දිමුත් හා කුසල් ගාල්ල වර්ණවත් කරති

254

පළමු වරට තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරන සංචාරක අයර්ලන්ත කණ්ඩායමට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ දී ඉතා වෙහෙසකර දිනයක් උදා කර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ අංක 03 පිතිකරු කුසල් මෙන්ඩිස් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 281 ක සම්බන්ධතාවක් වාර්තා කළහ.

ඒ මතින් ගොඩනැගුණු ශ්‍රී ලංකා ඉනිම ඊයේ (16 වැනිදා) දිනයට නිමා වූයේ පන්දු වාර 88 කදී කඩුලු 4ක් දැවී ලකුණු 386 ක් ලෙසිනි.

දිමුත් කරුණාරත්න ද්විත්ව ශතකයට ලකුණු 21ක් මෙපිටින් දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 150ට ලකුණු 10ක් මෑතින් දැවී ගියේය.

පන්දු 235 ක් තුළ ලකුණු 179 ක් ලබා ගත් ශ්‍රී ලංකා නායකයා අයර්ලන්ත පන්දු යන්නන්ට කිසිදු බුරුලක් ලබා නොදෙමින් පිටිය සිසාරා ලකුණු සොරා ගත්තේය.

ඔහු සහ කුසල් මෙන්ඩිස් අතර වාර්තා වූ සම්බන්ධතාව බිඳ දැමීමට ජෝර්ජ් ඩොකරල් සමත් වන විට කුසල් හතරේ පහර 18 ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 140ක් රැස් කරගෙන සිටියේය. අයර්ලන්ත පන්දු යවන්නන්ගෙන් ලැබුණු 193 වෙනි පන්දුවට ස්වීප් පහරක් එල්ල කරන්නට ගොස් කඩුල්ල මුවා කිරීමේ වරද මත කුසල් ට පිටියෙන් ඉවත් වෙන්නට සිදු වූයේය.

පිටියේ විනිසුරු ලබාදුන් එම තීරණය තෙවන විනිසුරු මතින් නිවැරදි කරගන්නට කුසල් උත්සාහ දැරූවද රූපවාහිනී තිරය මත දැක්වුණේ රතු රේඛා තුනකි.

කුසල් ඊයේ රැස් කර ගන්නා ලද ශතකය ඔහුගේ 8 වන ටෙස්ට් ශතකය ලෙස වාර්තා පොත්වලට එක් වූ අතර දිමුත් වාර්තා කළේ ඔහුගේ පහළොස්වන ටෙස්ට් ශතකයයි.

එය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී දිමුත් වාර්තා කරන ලද 05 වන ටෙස්ට් ශතකය ද වූයේය. තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 245ක් ලබා සිටියේය. පන්දු 142 කදී දිමුත් ශතකය වාර්තා කළ අතර කුසල් පන්දු 144 කදී ශතකය වාර්තා කරමින් දෙදෙනා තරගයට මෙන් ලකුණු රැස් කරමින් සිටියහ.

කුසල් දැවී යන විට ලකුණු 80කට වඩා ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන සිටි ශ්‍රී ලංකා නායකයාගේ වේගවත් ඉනිම ඉන් අනතුරුව තරමක් සෙමෙන් ගලා යන්නට විය. ඒ වන විට දිමුත් පන්දු 204කදී ලකුණු 168 ක් ලබා සිටි අතර අවසානයේ ඉතිරි පන්දු 31 තුළදීම ඔහු රැස්කර ගත්තේ ලකුණු 11 ක් පමණි.

කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසීමට වරම් ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා දැවී යෑම අයර්ලන්ත කණ්ඩායම ඊයේ ලද විශාලතම ජයග්‍රහණය විය.

බෙන් වයිට් ගේ පන්දුවකට පිත්ත දැමූ මැතිව්ස් ගේ ඉනිම පන්දු 03කට සීමා වූයේ කඩුලු රකින ලෝකන් ටකර් විශිෂ්ට උඩ පන්දුවක් ලෙස එය රැක ගැනීමත් සමගය.

දිනය නිමාවන විට දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 18 ක් සහ සැඳෑ

සුරැකුම්කරු ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ලකුණු 12 ක් ලබා සිටියහ.

ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක ලකුණු 29 රැස් කර ගත් අතර ඔහු සහ දිමුත් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් රැස් කළහ.

පන්දු යැවීමේදී මාකර් අඩයර්, කර්ටිස් කම්පර්, ජෝර්ජ් ඩොකරල් සහ බෙන් වයිට් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment