දියණියගේ මෝල් ගස් පහරින් අම්මා එතැනමයි

786

38 හැවිරිදි දියණියක් 65 හැවිරිදි වයෝවෘද්ධ මවගේ හිසට ඊයේ (17දා) දහවල් මෝල් ගසකින් පහරදී ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ල, බේස්ලයින් මාවත, සිංහපුර මහල් නිවාස හි පදිංචිව සිටි මොහොමඩ් ජැස්මින් නමැති වයෝවෘද්ධ මවකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකාර තිස් අට හැවිරිදි දියණිය පහර දීමට යොදා ගත් අඩි තුනක් පමණ උසැති මෝල් ගස ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය හා ඝාතනයට ලක්වූ මව එකම නිවසක පදිංචිව සිටින අතර අත්අඩංගුවට ගත් සැකකාරියගේ හය හැවිරිදි දියණියට

මව විසින් පහර දුන්නැයි උරණව මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පහර දීමෙන් බරපතළ තුවාල ලද වයෝවෘද්ධ කාන්තාව නිවස තුළම මියගොස් සිටි බව පොලිසිය කියයි.

සැකකාරිය මානසික රෝගයකට ප්‍රතිකාර ගෙන මීට දින කීපයකට ඉහතදී නිවසට පැමිණි තැනැත්තියක් බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වූ බව පොලිසිය කියයි.

කොළඹ දකුණ දිසාව බාර සහකාර පොලිස් අධිකාරි (3) චින්තක පෙරේරා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බොරැල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල දිසානායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රමරත්න, උප පොලිස් පරීක්ෂක උපුල්, පොලිස් සැරයන් 14704 හේරත්, පොලිස් කොස්තාපල් 72025 කුමාර, කාන්තා පොලිස් කොස්තාපල්12017 කුමාරි මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

කැස්බෑව එස්. ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment