දිවයින ඉරිදා සංග්‍රහය නිසා හග්ගල්ලේ ‘පරසතු මල නැවත පිපේ’

94

පරව ගිය ‘පරසතු මල’ නැවත පිපේවී (හග්ගල්ලේ පී.කේ.ඩී.ඇගයුම) මාතෘකාව මගින් “දිවයින ඉරිදා සංග්‍රහයේ” 2023 මැයි මස 07 වැනි දින පළ කළ ලිපිය දින තුනක් ඇතුළත පලදරනු ලැබීය.

ඡායාරූප සහිතව,- සාහිත්‍යධර, චිත්‍රපට තිර රචක, කවි කලාව ඔප කළ මෙන්ම පාසල් ගුරුවරයකු හා එවක අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ප්‍රවෘත්ති නිලධාරී වූ පී.කේ.ඩී. සෙනවිරත්නයන් ගේ වල්වැදී ගිය පිළිරුව පිළිබඳව රටටම හෙළි කළෙමි.

මෙය කියවා ක්ෂණිකව අවශ්‍ය කටයුතු සිදුකිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, තමාගේ මාධ්‍ය ලේකම්වරයාට හා සහකාර මාධ්‍ය අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන් බවත් එය ඉටුකර එතුමාට නොපමාව දැනුම් දෙන ලෙසත් දැන්වූ බව මට දැන ගන්නට ලැබීම මගේ සතුට විය.

ඒ අනුව, ඒ මොහොතේම අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් සම්පත් ගුණවර්ධනට දන්වා ඇති අතර, මේ පිළිරුව පිළිබඳව දැනුවත්ව නොසිටි එතුමා එසැනින් එම ස්ථානයට ගොස් එහි තිබූ ගස්වැල් ඉවත් කරවා, එම පෞද්ගලික භූමිභාගය පිරිසිදු කර කැලයට යටවී තිබූ “පරසතු මල” නැවත මහා මාර්ගයේ යන එන අයට දැක ගැනීමට සලස්වා ඇත. මාගේ ඉල්ලීම අනුව කටයුතු කළ අග්‍රාමාත්‍යතුමා ඇතුළු එම නිලධාරීන්ටත්, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්වරයාටත්, හැකි හැම විටම සැඟව ඇති යමක් රටට හෙළි කිරීමට මුල්වන දිවයින “ඉරිදා සංග්‍රහයටත්” මගේ ස්තුතිය පුදකරමි.

ප්‍රාදේශීය ලේකම්තුමනි, ඔබ මුල්වී පිපෙන්නට සැලැස්වූ “පරසතුමල” සදාකල් පරනොවන්නට එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත පැවරීමට කාරුණික වන මෙන් ද මෙයින් ඉල්ලා සිටිමි.

සාහිත්‍යයට කලාවට ඉතා ලැදි අගමැතිතුමන් කොයි මොහොතක හෝ යන එන අතරතුර රදාවාන තුංමං හන්දියේ ඇති මහගමසේකරයන් හා හග්ගල්ලේ පී.කේ.ඩී. සෙනවිරත්නයන්ගේ පිළිරූ දැක ගැනීමට යන බව එතුමා ගැන මා සතුව ඇති වසර 36 ක. පෞද්ගලික අධ්‍යයනයෙන් මම විශ්වාස කරමි.

මගේ මුහුණු පොතේ මා මෙම විස්තරය පළ කළ පසු මේ සඳහා කවියෙන් ප්‍රණාමය පළ කළ ප්‍රසිද්ධ තරුණ කවියකු වූ රද්දල්ගොඩ චින්තන කරුණාරත්නයන් ලියූ කවි පෙළෙන් කවි තුනක් සතුටින් පළකරමි.

දුටුවෙමි ලිපිය තිබු “දිවයින” පුවත් පතේ
එය හොඳ වැඩකි හැමගෙම සහ මගෙත් මතේ
මා මෙන් කලාවට ඇල්මක් සැමට ඇතේ
පී.කේ.ඩී. ට සෙනෙහස ඇත තවත් සිතේ

හවසට “සිකුරු තරුවෙහි” ඇත ගතිය දූල්
පිපුණා “කුරුළු බැද්දේ” පැණි බේරෙන මල්
නොහැදුණි කිසි දිනෙක “රන්සළු” පටෙහි ද හිල්
“රන්වන් කරල්” වල තිබුණේ නොමැතිය බොල්

අගමැති සමග ප්‍රා.ලේ. ගේ එක් විල්ල
වෙත හිස නමන්නෙමි වාගේ ගොක් දල්ල
ඒ මෙය ලියු මැතිඳ මාගේ මේ ඇස් පල්ල
“පරසතු මල්” සුවඳ විහිදයි හග්ගල්ල

පී. ලක්ෂ්මන් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment