දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමට පියවර ගන්නවා

367

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ

රටේ දරුවන් වෙනුවෙන් ඉදිකළ බොහොමයක් ක්‍රීඩාංගණ නිසි ප්‍රයෝජනයක් නොගැනීම තුළින් ඉක්මනින් විනාශයට පත් වෙන බවත් එසේ වීමට ඉඩ නොදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කඩිනමින් සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (15වැනිදා) දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට සහභාගී වූ අවස්ථාවේ දීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

අලුතින් ක්‍රීඩා පහසුකම් හදන්න කලින් තිබෙන සම්පත් අපි ආරක්ෂා කර ගත යුතුයි. දැනට තිබෙන ක්‍රීඩාංගණ සංවර්ධනය කර එයින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. මේ වාගේ ක්‍රීඩාංගණ අභාවයට යෑමට නොදී රැකගත යුතු අතර භාවිතා නොකර අත හැරියොත් ඉක්මනින් විනාශයට පත් වෙනවා. ඒවා නඩත්තුවට විශාල වියදමක් දරන්නට සිදුවෙනවා. රටේ දරුවන් වෙනුවෙන් ඉදි කළ බොහොමයක් ක්‍රීඩාංගණ වලින් නිසි ප්‍රයෝජනයක් නොගැනීම ගැන මම කනගාටු වෙනවා.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ වර්තමාන තත්ත්වය දැක්කාම විශාල සංවේගයක් මට ඇති වුණා. ඇතැම් ඉදිකිරීම් නටබුන් තත්ත්වයට පත් වීගෙන එනවා. මෙහි වර්තමාන තත්ත්වය සහ ඉදිරි සංවර්ධන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් මම කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට භාරදී හෝ රාජ්‍ය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

ජාතික සම්පත් රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් භාවිතා කිරීමට පහසුකම් සැපයීම අපේ වගකීමක් වෙනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස මා නිරතුරුවම බලාපොරොත්තු වන්නේ රාජ්‍ය අංශයෙන් හෝ පෞද්ගලික අංශයෙන් උදව් අරගෙන අපේ දරුවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීමටයි.

අද අපි ගන්නා නිවැරදි තීන්දු තීරණ අනාගතයේ දී අපේ රටෙන් බිහිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා බෙහෙවින් ඉවහල් වෙනවා.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අධ්‍යක්ෂ ජනරාල් රෝහන බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment