දිවයිනට ආදරය කළ වයස අවුරුදු 103 ක් ජීවත් වූ වරකාපොල පළමු තැපැල් මහත්තයා

143

මිනිසෙක් ජීවත්වන්නේ වසර කීයක්ද නොව ජීවත් වූ වසර පුරා කළේ කුමක්ද යන්න පිළිබඳව අපට කතා කරන්න පුළුවන් නම් එය වඩා වටින්නේ අනාගතයක් භාරගන්නා වූ දරුවන්ට බව කිව යුතුය.

ජීවත් වූ කාලය පුරාම සම්මා සතියෙන් ජීවත් වූ අපේ වරකාපොල අභිමානවත් මිනිසා ඊයේ රාත්‍රි සමුගත් බව පවසන්නේ මහා දුකකින් නොව හදවත පිරුණු අභිමානයක් ඇතිවය.

ජීවිතේ අර්ථවත් ලෙස ගතකළ මිනිසුන්ගේ මරණය පවා සුන්දර බව අප අසා ඇත.

එය ප්‍රායෝගිකව දැක ඇත්තේ ඉතාමත් සීමිතවය.

වයස අවුරුදු 100ක් පසුවුවත් ජීවිතය පිළිබඳව, රට තොට පිළිබඳව, මිනිසුන් පිළිබඳව, තම පවුල පිළිබඳව, තම නෑදෑයන් පිළිබඳව, අසල්වාසීන් පිළිබඳව සෑම සියලු දෙයක් පිළිබඳව යාවත්කාලීන ය.

වරකාපොල නම් සුන්දර ගම්මානයේ සුන්දර අර්ථවත් ජීවිතයක් ගත කළ මේ ප්‍රතාපවත් මිනිසා සැබවින්ම අප්‍රමාදීව ජීවිතයට අවශ්‍ය සෑම යහපත් කටයුත්තක්ම ඉටු කළේය.

ගමේ සෑම පන්සලකම පාහේ ප්‍රධාන දායකත්වය එතුමන් දැරුවේ වචනයෙන් නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින්ය.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ ඇසුරු කරමින් ලබාගත් ජීවිත පරිත්ඥානය මෙතැකැයි කියා විස්තර කළ නොහැකිය. රත්නායක රාලහාමි ජීවත් වූ වකවානුවේ මේ මුළු ලංකාද්වීපයේම පහළ වූ උතුම් ස්වාමින් වහන්සේලා රත්නායක රාළහාමිගේ නිවසේ පිළියෙල වූ දනක් වළඳන්න පැමිණ ඇති බව අපි දනිමු. ඔහු මියයන තෙක්ම අපේ “දිවයින” කියවූ ආදරණීය පාඨකයකු විය.

රත්නායක රාළහාමි බලන්න ඒ නිවසට ගිය ඕනෑම මොහොතක අපි දකින්නේ නිවසින් පිරී ගිය සෑම තරාතිරමක මිනිසුන් එහි පැමිණ ඇති බවයි.

ඒ සියලු දෙනාම සමග කුඩා දරුවෙක් මෙන් හිනැහෙමින් සුව දුක් ආ ගිය තොරතුරු විමසන්නේ දයාබර උතුම් පියගුණයෙන් වීම විශේෂත්වයකි.

කොයිතරම් වත් පොහොසත්කම් තිබුණ ද එතුමන් ඒවායින් උඩඟු නොවීම අපට කියාදුන් මහඟු පාඩමයි.

එතුමන්ගේ ආදරණීය දරුවන් පිළිබඳව මෙන්ම තමාගේ මුණුපුරන් වෙතද දැක්වූයේ අසීමිත සෙනෙහසක් බව අප නිබඳවම දුටු කරුණකි.

බොහෝ පිරිසක් සමග කතාබහ කරන අතරතුර වුවත් ගෙදර සාමාජිකයෙක්ගේ අඩුවක් දැනුන මොහොතක ඒ පිළිබඳව විමසන්නට එතුමන්ට මනා සිහි කල්පනාව තිබුණි.

නිබඳවම රත්නායක රාළහාමිගේ නිවස කහ පැහැයෙන් බැබළෙනවා දක්නට ලැබුණි. සෑම පළාතකින්ම ඕනෑම මොහොතක ඒ නිවසේ ස්වාමින් වහන්සේ නමක්.

එවන් පුරුෂයෝ මෙබිම..

සුද්දාගේ කාලයේ සුදු වතු පාලකයකුගේ රියැදුරු ලෙස තම පළමු රැකියාව ආරම්භ කළ ආකාරයත් එයින් පසු උදාවූ ජීවිතයක් ගතකරන ලදී.

මිනිස්සු සමග සම්බන්ධතා පැවැත්වීමේ කලාව එතුමන්ගෙන් දැන ගතිමි. (ඔහු තම ජීවිතයේ අවසන් කාලයේදීත් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කියවූ අවස්ථාවක් මේ සමග ඇති ඡායාරූපයේ දැක්වේ.)

වරකාපොලට අභිමානවත් වූ උතුම් මිනිස් ගුණයෙන් පිරුණු ආදරණීය පිය සෙනෙහසින් මුළු ගමක් නායකත්ව ගුණයෙන් පෝෂණය කළ ආදර්ශවත් රත්නායක තැපැල් මහත්තයා තවත් අප අතර නැත. ඔබට සුබ ගමන්.

කෑගල්ල –
බණ්ඩාර පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment