය. ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වූ මහේල ජයවර්ධන මහතායි. නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ඇමැති ධුරයෙන් ඉවත් වූ වහාම ජයවර්ධන මහතා ප්‍රමුඛ පිරිස ද ඉල්ලා අස්වූයේය.

දැන් නව ඇමැතිවරයෙකි. නව ජාතික ක්‍රීඩා සභාවකි. එම ක්‍රීඩා සභාව පත්වන විටම රොෂාන් රණසිංහ ඇමැතිවරයා කීවේ නාමික ජාතික ක්‍රීඩා සභාවක් වෙනුවට ක්‍රියාකාරී ජාතික ක්‍රීඩා සභාවක් රටට අවශ්‍ය බවයි. ඊට අමතරව ඇමැතිවරයා එහිදී මෙසේද පවසා තිබුණි.

අපේ රටේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වගකීම ඉෂ්ට කිරීමට අමාත්‍යවරයා ලෙස මට දීමට හැකි උපරිම ගෞරවය තමයි ඔබ මෙම ජාතික ක්‍රීඩා සභාව වෙත පත්කිරීම. අභිනව පත්වූ නව සභාපතිතුමා සාමාජික මහත්ම මහත්මීන් සමග එක්ව මේ රටේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඈත ගමේ සිට කොළඹ දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආදරෙන් බලා ගනියි කියා මට ලොකු විශ්වාසයක් තිබෙනවා. අපේ රට ලෝකයට රැගෙන යෑමේ හැකියාව අර්ජුන රණතුංග මැතිතුමාට තිබුණා. සෘජු තීරණ ගැනීමේ හැකියාව සහ අවංකකම මුල්කරගෙන එදා අපේ රටට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන්නා.

ජාතික ක්‍රීඩා සභාවේ උපදෙස් මත පමණක් කටයුතු කරන්න අමාත්‍යවරයා ලෙස මං පොරොන්දු වෙනවා. මම ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලීමක් කරනවා ක්‍රිකට්, රග්බි, පාපන්දු, ටෙනිස් ඒ වගේම ජාතික ඔලිම්පික් සංගමයත් මේ සියලු සංගම් රටේ නීතියට යටත්. ක්‍රිකට් ආයතනයේ යම් මුදලක් තිබෙනවා නම් ඒ මේ රටේ රාජ්‍ය මුදල් වැයකොට පාසලෙන් හැදිච්ච දරුවෙක්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට එකතු වෙලා තිබෙන මුදල්. ඒවා අවභාවිතා කරන්න ඉඩ දෙන්න අපිට බැහැ. පැහැදිලි ලෙස අවභාවිතයක් සිදුවෙනවා.

මම ලොකු උත්සහයක් ගත්තා ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලිය අපේ රටේ පවත්වන්න කටයුතු කරන්න. ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන ගියා කියා මම දැක්කේ මාධ්‍යයෙන්. ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මම කනගාටු වෙනවා. ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලිය අපේ රටෙන් ගිලිහීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම් පැහැර හැරීමක්.

ක්‍රිකට් ආයතනය සභාපතිතුමා මා හට පැවසුවා ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය අපේ රටට එන්න අදිමදි කරනවා කියා. මම ඒ තානාපති කාර්යාල තුනටම ලිපි යැවූ පසු ඔවුන් මට පිළිතුරු එවනවා, තානාපතිවරු දුරකථනයෙන් අමතා පැවසුව මෙම මොහොතේ අපි ශ්‍රී ලංකාවට පැමිණීමට සැදී පැහැදී සිටිය බව. ඒ වගේම පහසුකම් ටික දෙන්න අපහසු බවට ක්‍රිකට් සංගමයේ සහභාගි වූ නිලධාරීන් පැවසූ බව මට දැනුම් දුන්නා. මේ සම්බන්ධව මම කනගාටුවට පත්වෙනවා. මේ තැනින් අපේ රට ගොඩගන්න නම් ක්‍රීඩාව දියුණු කළ යුතුයි.

ඒ සඳහා අපේ රටට තවත් තරගාවලි පැවැත්වීමට ආරාධනා කළ යුතු මොහොතක අපි විසින්ම අපේ තරග මාලා වෙනත් රටක පැවැත්වීම තුළ අපි කනගාටු විය යුතුයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ හොඳම ජාතික ක්‍රීඩා සභාව මෙන්ම මේ රටේ ක්‍රීඩාව ඉහළටම ගත් ක්‍රීඩා සභාව බවට පත් වෙන්න මම සුබ පතනවා.”

මේ ප්‍රකාශය අනුව අපට හැඟී යන කාරණයක් තිබේ. දවස් තිස් තුනකට ඇමැතිවරයා වෙනස් වී ඇති තරම ඉන් පෙනේ. ඔහු ජූලි හත්වැනිදා කළ ප්‍රකාශයත් අගෝස්තු 10 වැනිදා කරන ලද ප්‍රකාශයත් අහසට පොළොව මෙනි. මෙම ප්‍රකාශයන් දෙක අතර සිදුවූ ප්‍රධානම ක්‍රීඩා සන්ධිස්ථානයන් වූයේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි රාජ්‍යය වෙත යෑම සහ ජාතික ක්‍රීඩා සභාව පත් කිරීම පමණි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ රටේ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන ලද ප්‍රයත්නයන්හි අවසානය පසුගිය 28 වැනිදා සිදු වුණි. ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ නොපවත්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණයට එළැඹි දිනයයි.

ඉන් පසුව ඊට බලපෑම් කරන්නට නොහැක. විසි ගණනක් සාමාජිකයන්ගෙන් යුතු ආසියානු ක්‍රිකට් කවුන්සිලය යටතේ ශ්‍රී ලංකාව යනු තවත් එක් සාමාජිකයකු මිස ඊට බලපෑම් කිරීම සඳහා ඊට එහා ගිය බලාධිකාරයක් සහිත රාජ්‍යයක් නොවේ. තරගාවලියේ නිල ප්‍රචාරක ආයතනය සඳහා රක්ෂණාවරණ සැපයීමට අදාළ රක්ෂණ ආයතන ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ මේ තරගාවලිය පැවැත්වේ නම් කෝටි ප්‍රකෝටි ගණන් වටිනා ප්‍රචාරණ ආයතන භාණ්ඩවලට රක්ෂණය දීමට ඔවුන් අකමැති වේ. ඊට ආසියානු ක්‍රිකට් කවුන්සිලයටද කරන්න දෙයක් නැත. අපට කරන්නට දෙයක් කොහෙත්ම නොමැත. මේ සියල්ල උදාවූයේ රටේ එවකට පැවති තත්ත්වය හමුවේ ය. එහෙත් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය මත මේ තරගාවලිය පැවැත්වීම මත ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන හයහමාරක පමණ ආදායමක් හිමිවෙයි. ක්‍රීඩා ඇමැතිවරයා මේ බව දන්නේය.

එහෙත් දින තිස් තුනකට පසුව ඔහු එසේ කීවේය.

මේ තත්ත්වයන් එක පාර ඇතිවූවක් බව නොපෙනේ. අගෝස්තු 10 වෙනිදාට පෙර නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් වීම පිළිබඳව ප්‍රකාශයක් සිදුකර තිබුණි. ජාතික ක්‍රීඩා සභාව පිහිටුවූයේ ඉන් දින දෙකකට පසුවය. එහිදී ක්‍රීඩා ඇමැතිවරයාගෙන් පසුව උත්සවය ඇමතූ ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපති අර්ජුන රණතුංග මහතා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දෝස්මුරයක් ඉදිරිපත් කළේය. ඊට අමතරව ඔහු තවත් මාධ්‍ය ආයතනයක් හමුවේ සිදු කරන ලද ප්‍රකාශයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ එම නිලධාරීන්ගේ කීර්ති නාමයට හානි වූ බව පවසමින් රුපියල් බිලියන 2 ක මුදලක් අලාභ ලෙස ගෙවන ලෙස අර්ජුන රණතුංග මහතාට එන්තරාවාසි නිකුත් කිරීමට කටයුතු යෙදිණි. දැන් මේ දෙපාර්ශ්වය අතර හොඳ හිතක් ඇති බව නම් කිව නොහැක.

මාසයක් පමණ කාලයක් තුළ දී ඇමැති රොෂාන් රණසිංහ අංශක 360කින් වෙනස් වීමට ප්‍රධාන හේතුව ආසියානු ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑම ද, නැත්නම් ජාතික ක්‍රීඩා සභාවේ උපදෙස් මත කටයුතු කිරීම ද නොඑසේනම් ඊටත් එහා ගිය දේශපාලන බලපෑමක් මේ පිටුපස ඇති ද යන්න තවමත් පිළිතුරු නැති ප්‍රශ්නයකි. එහෙත් මෙවැනි පිළිතුරු නැති ප්‍රශ්න වලින් සිදුවන්නේ රටේ ක්‍රීඩාවට යහපතක් නම් නොවන බව කිව හැක. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම අනුමැතිය සඳහා ක්‍රීඩා ඇමැතිවරයාට යොමුකර දැන් දින කීපයක් ගත වී ඇත. ඒත් මේ වන තෙක් (19 වෙනිදා සවස) ක්‍රීඩා ඇමැතිවරයා ඊට අනුමැතිය ලබාදී නොමැත. අනෙක් සියලුම කණ්ඩායම් සිය සංචිතයන් ප්‍රකාශයට පත්කර තිබියදී ශ්‍රී ලංකා සංචිතය පමණක් මෙසේ ප්‍රකාශයට පත් කර නොතිබීම එම ක්‍රීඩකයන්ටද සිදු කරන අසාධාරණයකි. ඇමැතිවරයා ඊට හේතු ලෙස දක්වා තිබුණේ එම සංචිතය අනුමැතිය සඳහා එවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රමාද කළ බවකි. එහි ඇත්තක් වේ නම් සිදු විය යුත්තේ ඊට හේතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසා බලා අවශ්‍ය පියවර ගැනීම මිසක් සංචිතයට අනුමැතිය දීම ප්‍රමාද කිරීම නොවේ. මෙවැනි දේ හේතුවෙන් වන්දි ගෙවන්නේ ක්‍රීඩකයන්ය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment