දියසෙන් සම්ප‍්‍රාප්තිය – ද්විතීය වෙළුම

392

ඉක්බිති වසංගත බියෙන්ද ජීවන බරෙන්ද මිරිකෙමින් දවසරිනා වූ මඤ්ඤංලන්තවාසීහු එසේ වුවද බෝ තුටින් ඉපිලෙමින් සිටිනා බැව් දක්නේ එකී සතොසට හේතු කාරණා කවරේදැයි බැලූ කල්හි පොරණෙහි මෙන් එකකු නොව මෙකල්හි රජවාසල කවටයන් රැසක්මැ සේවයෙහි නියුතුව සිටිනා බැව් දක්නා ලද්දේයැ. මින් එක් කවටයකු ආචාරියකු බැව් හැෙඟනුයේ විස දෑ රැගත් නෞකාවක් මුහුදුබත් වීමේදී කරදියට විස එකතුව නේක මුහුදු ජීවින් විශාලව මියැදුනු කල්හි උහු වහා පැනැ, ”මා වනාහී දිය ගොඩ දෙකෙහිමැ සරණා හේවායෙකු වම්හ. එනිසා දනිමි. මෙකී ජීවීන් මියයනුයේ වාරකන් සමය බැවිනි.යි පවසා මඤ්ඤං ජනයා සිනහයෙන් මුසපත් කරනායැ. එසේමැ සකළ මඤ්ඤං සිසුනට සිප් පිණිස එක් දිසාපාමොක් ඇදුරෙකු පමණක් සෑහේ යැයි අමනගමයා නම් එකකුද දිසාපාමොක් ඇදුරන් වනාහී අප වැනි කාලකන්නින් යැයි කිහිළිඇලියා නම් එකකුද පවසනේ සකළ මඤ්ඤංලන්ත වැසියන්ම කෝප සිනා සයුරේ ගිල්වනාහ. මඤ්ඤමුන්ද මෙබස් අසමින් ආක්‍රෝශ පරිභවයෙන් හා තුටින් වසංගත සිරිය විඳිනාහ. මෙපවත් මෙසේ සිදුවනුයේ එක් උදයෙක චූලෞෂධයෝ පාතරාස කිස නිම කොට සුපුරුදු පැන විසැඳුම් හමුව පැවැත්වුම් පිණිසැ ගිනිහල්ගෙයින් නික්මැ විසුම් ගෘහයද පසු කොට රැස්වුම් ගෘහය වෙත පිය නගනුයේ එදින උදෑසන රටතොට තතු විමසුම් වස් රැස්ව හිඳිනා දනන්, මනා විමසුම්වැ එකී රැස්වුම් ගෘහයෙහි බිතක්කන මත්තෙහි සවි කොට ඇත්තා වූ තෙල දසුන් පෙට්ටගම දෙස සමහරකු අයා ගත් මුවින් ද, සමහරකු පියවූ මුවින් හා දොඹ ඵල සේ විසල් වූ දෑසින්ද, තවත් සමහරකු අයාගත් මුවින් හා නෙරාගත් ඇසින් යන දෙයාකාරයෙන්මද යුක්තවැ එකී තෙල දසුන් පෙට්ටගම දෙස මස්වර වැද්දකු පානා ගිනි හුලකට ගිනිකනවැ ගිය මිග රැළක් සේ එක්වන්වැ බලා හිඳිනායුරු දැකැ නැඹුරුව ඉන් එකකු උරෙන් ගෙන සොළවා, ”එම්බල, තෙපි සැම මෙවන් වූ උවමනාවෙන් කවරක් නරඹනාදැ? දෙවියන් යැදුම් පිණිස දෙව්හලට වන් බැතිමතුනට යළි ගිනි සැර බිඳුමක්දැ? නොඑසේ නම් මහා භාණ්ඩාගාරයට යළි චෞරයන් ඇතුළුව ඇත්තේදැ?.යි උහු අමතා පැන වැලෙක්මැ පානාහ.

umbe2පැන විසඳුම් පතා පැමිණි කෙළෙඹියා අන්දමන්දවැ ගොස් වහා සිහි එළැවා, ”නැතැ ස්වාමීනී, එවැන්නක් නොවේයැ. අප මහා නන්දසෙන් මහරජාණෝ රාජාසනාරූඪවැ සත් සතියක් වන්නටත් පෙරාතුවැ එකී පාස්කු ඝාතකයන් සියල්ලන් අල්වා හුල හිඳවූ නියා නුඹ වහන්සේට නොමතකවැ ඇති සේයැ. තවද මකර දේශය අනුව යමින් මඤ්ඤංලන්තය වටා මහා ප‍්‍රාකාරය නැංවූ කල්හි දෑහිත ආරක්ෂාව මනා ලෙස තරවැ යන හෙයින් යළි එවන් වූ විපතකට ඉඩ නොමැත්තේයැ. නුඹ වහන්සේ ඇසූ අනෙක් කාරණය වූ මහා භාණ්ඩාගාරයට යළි චෞරයන් ඇතුළුව ඇතිදැයි දැන්ම කිව නොහැක්කේයැ. මහා නන්දසෙන් රජු යම් කලෙක රජසුනෙන් බැහැරව ගිය කල්හි එබැව් දැනගත හැක්කේයැ.යි පවසනායැ. එබස් ඇසූ චූලොෟෂධයෝ, .මූ වනාහී පෙම්දස් සජිතයා සරණ ගිය එකකු වන්නට හැක්කේයැ.යි තීරණ කොටැ, ”තගේ වැල්වටාරම තා ම තබාගිය. මා අනෙකෙකු විමසා දැනගනිමි.යි උහුට පවසා ඉන් නොදුරේ, බතුරුමුළු සිල්රතන තෙරගෙන් කුණු සරුප ධර්මය ශ‍්‍රවණ කොට ඇරගත් ඵලයට පැමිණි එකකු සේ නස්පුක්වැ ඇන බා හිඳ සිටිනා එකකු දැකැ උහු කෙස් වැටියෙන් අල්වා සොළවා පියවි සිහියට ගෙන එකී තෙල දසුන් ප‍්‍රශ්නය විමසනාහ. උහුද සිහි එළැවා, ”ස්වාමීනී, අප සැම විස්මිතවැ බලා හිඳිනුයේ මඤ්ඤං තෙල දසුනක් නොව නොරට නොහොත් විදෙස තෙල දසුනක්යැ. එකී තෙල දසුනෙහි වූ සොබමන් කතක් අප මඤ්ඤංලන්ත රාජ්‍යය අරභයා අරුම වූ පුවතක් පවසනායැ. අප සැම අඤ්ඤකොරොසවැ අසා හිඳිනුයේ එකී පවතයැ.යි සිහිනෙන් දොඩනා එකකු සේ පිළිවදන් දෙන්නාහ. චූලෞෂධයෝද, .මුන් සැම අඩ නින්දෙන් ඇහැරි කලෙක මෙන් නන් දොඩනායැ. මා මැ ගොස් විමසුම යෙහෙකැ.යි පසක් කොට තෙල දසුන් පෙට්ටගම වටා හිඳ සිටිනාවුන් ඈත් මෑත් කොට හිස පොවා තෙල තිරය දෙස බලනාහ. එසේ මුව පොවා බැලූ කල්හි කෙළෙඹියා කීවා සේ තෙල තිරය සිසාරා හුන් එකී සොබමන් කත කිමෙක් කියත්දැයි සවන යොමු කරනුයේ, ” මඤ්ඤංලන්තය හැර, මේ සා විසල් කුටුම්භයක් එක්වැ රාජ පාලනය කරනා වූ අන් දේශයක් සකල සක්වළෙහිම නොමැත්තේයැ.යි එකී සොබමන් කත කොමලයක් පාමින් කී කල චූලෞෂධයෝ රැස්ව සිටි උන් අමතා, ”තොප සැම කුම්බලා මාංශ අනුභව කළ බිළාලයන් සේ විරුවා පට්ටං සෙයියාවෙන් හිඳිනුයේ කිම්දැ? බලව, මහරජාණෝයැ, යුව රජාණෝයැ, ඇමැටි පුත‍්‍රයන්යැ, ඇමැටි සොයුරන්යැ, රාජායතන අධිපතියන්යැ, දනව් අධිපතියන්යැ ඈ මෙකී නොකී සියල් තැන්හි වැජැඹෙනුයේ කුටුම්භලාභීන් නොවේදැ? සකළ වැදගත් තැනෙකැම මුල්තැනැ උන්යැ. උන් ඥාති ඝනයායැ. ඉදින් තොප නැවුම් යමෙක් ඇසූ කලෙක මෙන් විශ්මයට පත්ව හිඳිනුයේ කවර හෙයින්දැ?.යි ඇසූ කල්හි උන් එකිනෙකාට සොරෙන් මුහුණු සඟවා ගන්නාහ.

 චූලෞෂධයෝද රත් වූ රුධිරයෙන් යුත්තේ එතැනින් නික්මැ ආලින්දයට සැපත්වැ අසුනකට බරවන්නට සූදානම් වූ සැණින් නිවස්නය ඉදිරි මාර්ගය දෙසින් මහා ඝෝෂාවක් හා යම් ස්පෝටන හඬ සමූහයක් ඇසී, උද්ගොසුන් කළා වූ දිසාපාමොක් ඇදුරන් නිරෝධායන පිණිස ගෙනයත්දැයි ඉදිරි මායිම් පවුර සමීපයට විත් හිස පොවා බලනාහ. මාර්ගයේ තන්හි තන්හි ඇටැවූ උඩු වියන් යට රැස් වූ මඤ්ඤං ජනයා මහත් වූ ප‍්‍රීතියෙන් ක්ෂීරපායාස හා ලවණ මරිච එක්ව හනා අනුභව කෙරෙමින් ජය ඝෝෂා කෙරෙනු දක්නේ මුන් මෙසේ ප‍්‍රීතියෙන් උදම්ව ගොස් ඇත්තේ රජවරණයක් කැඳවා අඬබෙරයක් හැඬ වූයේදැයි සැකැව අවට බලනුයේ
 රැස්වුම් ගෘහයෙහි හුන් පිරිස එකිනෙකා පරයා, අලංකරණය පිණිසැ ගෙමිදුලෙහි හිඳුවා තිබූ පුෂ්ප ශාක ඝට ද පාගා සුණු කෙරෙමින් මාර්ගය දෙසට දිව යනු දක්නේ අපාසුවෙන් එකකු අල්වා නවත්වා කාරණ කිම්දැයි විමසනාහ. ”ස්වාමීනී, තැග්

 ගැහෙන්නට කාලයක් නොමැත්තේයැ. මේ වනාහී මඤ්ඤංලන්තය ගලවා ගැනුම පිණිස එළැඹෙනා අවසන් හෝරාවයැ. එපිණිසැ දිව යන්නෙමුයැ.යි පවසා යළි දිවුම අරඹන්නට තැතැනූ කල්හි උහු හස්තය හඹරවා වැරෙන් නවතා, ”එම්බල, මෙවර රට ගලවා ගනු පිණිසැ දියසෙන් කුමරුවත් පහළ වීදැ?.යි අසනාහ. ”එසේයැ, සුළු දිනකට පෙර මහා ආරතික ශූර විකුම්සිහයාණන් රජසබයට වඩමවා වසංගතය දූරිංභූත කොට ඇත්තේයැ. දැන් රට පත්ව ඇත්තාවූ භයංකර තත්ත්වය දැක අප කෙරෙහි අනුකම්පායෙන් මහා ශූර රජපස් බාසුල උතුමාණන්ගේ ළය හුණුවැ ගොස් මඤ්ඤංලන්තය ගලවා ගනු වස් අමරික්ඛ දේශයේ සිට පැමිණ ඇත්තේයැ. ඉදින් මෙවක් පටන් සුහුණු බිජ්ජක් තරම්වත් බිය වන්නට කාරණා නොමැත්තේයැ. සය මසක් ඉක්මෙන්නට මත්තෙන් අතවැසි අහර, ඉන්දන ආදී දෑහි මිල බිම් මට්ටම තෙක් බැස මඤ්ඤංලන්තය සුඛිත මුදිත වනායුරු දෑසින් දකින්නට ඔබතුමාට ද වාසනා ඇත්තේයැ.යි දිව ගොස් ජයගොස් නගනා පිරිසට එක්වනායැ. මොහොතකට පෙර තෙල දසුන නරඹා ලැජ්ජායෙන් ඇඹැරී ගියේ මුන්දැයි සිතාගත නොහුනු චූලෞෂධයෝ එතැනම සිහිසුන්වැ ගියාහුයැ.

 – නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment