දිල්ලි කැපිටල්ස් උඩට එයි

263

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 64ක් අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය රැක ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒ පෙරේදා (16 වැනිදා) පැවැති තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 17කින් පරාජයට පත් කරමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 159ක අභියෝගයක් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ලබා දුන්නේය. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී ලබාගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 142ක් පමණි.

දිල්ලි ජයග්‍රහණය වෙනුවෙන් වැඩිම බරක් ඉසිලූ මිචෙල් මාස් ලකුණු 63කින් ඊට දායකත්වය සැපයූ අතර ෂර්ධුල් ඨාකූර් පන්දුවෙන් දස්කම් දක්වමින් පන්ජාබ් කිංග්ස් ඉනිමේ කඩුලු 4ක් බිඳ දැමීය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායම සමත්වී සිටින අතර ඔවුන් තරග 13කදී ජයග්‍රහණ 10ක් සමගින් ප්‍රසාද ලකුණු 20ක් හිමිකරගෙන තිබේ.

රාජස්ථාන් රෝයල් කණ්ඩායම තරග 13කදී ජයග්‍රහණ 8ක් සමගින් ප්‍රසාද ලකුණු 16ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර තෙවැනි ස්ථානයේ පසුවන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමද තරග 13කදී ජයග්‍රහණ 8ක් සමගින් ප්‍රසාද ලකුණු 16ක් ලබා තිබේ.

ලකුණු සාරාංශය

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 159යි (සර්ෆාස් කාන් 32, මිචෙල් මාස් 63, ලලිත් යාදව් 24, ලියම් ලිවිස්ටොන් 27/3, අර්ශ්දීප් සිං 37/3)

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 142යි (ජිටෙෂ් ෂර්මා 44, රාහුල් චහර් (නොදැවී) 25, ජොනී බෙයාස්ටෝ 28, ෂර්ධුල් ඨාකූර් 36/4, අක්ෂාර් පාටේල් 14/2, කුල්දීප් යාදව් 14/2)

advertistmentadvertistment
advertistmentadvertistment