දිලුම් අමුණුගම ට ප‍්‍රවාහනය පමණක් නොව, රටත් භාර දිය යුතුය

1665

ප‍්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මේ රටට අලුත් බස් ගාස්තු ක‍්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව බස්වල ඉඳගෙන යන අයගෙන් වැඩි මුදලක් අය කිරීමත් හිටගෙන යන අයගෙන් අඩු මුදලක් අය කිරීමත් සිදුවෙනවා ඇත. මෙහි අතුරු ඵලයක් වශයෙන් මගීන් සියලුදෙනා ම හිටගෙන බස් එකේ ගමන් කරන අවස්ථා හටගැනීමට ඉඩ තිබේ. මෙවිට සීට් හිස් ය. මෙය, රෝදය සොයාගත් දා සිට පරිණාමනය වූ ප‍්‍රවාහන කර්මාන්තයේ අති නවීන අවස්ථාවක් බව අපගේ වැටහීමය. මේ තත්ත්වය තව දුරටත් විවිධාන්ගීකරණය කළ හැකිය. උදාහරණයක් වශයෙන් බස්වල සෙනඟ වැඩි අවස්ථාවල දී බස් එකේ බලු පොල්ලේ එල්ලී යන පිරිස් ද සිටිති. මෙය ඉතාම අවදානම් ගමනකි. බලු පොල්ල කඩා වැටුණොත් මළ මිනී හත අටක ප‍්‍රතිඵලයක් වාර්තා වන්නේය. එබැවින් බලු පොල්ලේ යන අය වෙනුවෙන් විශේෂ රක්ෂණ ක‍්‍රමයකුත් සුවිශේෂ ගාස්තු ක‍්‍රමයකුත් හඳුන්වාදිය හැකිය. දිලුම් අමුණුගම මෙතැනින් ද නැවතිය යුතු නැත. බස් එකේ ෆුඞ්බෝඞ් එකේ එල්ලී යන අය සඳහා ද වෙනම ගාස්තු ක‍්‍රමයක් හඳුන්වාදීමට ඔහුට පුළුවන. මේ ක‍්‍රමය දුම්රිය සේවාව සඳහා ද ව්‍යාප්ත කළ හැකි බව අපගේ විශ්වාසයයි.

සාමාන්‍යයෙන් මගී තදබදය වැඩි කන්තෝරු දුම්රියවල වහලය උඩත් සෙනඟ ගමන් කරති. ඒ අය වෙනුවෙන් විශේෂ ගාස්තුවක් අය කළ හැකිය. එමතු ද නොව, දුම්රියේ වහලය මත සිට ගමන් කරනවිට පරිසරය සම්පූර්ණයෙන්ම දැකබලා ගත හැකිය. මේ පහසුකම සලකා අතිරේක ගාස්තුවක් ද වහල මත ටිකට් එකට එකතු කළ හැකිය. මේ ක‍්‍රියවලිය තුළ ඇත්තේ එකම එක තාක්ෂණ ගැටලුවක් පමණි. එනම් හිටගෙන යෑමට ටිකට් ගත් මගියා සීට් එකක් හිස් වූ වහාම එහි හිඳ ගතහොත් ගාණ වැඩි කරන්නේ කෙසේ ද යන්නය. ඔච්චර හරියක් හිතූ රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මේ ප‍්‍රශ්නයටත් සාර්ථක විසඳුමක් දීමට ඉඩ තිබේ. අපට පෙනෙන හැටියට මෑත කාලීන ප‍්‍රවාහන කර්මාන්තයේ පරිකල්පන පැත්ත හරියට ම කළේ දිලුම් අමුණුගම ය. මේ ගැන මීට වඩා කතා කළ යුතු ද නැත.

ආණ්ඩුවේ ප‍්‍රබලතම දේශපාලනඥයකුගේ බැංකු ගිණුමේ එකතු වූ රුපියල් කෝටි හතරක මුදලක් වංචා සහගත ලෙස එළියට ඇද්ද පුද්ගලයකු ගැන මේ දිනවල පරීක්ෂණ පැවැත්වේ. දවස් හතරක පමණ කාලයක් තිස්සේ කැරකෙමින් තිබූ මේ සිද්ධිය ජනමාධ්‍ය මගින් හරියට ම එළියට දමන ලද්දේ ඊයේය. මේ කියන ඉහළ දේශපාලනඥයා කවරෙක්ද යන්න මේ මොහොත වනවිට මේ රටෙන් භාගයක්වත් දන්නවා ඇත. එසේම ගිණුමට විද්ද ශූරයා ගැනත් වැඩි දෙනෙක් දන්නවා ඇත. අපට දැනගැනීමට ඇති පරිදි ඉහත සඳහන් දේශපාලනඥයාගේ ගිණුමේ තිබූ කෝටි හතරකට වැඩි මුදල ඔහු විසින් දිගු කලක් තිස්සේ දරන ලද දේශපාලන තනතුරුවලට හිමි වැටුපය. එම වැටුප ඔහු විසින් පරිහරණය නොකළ බැවින් එය ගිණුමේ ඉතුරු විය. වැටුපට විද්ද ශූරයා කටයුතු කළේ පෙර කී දේශපාලන ප‍්‍රධානියාගේ ලේකම් ලෙස ය. යහ පාලන ආණ්ඩුව තිබූ සමයේ දී එම ලේකම්වරයා සහ දේශපාලනඥයා අතර තිබූ සම්බන්ධය අමුඩය සහ පස්සපැත්ත අතර ඇති සම්බන්ධතාවය හා සමාන විය. මේ දේශපාලනඥයා යන යන තැන පෙර කී ලේකම් ඇල වී සිටියේය. දේශපාලනඥයාගේ ඩයරිය මේන්ටේන් කරන ලද්දේ පෙර කී ලේකම් විසිනි.

මේ නිසා දේශපාලනඥයාගේ බැංකු ගිණුමට අවශ්‍ය ප‍්‍රවේශය හෝ මුර පදය ලේකම් අතට පත්වන්නට ඇත. ආණ්ඩුවේ සිටින සෙසු අය හොරාකන සහ ගසාකන සල්ලි කන්දරාව දුටු ලේකම්තුමා තම අත හරියේ හොරකම් කිරීමට තිබෙන පහසුම තැන ලොක්කාගේ බැංකු ගිණුම නිසා එයට ගේමක් දෙන්නට ඇති. පවතින දේශපාලන ක‍්‍රමය තුළ දී හොරකම යනු එතරම් ලොකු වරදක් වන්නේ නැත. එය අත්වැරද්දක් හෝ නොසලකා හැරීමක් සේ අර්ථකතනය කර නොසලකා හැරීමට තරම් බලයක් රාජ්‍යයට තිබේ. එහෙත් හොරකම නමැති සංකල්පය රාජ්‍යයේ ඉහළ ස්තරවලින් පහළට පැතිර යෑම සුවිශාල සමාජ අවභාවිතාවක් සේ සැලකීමට රාජ්‍ය විසින්ම නීති රීති යොදනු ලැබ ඇති බව පැහැදිලිය. ඒ නිසා පොල් ගෙඩි දෙකක් හොරෙන් කැඩූ එකාට අවුරුද්දක් හිරේ යන්නට සිදුවේ. රුපියල් 10,000ක් හොරකම් කළ එකාට බරපතළ වැඩ ඇතිව හතර අවුරුද්දක් හිර දඬුවම් විඳීමටත් හිර දඬුවම අතරවාරයේ දී ජේලර්ලාගෙන් ගුටිකා මිය යෑමටත් සිදුවේ. මීට දෙසතියකට පමණ පෙර දී කදුරුගස්ආරේ එළිමහන් සිරකඳවුරේ සිටි රැුඳවියකු වසවත් මරුවන් වැනි ජේලර්ලා විසින් පහරදීම නිසා මළේය. ඔහු හිරේ ගියේ රුපියල් 10,000ක් සොරා ගැනීම නිසා ය.

ඔහුගේ හිර දඬුවම බරපතළ වැඩ සහිත සිව් අවුරුද්දකි. කදුරුගස්ආර එළිමහන් සිර කඳවුර ද ලංකාවේ සෙසු සිරකඳවුර හා සමානවම දූෂිත අපායවල්ය. මේ අපායවල් තුළ සියලු දුරාචාර ඇති අතර ඒවා ක‍්‍රියාත්මක කරන්නේ ජේලර්ලා ය. පෙර කී රැුඳවියා ජේලර්ලාගෙන් ගුටි කා මිය යන්නේ ඔවුන් කරන සුරුට්ටු බුලත්විට බීඩි සිගරැුට් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන ඉහළ නිලධාරීන්ට කට උත්තරයක් දුන් නිසා ලු. නැවත වතාවක් ලොක්කාගේ බැංකු පොතට විද්ද ලේකම් ගැන කියතොත් අපට සඳහන් කිරීමට ඉතිරිව ඇත්තේ මෙය ය. රුපියල් 10,000ක් හොරකම් කළ එකාට හිරේදීම ගුටි කා මැරෙන්නට සිදුවුව ද දේශපාලන ලොක්කගේ පොතට විද්ද එකාට කිසිවක් සිදුවන්නේ නැත. තව මාස කීපයකින් ඔහුත් ඔහුගේ ලොක්කාත් අත් පටලවා ගෙන මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමට ඉඩ තිබේ. අපගේ අවසන් ප‍්‍රශ්නය මෙය යි. පෙර කී ලොක්කා සිය වැටුප බැංකු පොතෙ හි ඉතිරි වෙන්නට හැර තිබුණා නම් මේ දක්වා ඔහුට ජීවත්වීමට මුදල් ලැබුණේ කොහෙන් ද? කිසියම් පුණ්‍යායතනයක් විසින් ඔහු නඩත්තු කරන්නේ ද?

advertistmentadvertistment
advertistmentadvertistment