දියකාවා වැඩ පෙන්වයි…ගුවන් හමුදාපතිට තවත් වසරක්

770

ජාතියේ ගැලවුම්කරුවාගේ භූමිකාව සඳහා වගකීමෙන් යුතුව පණපොවන යුද හමුදාව ප‍්‍රමුඛ ත‍්‍රිවිධ හමුදාවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන තම පරම වගකීමට අමතරව කොවිඞ් වසංගතය හමුවේ පැවරී ඇති වගකීම ද සුළුපටු නොවීය. බදාදා දිනයේ කොළඹ ලංකා පුද්ගලික රෝහලක අටවන ලද බෝම්බය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ක‍්‍රියා කරන ලද ආකාරය දෙස බලන විට, කොවිඞ් වසංගතය සේම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද තම වගකීම ඔවුන් මැනවින් ඉටු කරමින් තිබෙන බව කිව හැකිය.

  • බෝම්බයේ ඉලක්කය ආරක්ෂක රාජ්‍ය ඇමැතිද…?

ලංකා පුද්ගලික රෝහලේ ග්‍රෙනේඞ් බෝම්බයක් අටවා ඇති බවට දුරකථන ඇමතුමක් ලද සැනින් ආරක්ෂක අංශ, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පියවර ගනු ලැබීය. එම ස්ථානයට පැමිණි ආරක්ෂක අංශ වහාම, පොලිස් විශේෂ කාර්යය බලකායේ බෝම්බ නිෂ්ක‍්‍රීය අංශ ගෙන්වා අදාළ බෝම්බය නිෂ්ක‍්‍රීය කිරීම සඳහා කටයුතු යෙදීය. අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන්, බුද්ධි අංශ වහ වහා පරීක්ෂණ ආරම්භ කළේය. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සඳහා තොරතුරු ලබාදුන් පුද්ගලයා පවසා තිබුණේ, සුදු ඇඳුමක් හැඳි පුද්ගලයකු මෙම ස්ථානයේ සිට පිටව ගිය බව වුවත්, එම ස්ථානය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන ලද්දේ එවැනි කිසිවකු අදාළ ස්ථානයේ ගැවසී නොමැති බවය. මදුරු දඟරයකට අමුණා තිබූ, අත්බෝම්බය විශාල ගණයේ අපරාධයක් සඳහා සිදු කරන ලද කටයුත්තක් නොවන බව බුද්ධි අංශ පළමුවෙන්ම හඳුනාගත්තේය. ඒ සමගම බුද්ධි අංශ වෙත සැකයන් දෙකක් පහළ විය. ආරක්ෂක අංශ ඇස වෙනතක යවමින් වෙනත් අපරාධයක් සඳහා මෙසේ සැලසුම් සකස් කළේද, නැතහොත් ඒ වන විටත් එම රෝහලේ නැවතී සිටි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ මීට දින කිහිපයකට පෙර අදාළ හෝටලයේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි ගුවන් හමුදාපතිවරයා ඉලක්ක කර ගනිමින් මෙම කටයුත්ත සිදු කළාද යන්නය. කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි හෙයින් ඊළඟට ආරක්ෂක අංශ යොමු වන ලද්දේ, අදාළ තොරතුරු ලබාදුන් පුද්ගලයා දෙසටය. ඒ අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය. ඒ අතර කොළඹ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස, සෝදිසි සහගතව සිටින ලෙස බුද්ධි අංශ වෙත උපදෙස් ද ලැබී තිබුණි.

අවසානයේ දී ආරක්ෂක අංශ සොයා ගන්නා ලද්දේ, අදාළ රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා ඊට දින කිහිපයකට පෙර, ත‍්‍රිකුණාමලයේ සිට පැමිණ සිටි ඔත්තුව ලබාදුන් පුද්ගලයා විසින්ම මෙම ක‍්‍රියාව සිදු කර ඇති බවය. ග්‍රෙනේඞ් බෝම්බය විවරණය අසලට ලණු කැබැල්ලක් ගැට ගසා, එහි අගට මදුරු දඟරයක් සම්බන්ධ කරන ලද මෙම පුද්ගලයා, ඒ සම්බන්ධයෙන් තිගැස්සීමට ලක්ව, පාපහරක් දී එම ඇටවුම පෙරළා දමා ඇති බව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිව තිබුණි. අධික ණය බරින් පීඩිතව සිටි ඔහු, මෙවැනි ඔත්තුවක් සඳහා ලබාදෙන ත්‍යාගය අපේක්ෂාවෙන් මෙවැනි ක‍්‍රියාවක නියැලෙන්නට ඇති බව ආරක්ෂක අංශයන්ගේ අනුමානය වී තිබේ. ඔහු වෙත බෝම්බය ලැබුණු ආකාරය සහ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වමින් සිටියි.

* කටුනායකට සහ මර්මස්ථාන සඳහා ප‍්‍රහාරයක්…!

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හමුදාවෝ ක‍්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මේ සතියේ තවත් උදාහරණයක් දැක ගත හැකි විය. කටුනායක ගුවන් තොටුපළ සඳහා ප‍්‍රහාරයක් එල්ල කරන බවට, කටුනායක ගුවන් තොටුපළේ නිල ඊ මේල් ලිපිනය වෙත පණිවිඩයක් ලැබී තිබුණේ, බංග්ලාදේශයේ සිටය.

ලබන විසි වැනිදා කටුනායක ගුවන්තොටුපළට සහ රජයේ ගොඩනැගිලි කිහිපයක් වෙත ප‍්‍රහාරයක් එල්ල කරන බව එහි සඳහන්ව තිබුණි. එසේ ප‍්‍රහාර එල්ල නොකිරීම සඳහා සිව්දෙනෙකු නිදහස් කරන ලෙස ද එම පණිවිඩයේ සඳහන් කර තිබුණි. මේ සම්බන්ධයෙන් වහාම ක‍්‍රියාත්මක වූ බුද්ධි අංශ අදාළ ඊමේල් පණිවිඩය යොමු කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් බංග්ලාදේශ ආරක්ෂක අංශ සමග එක්ව සොයා බලන්නට කටයුතු කළහ. බංග්ලාදේශ හමුදාවට අයත් ආයතනයක වෙබ් අඩවියකට එල්ලවූ හැකර් ප‍්‍රහාරයක් මගින් වෙනත් පාර්ශ්වයක් මෙසේ ඊමේල් පණිවිඩයක් එවා ඇති බව බුද්ධි අංශ තහවුරු කර ගත් නමුත්, මෙම තත්ත්වය මත කටුනායක හා මත්තල ගුවන්තොටුපළවල ආරක්ෂාව තර කර, හදිසි අවස්ථාව සම්බන්ධයෙන් පෙරහුරු ද ක‍්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය.

* ප‍්‍රතිකාර අතරේ ගුවන් හමුදාපතිට සේවා දිගුවක්

දියකාවා වැඩ පෙන්වයි…ගුවන් හමුදාපතිට තවත් වසරක්

ලංකා රෝහලේ බෝම්බය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අවධානයට ලක් කරන ලද එක් හේතුවක් වූයේ මීට දින කිහිපයකට පෙර ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ එහි නේවාසිකව ප‍්‍රතිකාර ලබා සිටීමය. කොවිඞ් රෝගී තත්ත්වය සුව වීම හේතුවෙන්, ඔහු රෝහලෙන් නික්ම ගියද, ඒ සමග තවත් රෝගී තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන් ගුවන් හමුදාපතිවරයා යළි රෝහල් ගතවීමට සිදුව තිබුණි. කොවිඞ් සුව වී, නිවසට පැමිණ වහාම, ගුවන් හමුදාපතිවරයා සිදු කරන ලද්දේ, තම සේවා කාලය දීර්ඝ කර ගැනීම සඳහා වන ඉල්ලීම ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කිරීමය. මේ සතියේදී එම ඉල්ලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබුණි. ඒ අනුව ලබන වසරේ දෙසැම්බර් මාසය දක්වා ගුවන් හමුදාපතිවරයා ලෙස රැඳී සිටීමට වත්මන් ගුවන් හමුදාපතිවරයා වෙත අවකාශය ලැබේ. ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ වෙත සේවා දීර්ඝයක් ලැබීම හේතුවෙන්, ගුවන් හමුදාපති තනතුරු සඳහා සුදුසුකම් සහිත නියමු බල ඇණියේ ප‍්‍රධානීන් සිව් දෙනෙකුට, ලොකු පුටුව බල බලා විශ‍්‍රාම යෑමට සිදුවනු ඇත.

දැනට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ධුරය හොබවන එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී විශ‍්‍රාම ලබනු ඇත. 1985 වසරේ නියමු පොදු රාජකාරී ශාඛාවේ, කැඩෙට් නිලධාරීවරයකු වශයෙන් ගුවන් හමුදාවට එක්වූ එයාර් වයිස් මාර්ෂල් පායෝ, 1988 වසරේදී පාකිස්ථානයේ හමුදා ගුවන් නියමුවකු වශයෙන් උපාධිය හිමිකරගත් අතර පයිලට් ඔෆිසර් නිලයේ, අධිකාරීත්වයට පත්විය.

* පායෝ සහ තුනකට ලොකු පුටුව අහිමියි

බෙල් 206, බෙල් 212, බෙල් 412 සහ එම් අයි 24 හෙලිකොප්ටර් යානා පියාසර කරවීමේ සුදුසුකම් ලත් නියමුවෙකු වන ඔහු පියාසර පැය 7200 ක් පමණ සම්පූර්ණ කොට ඇති දක්ෂ ගුවන් නියමුවෙකි. එසේම ඔහු අංක 7 බලඝණය, අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා බළඝණය සහ අංක 4 ප‍්‍රභූ ප‍්‍රවාහන බලඝණයේ අණදෙන නිලධාරීවරයා වශයෙන් ද කටයුතු කොට තිබේ. එයාර් වයිස් මාර්ෂල් පායෝ රණ වික‍්‍රම සහ රණසූර පදක්කම් ද හිමිකරගත් දක්ෂ ගුවන් හමුදා නිලධාරියෙකි. මීට අමතරව ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කපිල වනිගසූරිය ලබන වසරේ පෙබරවාරි මාසයේදී ද, පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මෙම වසරේ නොවැම්බර් මාසයේද, සැපයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රවින්ද්‍ර ලියනගම ලබන වසරේ ජනවාරි මාසයේදී ද විශ‍්‍රාම යෑමට නියමිතව ඇත.

* වැඩ බලන්න, වයි. එන්.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මේ මස 14 වෙනිදා සිට දහ නව වෙනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතවීම හේතුවෙන් වැඩබලන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් වයි. එන් ජයරත්න, ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී. පසුගිය සිකුරාදා රියර් අද්මිරාල් ජයරත්නගේ පුතණුවන්ගේ ආවාහ මංගල්‍ය, නිරෝධායන නීති රීති යටතේ සිදු කෙරෙන අතරේ ඔහු වෙත මෙම තනතුර ලැබීම විශේෂත්වයකි. නාවික හමුදාවේ ප‍්‍රධාන නිලධාරියෙකුගේ විශ‍්‍රාම ගැනීම් මේ සතියේ සිදුවිය. රියර් අද්මිරාල් ජගත් පේ‍්‍රමරත්න සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් සැප්තැම්බර් 16 දින නාවික හමුදාවට සමුදීම සිදුවිය.

1988 වර්ෂයේදී 18 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්වූ රියර් අද්මිරාල් පේ‍්‍රමරත්න, නාවික හමුදා අධ්‍යක්ෂ, නාවික බුද්ධි අධ්‍යක්ෂක, අධ්‍යක්ෂ ක‍්‍රීඩා, උතුරු නාවික විධානයෙහි නියෝජ්‍ය ආඥාපති, ආදී ප‍්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

* දියකාවා එකොලොස් වැනි වරට

ශ‍්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදා එක්ව සංවිධානය කරන දියකාවා පුහුණු අභ්‍යාසය 11 වන වරටත්, විදේශීය හමුදා නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ඉකුත් සිකුරාදා ආරම්භ විය. දියකාවා යුද අභ්‍යාසයේ අධ්‍යක්ෂ, අතිරේක ප‍්‍රහාරක බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ සහ දියකාවා යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් අනිල් සමරසිරි සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් නිල වශයෙන් ආරම්භ වූ මෙම අභ්‍යාසය, ත‍්‍රිවිධ හමුදාවේ සහයෝගීතාවය ගොඩනැගීම සඳහා විශේෂ මෙහෙයුම් බලකායන් ඒකාබද්ධව පවත්වනු ලබයි. ඉන්දියාව, නේපාලය, මාලදිවයින, පාකිස්තානය සහ බංගලාදේශය වැනි විදේශ රටවල් නියෝජනය කරමින් එම හමුදා සාමාජිකයින් සහ නිරීක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් යුද අභ්‍යාසය ක‍්‍රියාත්මක කරන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි මෙවර යුද අභ්‍යාසය සඳහා විශේෂතා රාශියක් ඇතුළත් කර තිබේ.

මන්නාරම, විල්පත්තු, අරිප්පු, තුනුක්කායි, වව්නිකුලම්, නැදුන්කර්නි, චුන්ඩිකුලම්, නයාරු, තිරියාය, නිලාවේලි, තෝපූර්, ඉලංකන්තෙයි, වාකරෙයි, තෝනිත්තත්තුමඩු, නරකමුල්ල, කංචිකුඩිච්චිආරු, චෙන්කල්අඩි, දඹුල්ල, මොරගහකන්ද, මීමුරේ, කොළඹ, දික් ඕවිට යන ප‍්‍රදේශ ආවරණය කරමින් මෙවර යුද අභ්‍යාසය පවත්වා, අවසන් ප‍්‍රහාරත්මක යුද අභ්‍යාසය සැප්තැම්බර් මස 25 දින පැවැත්වීමෙන් පසුව සමාප්ති උත්සවය සැප්තැම්බර් මස 26 දින පැවැත්වීමට නියමිතය. ඒකාබද්ධ ක්ෂේත‍්‍ර යුද අභ්‍යාස ඉතිහාසයේ ප‍්‍රථම වරට සන්නද්ධ බලසේනාව, යාන්ත‍්‍රික පාබල බලසේනාව, ගුවන් සංක‍්‍රමික බලසේනාව, 583 වන පාබල බලසේනාව සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ රෙජිමේන්තු විශේෂ බලකාය එක්ව සෞඛ්‍යාරක්ත ක‍්‍රමවේදයන්ට අනුකූලව ‘ජෛව බුබුළු සංකල්පය’ යටතේ මෙවර යුද අභ්‍යාසය පැවැත්වීම විශේෂත්වයකි. කොවිඞ් උවදුර මධ්‍යයේ වුවද ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා සිය පුහුණු අභ්‍යාස මේ මට්ටමින් පැවැත්වීම විදේශීය හමුදා නිලධාරීන්ගේ ඇගැයීමට පාත‍්‍ර වී තිබුණි.

මෙවර යුද අභ්‍යාසය සඳහා විදේශීය හමුදා නිලධාරීන් සහ නිරික්ෂකයන් ඇතුළු 2846 දෙනෙක් සහභාගි වී සිටිති.

* ශවේන්ද්‍රත් මාර්ගගතව දියකාවා නිරීක්ෂණයට

යුද හමුදාවක තිබිය යුතු වෘත්තීය නිපුණත්වය හා එම දැනුම බෙදාහදා ගැනීම, ඒකාබද්ධ මෙහෙයුම්වල ස්වභාවයක් වන ‘අන්තර්ක‍්‍රියාකාරී හැකියාව’ ප‍්‍රගුණ කිරීම, විවිධාකාර වූ පරිසරවල විවිධාකර වූ විධාන මට්ටම්වල මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ප‍්‍රගුණ කිරීම, පොදු අවබෝධය වර්ධනය කිරීම, හමුදා න්‍යායික දැනුම ප‍්‍රායෝගිකව යෙදවීම හා පරික්ෂණ මෙන්ම විශේෂ මෙහෙයුම්වල මූලධර්ම පුහුණු කිරීම සහ එම මෙහෙයුම්වලට දියුණු තාක්ෂණික ක‍්‍රමවේදයන් ඒකාබද්ධ කිරීම යන කරුණු මෙම යුද අභ්‍යාසය මඟින් ප‍්‍රවර්ධනය කෙරිණි.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ පුහුණු අභ්‍යාසයේ නිරතව සිටින 4 වන කමාන්ඩෝ බලකායේ භටපිරිස් උපායමාර්ගිකව සතුරු බලකොටු වෙත ඇතුළු වී ප‍්‍රාණ ඇපකරුවන් මුදාගන්නා ආකාරය පිළිබඳ නිරීක්ෂණය කළේය. යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී, මේජර් ජෙනරල් ප‍්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, දියකාවා යුද අභ්‍යාසයේ අධ්‍යක්ෂක, අතිරේක ප‍්‍රහාරක බලකායේ බලකාධිපති, මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ, 14 වන සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් ක‍්‍රිෂාන්ත ඥාණරත්න, දියකාවා යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, මේජර් ජෙනරල් අනිල් සමරසිරී, දියකාවා යුද අභ්‍යාසයේ ප‍්‍රධාන උපදේශක බි‍්‍රගේඩියර් සංඛ ජයමහා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් යුද හමුදාපතිවරයා සමග මෙම නිරීක්ෂණයට සහභාගී වී සිටියහ.

* ප‍්‍රියන්ත මේජර් ජෙනරාල් ධුරයට

බි‍්‍රගේඩියර් ප‍්‍රියන්ත සිල්වා, මේජර් ජෙනරාල් ධුරයට උසස්වීම මේ සතියේදී සිදුවිය. වසර තිහකට අධික සේවා කාලයක් නිමා කරමින් මේජර් ජෙනරල් ශිරන්ත දිසානායක සිය හමුදා සේවයට මේ සතියේදී සමු දුන්නේය. ආරක්ෂක සේනා මූලස්ථානය – නැගෙනහිර බි‍්‍රගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන නිලධාරි මේජර් ජෙනරාල් දිසානායක, යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නිලධාරියෙකි.

* යුද හමුදාවේ ලොකු පුටු වෙනසක්

ලබන මාසයේදී ශ‍්‍රී ලංකා යුද හමුදාවේ තනතුරු රාශියක් වෙනස්වීමට නියමිතව ඇත. යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිව්වෙනි ස්ථානය හොබවන, ගැමුණු හේවා බල ඇණියට අයත්, ස්වේච්ඡා බල සේනාධිපති මේජර් ජෙනරාල් සේන වඩුගේ විශ‍්‍රාම ගැනීම, එසේම සිංහ රෙජිමේන්තුව නියෝජනය කරන වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, පාබල හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර විශ‍්‍රාම ගැනීම සමග අදාළ තනතුරු සේම, ගැමුණු හේවා බලකායේ සහ සිංහ රෙජිමේන්තුව සඳහා නව අධිපතිවරු පත්වීමට ද නියමිතව තිබේ.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment