දින 7 කදී මැතිසබය කැඳවයි: වැඩබලන ජනපතිවරයෙක් – කථානායක කියයි

234

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව හා ව්‍යවස්ථානුකූලව මීළඟ පියවර ලෙස වැඩ බලන ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා දින හතක් තුළ පාර්ලිමේන්තුව කැඳවා තීරණයක් ගැනීමට පෙරේදා 9 දා පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව පත්කරන නව ජනාධිපතිවරයා යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සර්ව පාක්‍ෂික මහජන නියෝජිතයන්ගේ එකඟතාවකට අනුව නව අගමැතිවරයකු ප්‍රමුඛ අන්තර්වාර රජයක් පිහිටුවා ගැනීමට ද එහිදී තීරණය වී තිබේ.

අනතුරුව නිශ්චිත කාලයක් තුළ මැතිවරණයක් කැඳවා ජනතාවට නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදීමට ද පක්‍ෂ නායකයන් එකඟ වී තිබේ.

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පහත විකල්ප යෝජනා තුන ද ඉදිරිපත් කර තිබේ.

1. ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්වී අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපති ලෙස පත්වීම.

2. එසේ පත්වී සියලු පක්‍ෂ ඒකරාශිකොට නව අග්‍රාමාත්‍යවරයකු ප්‍රමුඛ අන්තර්වාරය රජයක් පිහිටුවීම හෝ

3. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම ඉවත්වී, පාර්ලිමේන්තුව තුළින් නියෝජිතයකු වැඩබලන ජනාධිපති ධුරයට පත්කොට, අනතුරුව සර්ව පාක්‍ෂික එකඟතාවයකින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීම, අන්තර්වාර රජයක් පිහිටුවා ගැනීම හා නිශ්චිත කාලයක් තුළ නව රජයක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලබාදීම.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment