දියව් දියව් පොහොර දියව්…. මැති සබය ඇතුළේ සජබ උද්ඝෝෂණයේ

188

කිරිඇල්ලගේ කතාව අතරතුර විරෝධතා පුවරු එසවෙයි
විපක්ෂයේ ඝෝෂා මැද කෝප් සභාපති කතා කරයි
මන්ත‍්‍රීවරුන්ගේ නම් කිය කියා කථානායක නිහඬ වෙන්න කියයි

වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොපමාව ලබාදෙන්නැයි බලකරමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ සමගි ජනබලවේගය මන්ත‍්‍රීවරුන් සභා ගැබෙහි ඊයේ (22දා) සටන් පාඨ කියමින් පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරතවූහ.

දියව්, දියව් පොහොර දියව් යන ලෙස කෑ ගසමින් සජබ මන්ත‍්‍රීවරුන් විරෝධතාව ආරම්භ කරනු ලැබුවේ විපකෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පොහොර සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ මොහොතේය.

ජනාධිපතිවරයා ඉදිරිපත්කර ඇති සෞභාග්‍යයේ දැක්ම තුළින් මේ රටේ කාබනික පොහොර භාවිතය ප‍්‍රචලිත කරනුයේ වසර 10කින් බවත් එය වසරක් තුළ සිදු කිරීම ජනවරමට පිටුපෑමක් බවත් කිරිඇල්ල මහතා කීය.

දියව් දියව් පොහොර දියව්.... මැති සබය ඇතුළේ සජබ උද්ඝෝෂණයේ

එහිදී කථානායකවරයා කිරිඇල්ල මහතාට ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීමට අවස්ථාව ලබා නොදුන් අතර එවිට එක්වරම සජබ මන්ත‍්‍රීවරු විවිධ සටන්පාඨ සහිත පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයෙහි නිරත වූහ.

ඒ අනුව, දියව් දියව්, පොහොර දියව්. මහ කන්නයට පොහොර දියව්. ගොවියා වැනසූ දීන ආණ්ඩුව, ගොවියා විනාශයි. පිස්සු ආණ්ඩුව ගොවියා විනාශයි. ආණ්ඩුව මාරයි, ගොවියා හමාරයි. මතට ඉඩ – බතට තිත, ගොවියා ඉවරයි. … ඔයා මාරයි. ආදී වැකි ඒ අතර විය.

විරෝධතාව අතරතුර කෝප් කමිටු වාර්තා සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරමින් එහිදී සභාපති ආචාර්ය චරිත හේරත් මන්ත‍්‍රීවරයා විපක්ෂයේ ඝෝෂා කිරීම් මධ්‍යයේ අදහස් දැක්වීය.

තත්ත්වය පාලනය කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ‘නිශ්ශබ්ද වන්න’ තමන්ගේ ආසනවලට යන්න වැනි ඉල්ලීම් විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ නම් සඳහන් කරමින් කීමට සිදුවිය.

විනාඩි 20කට වැඩි කාලයක් මෙම විරෝධතාව ක‍්‍රියාත්මක වූ අතර ඊට විපක්ෂයේ වෙනත් මන්ත‍්‍රීවරුන්ගේ සහායක් හිමි නොවූ අතර ආණ්ඩු පක්ෂයෙන්ද ඊට බාධාවක් එල්ල නොවීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment