දිවයින කියන්නේ ජාතික දැක්මක් සඳහා වූ විදග්ධ වේදිකාවක්

645

දිවයින ප‍්‍රධාන උපදේශක කර්තෘ නාරද නිශ්ශංක

දිවයින ඉරිදා සංග‍්‍රහයට මේ වනවිට වසර 40 ක් සම්පූර්ණ වී ඇත. යළි යළිත් ස්මරණය කළ හැකි එම මහඟු ඉතිහාසය යනු වෙහෙසකර වෑයමක ප‍්‍රතිඵලයක්ය. රට විසින් ඉල්ලා සිටි නිදහස් මාධ්‍ය සම්ප‍්‍රදායක අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් 1981 ඔක්තෝබර් මස 04 වැනි දින ආරම්භවන ඉරිදා දිවයින සංග‍්‍රහය එතෙක් මෙතෙක් ඉටු කළ මාධ්‍ය මෙහෙවර සහ එහි මුහුණවර ජනතාවාදී එකක් විය.

දිවයින කියන්නේ ජාතික දැක්මක් සඳහා වූ විදග්ධ වේදිකාවක්
සිවලි රත්වත්තේ, ලෙස්ලි ධර්මරත්න සහ එඞ්මන් රණසිංහ යන මහත්වරු එදා මුද්‍රණාලයේදී

දිවයින ඉරිදා සංග‍්‍රහය ආරම්භ වීමත් සමග එහි ප‍්‍රාදේශීය වාර්තාකරුවෙක් ලෙස සේවයට එක්වන නාරද නිශ්ශංක දිවයින මතින් දිගු ගමනක් පැමිණි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියක්ය. එපමණක් නොව, මේ වනවිට ‘‘දිවයින’’ ප‍්‍රධාන උපදේශක කර්තෘ ධුරය හොබවනු ලබන්නේ ද නාරද නිශ්ශංක මහතා විසින්ය. මේ වනවිට ද ‘‘දිවයින’’ තුළ හිඳිමින් දිවයින අතීතය මෙනෙහි කිරීම පිණිස සුදුසුම පුද්ගලයා බවට පත්වන්නේ ඔහුය. දිවයින ඉරිදා සංග‍්‍රහය 40වන සංවත්සරය වෙනුවෙන් පළවන විශේෂ අතිරේකය හා එක්වෙමින් එම සිරිමත් පත්තර මතකයෙන් ‘‘බිඳක් හෙළි කිරීම පිණිස එතුමන් විසින් ආරම්භය ලබා ගත්තේ දශක හතරකට එපිට මතකයක් නැවත ආවර්ජනය කරමින්ය.

‘‘අපේ රටේ පුවත්පත් ඉතිහාසය ගත්තොත් ඒ තුළ දැවැන්ත පෙරළියක් ඇති කළ ජාතික පුවත් පතක් ලෙස දිවයින හඳුන්වා දෙන්න පුළුවන්. මොකද දිවයින පුවත්පත ආරම්භ කරන අවස්ථාව වනවිට මේ රට ඇතළේ නිදහස් මාධ්‍ය සම්ප‍්‍රදායක දැඩි අවශ්‍යතාවයක් තිබුණි. මේ තත්ත්වය තුළ මහා සංඝරත්නය වගේම අපේ රටේ විද්වත් ප‍්‍රජාව, ගෙවි ජනතාව පමණක් නොවෙයි, කම්කරුවන් දක්වා විශාල පිරිසක් රටට ජාතියට නිවැරදි දිශානතිය පෙන්වන්න පුළුවන් පුවත් පතක් ඉල්ලා සිටියා. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාර්තෘ උපාලි විජයවර්ධන මැතිතුමා ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකළ ජාතික පුවත්පතක් මේ රටට ලබාදෙන්න තීරණය කරන්නෙ.’’

දිවයින කියන්නේ ජාතික දැක්මක් සඳහා වූ විදග්ධ වේදිකාවක්
නිෂ්පාදන අංශයේ ලැන්ස්‌ටන් ජයරත්න පරාක්‍රම රත්නායක සහ පිටුසැකසුම් අංශයේ කමල් පෙරේරා ගාමිණී සහ කැනිසියස්‌ සොහොයුරන් එදා

මේ කියන කාලවකවානුව වනවිට ‘දවස’ පුවත්පත යම් ස්වාධීනත්වයක් පෙන්නුවා. ලේක්හවුස් පුවත් පත් ඒ වනවිට තිබුණේ ආණ්ඩුව ග‍්‍රහණයේ. රජයේ නිසි බලධාරියෙකු යටතේ පාලනය වුණ ටයිම්ස් ඔෆ් සිලෝන් (එදා ලංකාදීප කාර්යාලය) වහන තැනට මූල්‍යමය පරිපාලන අර්බුද තිබුණා. තවත් පැත්තකින් 77න් ආපු පෙරළියත් එකක් සමාජ පෙරළි රැුසක් රට තුළ ඇති වෙමින් තිබුණ වේලාවක්. එක පැත්තකින් 80 ජූලි වැඩ වර්ජනය හේතුවෙන් විශාල පිරිසකට රැුකියා අහිමි වෙලා තිබුණ, පරිසරයක් රට තුළ නිර්මාණය වෙලා තිබුණා. එහෙම තත්ත්වයක් තුළ එදා පුවත්පත් ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයන් පිරිසක් ලේක් හවුස් පත්තර මහ ගෙදරින් එළියට බැහැල ‘‘දිවයින’’ පුවත්පත ආරම්භ කරන්න අත්වැල් බැඳ ගන්නවා. එතැනදී එඞ්මන්ඞ් රණසිංහ මහත්තයා ඇතුළු දයාසේන ගුණසිංහ,මෙරිල් පෙරේරා,සුනිල් මාධව, විමල් වීරසේකර, දයාරත්න රණසිංහ, උපාලි තෙන්නකෝන්, නන්දසේන සූරියආරච්චි, ධර්මරත්න විජේසුන්දර, ගාමිණී සුමනසේකර වැනි ප‍්‍රවීණයන් පිරිසකගේ මහන්සිය මත තමයි ‘‘දිවයින’’ ජාතික පුවත්පත ආරම්භ වෙන්නෙ. දිවයින තවත් එක පුවත් පතක් ආරම්භයක් විදිහට නොවෙයි පාඨකයන් අතට පත් වෙන්නෙ. මේ රටේ ජනතාවගේ හද ගැස්ස ඒ වගේම පොදු මහජනතාවගේ අවශ්‍යතාවය තමයි ‘‘දිවයින’’ කියන පත්තරය ඇතුළින් එළියට ආවේ….’’

දිවයින කියන්නේ ජාතික දැක්මක් සඳහා වූ විදග්ධ වේදිකාවක්
දෙවසරක් පිරුණු දා විනී හෙට්ටිගොඩ
නිර්මාණය කළ අතිරේකයේ මුල් පිටුව

‘‘එහෙම දැක්මක් ඇතුළෙ මේ රටේ දේශපාලනය ආර්ථිකය පසුබිම් කරගත් දැක්මක්් ආරම්භයේ ඉඳලම දිවයිනට තිබුණා. ඒ සඳහා එඞ්මන්ඞ් රණසිංහ මහත්තයාගේ නායකයත්වය යටතේ ඒ කොටස ඉදිරියට ගෙනියන්න එදා දයා ප‍්‍රනාන්දු, ලක්‍ෂ්මන් කුමාර කීර්ති, ලක්‍ෂ්මන් පියසේන, තිස්ස වීරසේකර (වත්මන් මහාචාර්ය) ඇතුළු පිරිසක් කටයුතු කරද්දී අපේ රටේ කලාව, සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින්න ඒ හරහා සියුම්ව විහිදෙන දේශපාලනය පිළිබඳ අනෙක් දැක්ම ඉදිරියට යනවා. පෙනී සිටින්න දයාසේන ගුණසිංහ මහත්තයාගේ නායකත්වය යටතේ ගාමිණී සුමනසේකර, ජයනාත් ගුණවර්ධන කරුණාදාස සූරියආරච්චි, සුන්දර නිහතමානී ද මැල් ඒ වගේම පසු කාලීනව චන්ද්‍රසිරි දොඩංගොඩ, අනුර සිරිවර්ධන, හරිත් ගුණවර්ධන, දෙනගම සිරිවර්ධන වැනි පිරිස් යුගයෙන් යුගය කටයුතු කළා. එතැනදී ආරම්භයේ ඉඳලම දිවයින එක්ක සම්බන්ධ වෙමින් කටයුතු කළ තවත් පිරිසක් හිටියා. නම් වශයෙන් කිව්වොත් මහචාර්ය මංගල ඉලංගසිංහ, මහාචාර්ය කරුණාරත්න විජේතුංග, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, වෛi ගුණදාස අමරසේකර, සූරියගුණසේකර, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපානන් ඇතුළු තවත් විශාල පිරිසක් ඒ සඳහා විශාල සහයෝගයක් ලබා දුන්නා. ජාතික දැක්මක් සඳහා වූ විදග්ද වේදිකාවක් බවට දිවයින පත් කරන්නට ඒ අය ලොකු දායකත්වයක් ලබා දුන්නා.’’

දිවයින කියන්නේ ජාතික දැක්මක් සඳහා වූ විදග්ධ වේදිකාවක්
එදා ස්කැනර් යන්ත‍්‍රය සමග සුනිල් සමරකෝන් සහ තවත් සෙහොයුරෙක්

‘‘මෙතැනදී විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි පුවත්පත් තීරුලිපි කලාව. එතැනදී දයාසේන ගුණසිංහගේ උකුස්සා, රයිගම්රාල සහ සීයගේ කොලම, අතිශයින් ජනපි‍්‍රයත්වයට පත් වෙනවා. ඒ වගේම කසුරිගේ කොලම, සුනිල් මාධවගේ සත්‍යවාදියාගේ දිනපොත, සුන්දර නිහතමානී ද මැල්ගේ මානිගේ තීරුව වැනි තීරු ලිපි පළවීමත් දිවයිනේ ජනපි‍්‍රයත්වයට විශාල දායකත්වයක් ලබා දුන්හ. ශාන්ත කේ.හේරත්, විනී හෙට්ටිගොඩ වැනි තරුණ චිත‍්‍ර නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ හරහා ඒ තීරු ලිපි ආදියට අමතර ජවයක් එක් කරන්න පුළුවන්කම ලැබීමත් විශේෂත්වයක් වුණා.’’ සුප‍්‍රකට කාටුන් ශිල්පී ඩබ්ලිව්. ආර්. විජේසෝමගේ කාටුන් දිවයින සේම ඉරිදා දිවයිනට ලොකු ජවයක් වුණා. ඉරිදා දිවයින ඇරඹුමට පෙර අප ආයතනයෙන් එළිදැක්වූ චිත‍්‍රකතා පත්තරයේ කතුවරයා වූ ජනක රත්නායකයන් එවැනිම දායකත්වක් අපට ලබාදුන්නා.

දිවයින කියන්නේ ජාතික දැක්මක් සඳහා වූ විදග්ධ වේදිකාවක්

දිවයින පුවත්පත ආරම්භ කිරීම පිණිස මූලික වූ හේතූන් සහ එහි සමාරම්භය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කළ ප‍්‍රධාන උපදේශක කර්තෘ නාරද නිශ්ශංක මහතා ඉන් අනතුරුව ‘‘දිවයින’’ සහ ඔහු අතර පවතින වසර 40 ක මතකය වෙනත් මානයක් වෙත රැුගෙන යෑම සඳහා ප‍්‍රවේශය ලබා ගත්තේය. සිය පුවත්පත් ජීවිතයේ ඈතම ඉම වෙත සිතින් පියමං කළ නාරද නිශ්ශංක මහතා එම බරසාර අතීතයට අයත් අනගි මිණිමුතු වැනි මතකය මෙනෙහි කරන්නට වූවේ එතැන් සිටය.

 ‘‘මම පත්තර රස්සාව ආරම්භ කරන්නෙ 1976 අවුරුද්දේ ප‍්‍රාදේශීය වාර්තාකරුවෙක් හැටියට. කොළඹ කොටුවේ පිහිටි ටයිම්ස් මන්දිරයේ තුන්වැනි තට්ටුවෙන් ආරම්භ කරන ඒ ගමනින් වසර 5කට පසුව 1981 වර්ෂයේ දිවයින ආරම්භ කිරීමත් එක්ක මම ටයිම්ස් මන්දිරයෙන් බිමට බැහැල ‘‘දිවයින’’ ට එනව. ඒ වෙද්දී පත්තර ලෝකයේ දැවැන්තයන් අතර මම පුංචි මිනිසෙක්. මම දිවයින ඉරිදා පත්තරයට සම්බන්ධ වෙද්දී කර්තෘ මණ්ඩලයේ සියලූ දෙනාව බඳවාගෙන ඉවරයි. මට මතකයි. මා මිත‍්‍ර උපාලි තෙන්නකෝන් මහත්මයා මාව එඞ්මන්ඞ් රණසිංහ මහතාට මුණගැස්සුවා. එදා මගෙන් එඞ්මන්ඞ් රණසිංහ මහත්තය ඇහුව නිදහස් වාර්තාකරුවෙක් විදිහට ටික කාලයක් වැඩ කරන්න පුළුවන්ද? කියලා. ඒ ඉල්ලීම අනුව තමයි මම දකුණු කොළඹ ප‍්‍රාදේශීය වාර්තාකරු විදිහට දිවයිනට සම්බන්ධ වෙන්නෙ.’’

දිවයින කියන්නේ ජාතික දැක්මක් සඳහා වූ විදග්ධ වේදිකාවක්

අදින් වසර 40කට පමණ පෙර තමන් ‘‘දිවයින’’ට එක් වූ ආකාරය නාරද නිශ්ශංක මහතා විසින් මෙනෙහිකර සිටියේ ඒ ආකාරයෙන්ය. එතැන් සිට මේ දක්වා වසර 40ක පත්තර ජීවිතය තුළ ඔහු සතු අත්දැකීම් බොහෝය. යළි යළිත් ස්මරණය කළ හැකි එම අත්දැකීම් කීපයක් ගෙන හැර දක්වමින් ප‍්‍රධාන උපදේශක කර්තෘවරයා සඳහන්කර සිටින්නේ ඕනෑම තත්ත්වයක් තුළ ‘‘අලූත් ප‍්‍රවෘත්ති’’ වාර්තා කිරීම දිවයින පුවත්පතේ අරමුණ වූ බවත් ඒ හරහා අලූත් පුවත්පත් සම්ප‍්‍රදායක් මෙරට තුළ ඇති කිරීම පිණිස පෙරමුණ ගැනීමට ‘‘දිවයින’’ට හැකි වූ බවත්ය.

 ‘‘යුද්ධයෙන් දහස් ගාණක් මැරෙන වෙලාවක ඒ වගේම කොටි ත‍්‍රස්තවාදීන් විසින් ගම්පිටින් කපල කොටල මරල දාන වෙලාවක ‘‘ඉරිදා දිවයින’’ ඒ ගම්වලට ගියා. අරන්තලාව භික්‍ෂූ ඝාතනය, දිඹුලාගල හාමුදුරුවන්ගේ ඝාතනය, රටට කීවේ දිවයින පත්තරෙන්. තවත් පුංචි උදාහරණයක් කියන්නම්. එක්තරා අවස්ථාවක ගෝමරන්කඩවලට කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාරයක් එල්ල කරනවා. එදත් විශාල පිරිසක් මිය යනවා. මේ ආරංචිය වාර්තා වීමත් එක්ක ධර්මරත්න විජේසුන්දර මහත්තයා එයාගේ කැමරාවත් අරන් ගෝමරන්කඩවලට යනවා. එදා මමත් එතුමගේ ඉල්ලීමක් මත ඒ ගමනට එකතු වෙනවා. අපි ගෝමරන්කඩවලට කිට්ටු වෙනකම් ගියේ කොළඹින් බඩු අරන් යන ලොරියක. ධර්මරත්න මහත්තයා ලොරියේ ඉස්සරහ වාඩිවෙලා යද්දී මම ලොරියෙ බඩු ගෝනි උඩ වාඩිවෙලා ඒ ගමන යනවා. අතර මඟින් බැහැල අපි ඒ ගම්මානයට යද්දී මුළු ගමම මළගෙයක්. පුටුවක් මේසයක් හොයාගන්න තැනක් නෑ. මගේ පිට උඩ සටහන් පොත තියලා තමයි ධර්මරත්න මහත්තයා ඒ සිදුවීම වාර්තා කළේ. එදා සිකුරාදා දවසක් අවමඟුල් කටයුතු තිබුණේ සෙනසුරාදා. ඒ ප‍්‍රවෘත්තිය වාර්තා කරන්න එදා   රැ. ධර්මරත්න මහත්තයා ගෝමරන්කඩවල නතර වෙනවා. ඒ නතර වෙන ගමන් එතුම මට කියනවා එම අපරාධය ඡායාරූප ගත කළ දළ සේයා පටයත් අරන් එදිනම ආපසු කොළඹ යන්න කියලා. එදා අද වගේ තාක්‍ෂණයක් තිබුණේ නෑ. ෆැක්ස් පහසුකම් නෑ. මම එදා හවස 4.00 ට විතර ආපහු හාල් පැටවූ ලොරියක නැඟල ඉතාමත් අපහසුවෙන් ලොරියේ සහායකයා එක්ක කතා කරමින් කොළඹ එනවා. රැ. 9.00 ට පමණ කන්තෝරුවට ආව මා එදා  රැම ඒ පින්තූර සහිත වාර්තාව කාර්යාලයට භාර දෙනවා. එදා ත‍්‍රස්තවාදයට එරෙහිව සිදු කළ මතවාදී යුද්ධයේදී දිවයින ඉදිරියෙන්ම හිටියා. ඒ වගේම ත‍්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කළා. රටට හානියක්වන සෑම තැනකම දිවයින නොබියව හිටගත්තා. රට බෙදන ව්‍යවස්ථා, පැකේජ්, ඉන්දු ලංකා ගිවිසුම, කම්කරු, ශිෂ්‍ය මර්දනවලට එරෙහිව අපි පෙනී සිටියා. විශේෂයෙන්ම ත‍්‍රස්තවාදය පැවැති වෙලාවෙ උතුර- නැෙඟනහිර මායිම් ගම්මානවල ජනතාවට අවශ්‍ය ආරක්‍ෂාව දෙන්න කියන පණිවුඩය පාලකයන්ට දුන්නෙ දිවයින පත්තරෙන්. එතැනදී ඇතැම් පිරිස් දිවයිනට චෝදනා කළා. ඒ අය කිව්ව දිවයින කියන්නෙ ජාතිවාදී පත්තරයක් කියලා. නමුත් මේ රටේ වැඩි පිරිසක් දැනගෙන හිටිය දිවයින කියන්නේ ජාතිවාදී පත්තරයක් නොවෙයි, ඕනෑම වෙලාවක ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්නෙ ‘‘දිවයින’’ කියලා.’’

 අතීතය යනු සිදුවීමක් දෙකක් නොව, සිදුවීම් මාලාවක්ය. 40 වසරක දිවයින ඉතිහාසය තුළ එවැනි සිදුවීම් බොහෝය. එම අතීත මතක අතර සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න ඇතුළු තවත් රණවිරුවන් හත්දෙනෙකු ජාතියට අහිමි වීමේ පුවත දිවයින හරහා රටට වාර්තාකර සිටින්නේ නාරද නිශ්ශංක ඇතුළු තවත් මාධ්‍යවේදීන් පිරිසක් විසින්ය. තම පුවත්පත් ජීවිතයේ නොමැකෙන මතකයක් වූ එම සිදුවීම පිළිබඳව මතකය නාරද නිශ්ශංක මහතා යළි අවදිකර සිටින්නේ මේ ආකාරයෙන්ය.

 ‘‘දිනපතා දිවයින පුවත්පතේ වැඩ කරමින් ඉන්න අතර තුර දවසක් එඞ්මන්ඞ් රණසිංහ මහත්තයා මට කතා කරලා කිව්ව සිකුරාදා මුද්‍රණය කරන දිවයින සති අන්ත පත්තරේට අලූත් ප‍්‍රවෘත්ති වාර්තා කරන්න සෙනසුරාදා කන්තෝරුවට ඇවිත් සහකාර ප‍්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් වැඩ බලන්න කියලා. ඒක මගේ පත්තර ජීවිතේ ස්වර්ණමය අවස්ථාවක්. ඒ උපදෙස්වලට අනුව ධර්මරත්න විජේසුන්දර, ගයිරික පේරුසිංහ නැති දවසට ප‍්‍රවෘත්ති කර්තෘ විදිහට වැඩ කරන්නේ මම. එහෙම වැඩ කරන අවස්ථාවක තමයි සෙන්පති ඩෙන්සිල්් කොබ්බෑකඩුව ඇතුළු හමුදාවේ තවත් පිරිසක් ඉලක්ක කරගෙන අරාලිතුඩුවේ බෝම්බයක් පුපුරලා කියලා ආරංචි එන්නෙ. මුලින්ම දිවයිනට කතා කරලා මේ සිද්ධිය ගැන අහන්නෙ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය.

 ‘‘ඒ වෙලාවෙ දුරකථන ඇමතුම ගත්තෙ මම. අරාලිතුඩුවේ බෝම්බයක් පිපිරිලා කියලා අපිට වාර්තා වෙලා තිබුණත් සම්පූර්ණ විස්තරය ලැබිලා තිබුණේ නෑ. මැතිනිය විසින් ඒ ගැන විමසුවට පස්සෙ අපේ සහෝදර පුවත්පතවන ‘‘දී අයිලන්ඞ්’’ පත්තරේ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු සහ මා මේ ගැන වැඩිදුර තොරතුරු හොයන්න ගත්තා. ඔය කාලය වෙද්දී ඉරිදා දිවයින පත්තර පිටපත් 275,000ක් පමණ අලෙවියක් තිබුණු යුගයක්. මේ සිද්ධිය වාර්තාවේද්දී පළමු මුද්‍රණය මුද්‍රණය වෙමින් තිබුණේ. නමුත් ඒ සිද්ධියත් එක්ක ඉතිහාසයේ මුල්ම වතාවට ඉරිදා දිවයින මුද්‍රණ පහක් නිකුත් කරන්න අපිට පුළුවන්කම ලැබුණා.’’

 ‘‘එදා දෙවැනි මුද්‍රණය ලෙස ප‍්‍රධාන පුවත බවට පත් වුණේ ‘අරාලිතුඩුවේ පීඩන බෝම්බයක් පිපිරෙයි’ ‘හමුදාවේ පිරිසකට බරපතළයි’ කියලා. තුන්වන මුද්‍රණයේ ප‍්‍රධාන පුවත බවට පත් වුණේ ‘‘අරාලිතුඩුවේ බෝම්බයකින් මේජර් ජනරාල් කොබ්බෑකඩුව, ‘කර්නල් විජය විමලරත්න ඇතුළු පිරිසකට තුවාල’ හතර වැනි මුද්‍රණය ‘‘සෙන්පති කොබ්බෑකඩුව කොළඹ ගෙන එයි’’ පස්වැනි මුද්‍රණය ‘උතුරු නාවික ආඥාපති ඇතුළු නිලධාරීන් හතක් සමග මේජර් ජනරාල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න මියයයි’’ එහෙමයි සෙන්පති කොබ්බෑකඩුව ඝාතනය එදා ‘‘දිවයින’’ඉරිදා සංග‍්‍රහය විශේෂ මුද්‍රණ කිහිපයකින් වාර්තා කළේ. වාර්තා කළේ. මේ ප‍්‍රවෘත්ති වාර්තා කිරීම පිණිස අපේ සහෝදර මාධ්‍යවේදීන්වන ගයිරික පේරුසිංහ, සිරිමෙවන් කස්තුරිආරච්චි, නොමන් පලිහඩවන, බන්දුල දිනපූර්ණ, සරත් අබේගුණවර්ධන, ලයනල් මුණසිංහ ඇතුළු එවකට යාපනය ’’දිවයින’’ ප‍්‍රාදේශීය වාර්තාකරු වූ පී. මරියදාස් යන මාධ්‍යවේදීන් පිරිස ද සහභාගී වූ බව මේ වේලාවේ මතක් කර සිටිනවා. මෙතැනදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි ඉරිදා දිවයින විසින් එදා පළකළ සෙන්පති කොබ්බෑකඩවගෙ ඡායාරූපය. කොබ්බෑකඩුව මහත්තයා බස්තමක් අතේ තියන් ඉන්න ඒ පින්තූරය ගත්තෙ දිවයින ඡුායාරූප ශිල්පී චන්ද්‍රසිරි වීරසිංහ. එය ලංකාව පුරාම ජනප‍්‍රිය වූ පින්තූරයක්. දිනපතා දිවයින පුවත්පත හරහා ඒ ඡුායාරූපයේ පිටපත් ලක්‍ෂ 2 ක් පමණ නොමිලේ බෙදා හරින්නත් ඒ වේලාවේ අප විසින් කටයුතු කළා.සියලූ සිදුවීම් සෙනසුරාදා දිනයන් තුළ සිදු වීම විශේෂයි. පත්තර කන්තෝරුවේ පත්තර මුද්‍රණය වෙන අතර තුුර මුද්‍රණ යන්ත‍්‍ර නවතා ( ඔන් ද රන් ) අලූත් මුද්‍රණ අප ඉරිදා පාඨකයන්ට දුන්නා.

 මෙවැනි සිදුවීම් රැසක් පිළිබඳ නාරද නිශ්ශංක මහතා සතුව පැහැදිලි මතකයක් ඇත. එවැනි දේ තහවුරු කිරීම පිණිස පැරණි පුවත්පත්, ඡායාරූප එකතුවක් ද ඔහු සතු අතීත ස්මරණ ලෙස සුරැකිව ආරක්‍ෂාකර ඇත. ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ඝාතනය සිදු වූ දින ඒ පිළිබඳව ද විමසීම පිණිස ‘‘දිවයින’’ට මුල්ම දුරකථන ඇමතුම ලබා ගෙන ඇත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යි. එදින ද එතුමියට පිළිතුරු ලබා දෙන්නෙට නාරද නිශ්ශංක මහතාටම ලැබීම ඔහුගේ ජීවිතයේ අපුරු සිදුවීමකි. එම සිදුවීම ද ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’’ විශේෂ මුද්‍රණයක් හරහා රටට වාර්තා කර සිටින්නේ නාරද නිශ්ශංක ඇතුළු නෝමන් පලිහවඩන, සිරිමෙවන් කස්තුරිආරච්චි, සුනිල් කළුබෝවිල, කීර්ති වර්ණකුලසූරිය, බන්දුල දිනපූර්ණ, උපතිස්ස පෙරේරා, සුනිල් දයා අල්විස්, විමලසේන ඉහලගම යන මාධ්‍යවේදීන් විසින්ය.

 දිවයින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයාරත්න රණසිංහ විසින් දිවයින ඉරිදා සංග‍්‍රහයට ලියන ලද ලිපි පෙළක් ග‍්‍රන්ථයක් ලෙස මුද්‍රණයකර එළි දැක්වීමේ උත්සවය පිණිස අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත‍්‍ර මහනාහිමිපානන් දිවයින පත්තර කන්තෝරුවට වැඩම කළ අවස්ථාවේ එම උත්සවය මෙහෙයවීමේ සුවිශේෂී අවස්ථාව හිමිවන්නේ නාරද නිශ්ශංක මහතාටය. එවැනි සුවිශේෂී අත්දැකීම් සම්භරයක්හිමි නාරද නිශ්ශංක මහතා අවසන් වශයෙන් සඳහන් කර සිටියේ එවැනි අත්දැකීම් සහිත අද දවසේ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදීන් විශාල පිරිසකට දිවයින පුවත් පත ‘‘තක්සලාවක්’’ වූ බවත් ඉන් බොහෝ පිරිසක් පසු කලෙක මෙරට ජාතික පුවත්පත් කලාව තුළ ප‍්‍රධාන කර්තෘවරුන් බවට පත්වීම පිටුපස දිවයින අතීතය යෝධ සෙවනැල්ලක් වූ බවත්ය.

 ‘‘ලංකාවේ ජාතික පුවත්පත් ගත්තොත් පසුකාලෙක ප‍්‍රධාන කර්තෘ ධුරයට පත් උපාලි තෙන්නකෝන්, කිත්සිරි නිමල් ශාන්ත, ගාමිණී සුමනසේකර, අනුර සොලමන්ස්, මෙරිල් පෙරේරා, ජටිල වැල්ලබඩ, කරුණාදාස සූරියආරච්චි, සුන්දර නිහතමානී ද මැල්, සිසිර පරණතන්ත‍්‍රි, සුනිල් මාධව පේ‍්‍රමතිලක, ගාමිණී ජයලත්, මහින්ද අබේසුන්දර, අනුර ඔරේසස්, ධර්මන් වික‍්‍රමරත්න කියන ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදීන් ඒ අයගේ ආරම්භය ලබා ගත්තෙ දිවයින පත්තරයෙන්්. මා ඇතුළු ඒ පිරිසට ඒ කාලෙ රැයක් දහවලක් නැහැ. අපි හැමෝම හැදුනෙ එඞ්මන්ඞ් රණසිංහ, දයාසේන ගුණසිංහ වැනි යෝධ හෙවනැලි යට කියලා මේ වෙලාවේ නැවතත් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. එසේම අපේ පත්තරයට ආදරය කළ පාඨකයෝ, ලේඛකයෝ ප‍්‍රාදේශීය වාර්තාකාර මහත්වරු, වෙළෙඳ මහතුන් , අපේ ගමනට යෝධ ශක්තියක් වූ බව කිවයුතුමයි.

 මුල්ම ඉරිදා පත‍්‍රයට කටයුතු සැලසුම් කරන විට සිකුරාදා දවසේ එක අංශයකින් මහ ශබ්දයක් ආවා. එය පිපුරුමක හඬක් වගෙයි. මට මතකයි මෙරිල් පෙරේරා මහතා ඇතුළු පිරිස ඒ දෙසට දිව යනවා. පත්තරේ ස්කෑන් යන්ත‍්‍රයේ කොටසක් ගැලවී වැටීමට එයට හේතු වී තිබුණා. අලූත් පත්තරය එළිදැක්වීමට එය බාධාවක් කර නොගෙන පැයක් වැනි කාලයක් තුළ එය හදන තැනකට ගෙනහින් හදා ගෙනවිත් අලූත් පත්තරයට සූදානම් වුණ හැටි එදා අය දන්නවා. හතළිස් වසරක අපේ ගමන් මෙඟහි අප ආයතනයේ පරිපාලනයේදී අපගේ සමුහ ව්‍යාපාරයේ සභාපතිව සිටි දොස්තර සීවලි රත්වත්තෙ මහතාත්, ලක්මණී ආර්. වෙල්ගම මැතිනියත් වර්තමාන සමුහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතාත් දීර්ඝ කාලයක් අපගේ සම කළමනාකාර අධ්‍යක්ෂවරයාව සිටි ලෙස්ලි ධර්මරත්න මහතාත්, ජේම්ස් ලැනරොල් (කළමනාකාර අධ්‍යක්ෂ), සුනන්ද රත්වත්තෙ, කීර්ති ජයසූරිය, ඒ.එම්.එස්.කේ. සේනාරත්න(ප‍්‍රථම බෙදාහැරීම් කළමනාකරු), ලැන්ස්ටන් ජයරත්න, පී.ඞී. ඩබ්ලිව් කරුණාරත්න, ඇනස්ටන් විරසිංහ, පරාක‍්‍රම රත්නායක මහත්වරු වගේම තවත් අයත් හෝමාගම මුද්‍රණාලයේ තම ජීවිතය කැප කළ සියලූ සහෝදරවරු, රියැදුරෝ ඇතුළු සියලූ සේවකයින් ද අප අමතක නොකළ යුතුයි. ඒ වගේම විමල් එස්. සුරේන්ද්‍ර, චන්ද්‍රා වීරවර්ධන, බන්දු එස්. කොඩිකාර, ප‍්‍රසන්න හෙන්නායක, යූ. එන්. පෙරේරා, පි‍්‍රයන්ත හෙට්ටිගේ, දුමින්ද විමලසේන, නිල්ටන් ගලබඩගේ, විදත් ජයවර්ධන, එරංග ජයවර්ධන ඇතුළු අපගේ ඡායාරූප ශිල්පීන් ද නවලිය කතුවරියව සිටි චාන්දනී විජේතුංගත් දිවයින හි සෙසු මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදිනියන් මා සමඟ කටයුතු කළා. නම් වශයෙන් ලියන්න මෙහි ඉඩ නැතත් ඔවුන් ඉරිදා දිවයින සංග‍්‍රහයට තම දායකත්වය ලබාදුන්බව කෘතවේදීව සිහිපත් කළ යුතුමයි.’

 තවත් බොහෝ දේ කතා කළ යුතුය. ඒ සඳහා කාලය හරස් වෙමින් ඇත. දිවයින කන්තෝරුව තුළ සිදුවන අපගේ කතාබහ අතරතුර පසුදින මුද්‍රණය කිරීමට නියමිත දිනපතා දිවයින පුවත්පත පිණිස අවශ්‍ය උපදෙස් කර්තෘ මණ්ඩලය වෙත ලබාදීම සඳහා දිවයින ප‍්‍රධාන උපදේශක කර්තෘ නාරද නිශ්ශංක මහතා කටයුතු කරන ආකාරය දැක ගත හැක. අදින්් වසර 40කට පමණ පෙර ප‍්‍රාදේශීය වාර්තාකරුවකුු ලෙස දිවයිනට එක්වන ඔහු තවමත් රාජකාරී ජීවිතය තුළ තරුණයකු මෙන් කඩිසරය. ඔහු නොසංසිඳෙන පුවත් පිපාසයෙන් යුක්තය. එබැවින් හෙට පත්තරය පිණිස කල්තබා සූදානම් වීම ඔහුගේ පිළිවෙතය.

සාකච්ඡාවක් ඇසුරින් සකස් කළේ
රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment