දිවයින අනුරාධපුර මාධ්‍යවේදී සිරිල් බස්නායක සමුගනී

59

අඩසියවසකට අධික කාලයක් මෙරට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස ජායාරූප සහ ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරතවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැරණිතම මාධ්‍යවේදියා ලෙස දිවයින සහ දි අයිලන්ඩ් පුවත් පත්වල කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිල් බස්නායක මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (07දා) අලුයම අභාවප්‍රාප්ත විය.

ලක්බිම පුවත් පතේ හිටපු අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදිනී ශිලා බස්නායක මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වන ඒ මහතා මියයන විට අනූතුන් වෙනි වියෙහි පසු විය.

මවුබිම පුවත් පතේ හිටපු කතෘ මණ්ඩල ජායාරූප ශිල්පී තාරක බස්නායක සහ ජාතික රූපවාහිනියේ අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී සහන් බස්නායක යන මහත්වරුන්ගේ පියාණන් වන සිරිල් බස්නායක මහතා ගම්පහ සියඹලාපිටියේ දී උපත ලබා කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත.

ලෝක යුද්ධය පැවැති සමයේ 1940 දශකයේ දී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හඳුන්වාදුන් 1947 වසරේ දී එම විභාගය සමත් ප්‍රථම කණ්ඩායමට අයත්වීමේ භාග්‍යය ලැබූ සිරිල් බස්නායක මහතා එවකට මාසිකව රජයෙන් පිරිනැමුණු රුපියල් දොළහක් වූ ශිෂ්‍යාධාර දීමනාව ලැබීමට වාසනාව උදා කර ගත් අයෙකි.

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය අවසන් කළ ඒ මහතා අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ කාර්මික ශිල්පියකු ලෙස අධ්‍යාපනය ලබා 1950 දසකයේ එම ආයතනයේම මාර්ග සහ වාරිමාර්ග ඇළවේලි ඉදිකිරීමේ තාක්ෂණය පිළිබඳ පුහුණු උපදේශකවරයකු ලෙස සේවය කොට තිබේ. ඒ අතරතුර එම කාර්මික විද්‍යාලයෙන් ම ඡායාරූප ශිල්පය සාර්ථක ලෙස හදාරා ඇති ඒ මහතා මෙරට ජායාරූපකරණයේ ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ වින්සන්ට් හෑගොඩ මහතාගෙන් කළු සුදු ඡායාරූප මුද්‍රණය ආදී ඡායාරූපකරණයේ සියලු අංග පිළිබඳව හසල දැනුම් සම්භාරයක් ලබා ගත් අයෙකි. ඉන් පසු ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සාමාජිකත්වය ලබා ඇති ඒ මහතා පසු කලෙක දෙස් විදෙස් ජායාරූප තරග රාශියකට සිය ජායාරූප නිර්මාණ ඉදිරිපත් කර සම්මාන රැසකට පාත්‍රවී ඇත.

සීමාසහිත ස්වාධීන පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කළ ‘දවස’ සහ ‘රිවිරැස’ පුවත්පත්වලත් කලක් කටයුතු කළ ඒ මහතා සීමාසහිත උපාලි පුවත්පත් සමාගමේ ප්‍රකාශනයන් වන ‘දිවයින’ සහ ‘දි අයිලන්ඩ්’ පුවත්පත් ආරම්භයේ සිට මියයන තුරුම අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදියකු කටයුතු කළේය. බස්නායක මහතා සාමාන්‍ය ප්‍රාදේශීය වාර්තාකරුවන්ට වඩා සුවිශේෂී චරිතයක් විය. වෙනත් වාර්තාකරුවන්ට නොමැති හැකියාවක් ලෙස කැමරාකරණය මෙන්ම කළු සුදු ඡායාරූප මුද්‍රණය ද ප්‍රගුණ කළ අයකු වීමත් ඉංග්‍රීසි බස හැසිරවීමේ දක්ෂයකු වීමත් නිසා ඔහුට බොහෝ වගකීම් දැරියහැකි විය.

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිල් බස්නායක මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අනුරාධපුර නවනගරයේ රත්නායකපුර පටුමගේ පිහිටි අංක 52/3ෑ/ඊ නිවසේ තැන්පත් කොට තිබෙන අතර අවසන් කටයුතු අද (08) සවස 5.00 ට අනුරාධපුර නිසල නිම්නය ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතය.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment