දිමුත් නායකත්වයෙන් යන බව කියයි

139

අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට තමන් සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේය.

තමාගේ එම තීරණය සම්බන්ධයෙන් මේ වන විට තේරීම් කමිටුව සමග සාකච්ඡා කර ඇති බවත් තේරීම් කමිටුවෙන් තමාට අවසන් පිළිතුරක් මෙතෙක් ලබාදී නොමැති බවත් දිමුත් සඳහන් කළේය. නවසීලන්තයට එරෙහිව ඊයේ (20 වැනිදා ) නිමා වූ ටෙස්ට් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී එම අදහස් පළ කළ ශ්‍රී ලංකා නායකයා මේ වන විට ටෙස්ට් තරග 26කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තරග දහයක් ජයග්‍රහණය කර තරඟ දහයක් පරාජයට පත්වී තිබේ.

දිමුත් යටතේ ජය පරාජයෙන් තොරව නිමා වූ තරග ගණන හයකි. 2019 වසරේදී දිමුත් පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වූයේය.

“මම තේරීම් කමිටුවත් එක්කත් කතා කරා අයර්ලන්ත තරගාවලියෙන් පස්සේ කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වෙන්න. මොකද ඊළඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ වසර දෙකක් ක්‍රීඩා කරන්න ඕනෙ චක්‍රයක්. ඉතිං මම හිතනවා නව නායකයෙක් පත් කරලා ඒක කරොත් ගොඩක් වෙලාවට හොඳයි කියලා. මොකද මම ඒකෙන් භාගයක් කරලා ඔහුගේ අතට දෙනවට වඩා ඔහුම මුල ඉඳල ඒක කරගෙන යන එක හොඳයි” යනුවෙන් දිමුත් සඳහන් කළේය.

“ඉතිං තේරීම් කමිටුවත් එක්කත් සාකච්ඡා කරා, තාම මට හරියට උත්තරයක් ලැබුණේ නැහැ. ඉතිං මම කිව්වා ඊළඟ තරගාවලියත් කරලා ඊට පස්සේ අලුත් චක්‍රයේ දී දෙන්නම් කියලා. තාම මට හරියට ඒ පැත්තෙන් උත්තරයක් ආවේ නෑ මොකක්ද වෙන්නේ කියලා. ඉතිං ඒක එනකම් බලාගෙන ඉන්නවා. නමුත් මගේ කල්පනාව තියෙන්නේ ගොඩක් වෙලාවට ඊළඟ තරගාවලියෙන් පස්සේ අලුත් නායකයාට අවස්ථාවක් ලබා දෙන්න.”

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ටෙස්ට් තරග දෙකකින් යුක්ත වන අතර ඒ අනුව අප්‍රේල් 24 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟය දිමුත් ශ්‍රී ලංකාවට නායකත්වය ලබාදෙන අවසන් තරගය වනු ඇත.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment