“දිවයින ක‍්‍රිකට් පිටියේත් ලොකු මෙහෙවරක් කළා” – සනත් ජයසූරිය

599

ජනතාව උදෙසා කළ හැකි සේවය අදටත් උපරිමයෙන් ඉටුකරමින් සිටින ‘දිවයින’ පුවත්පත තමා දුටු හොඳම පුවත්පතක් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, සනත් ජයසූරිය මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’’ දශක හතරක ගමන් මඟ පිළිබඳව සුබ පැතුම් එක්කරමින් සඳහන් කළේය.

 ක‍්‍රීඩකයකුගේ ක‍්‍රීඩා ජීවිතයේ නැගිටීම් මෙන්ම වැටීමද සිදුවන බවත් ඒ හොඳ නරක අවස්ථා දෙකේදීම ‘දිවයින’තමා සමග සිටි බවත් වැටුණු විට ක‍්‍රීඩාවේ ස්වභාවය මෙය යැයි පෙන්වමින් නැගිටින්නට උදව් දුන් පුවත්පතක් ලෙස ‘දිවයින’ සැළකිය හැකි බවත් ජයසූරිය මහතා ප‍්‍රකාශ කළේය.

 ජීවන ගමනේ 52 වැනි වියට දැන් තමන් පා තබා ඇති බවත් ඉන් වසර 40 ක් යනු විශාල කාලයක් බවත් කුඩා කාලයේ පටන්ම තමන් ‘දිවයින’ පුවත්පත පරිශීලනය කිරීමට කැමැත්තෙන් සිටි බවත් ජයසූරිය මහතා කීය.

 ක‍්‍රීඩාව පිළිබඳව පුවත්පතේ පළවන ලිපි සහ ප‍්‍රවෘත්ති එකල සිට තමන් කියවීමට ආසා කළ බවත් දැනටත් ‘දිවයින’ පුවත්පත රටේ තිබෙන හොඳම පුවත්පතක් බව කිවයුතු බවත් ජයසූරිය මහතා පැවසීය.

 දිවයින පුවත්පතට සුබ පැතුම් එක් කිරීමට තමාට ආරාධනා ලැබීම භාග්‍යයක් ලෙස සළකන බවත්, පුවත්පතේ කළමනාකාරිත්වය තමන් කණ්ඩායමේ නායකත්වය දරන කාලයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේද ඉහළ තනතුරක් හෙබවූ බවත් පුවත්පතක් ලෙස මෙන්ම පෞද්ගලිකවද ඒ මහතා තමාටද ක‍්‍රිකට් කණ්ඩායමටද ලබාදුන් සහයෝගය කිසිදා අමතක නොකරන බවත් ජයසූරිය මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment