දිවයින දිනවූ ලක්පුතුනි ඔබටයි මේ ආචාරය!

173

මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ඊයේ (4 දා) අලුයම සමත්වූ බව ‘දිවයින’ හද පිරි සතුටින් ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හද ගැහෙමින් බලා සිටි එම තත්පර 10 තුළ වසර විසිහතරක පොදුරද මඩුලු මලල ක්‍රීඩා පදක්කම් ඉඩෝරය නිමා කළ යුපුන් අබේකෝන්ට ලොව නන්දෙසින් මෙරට කිත් පැසසුම් ගෙන ආවේය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියකදී මීටර් 100 ඉසව්වෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු එදා මෙදා තුර ලබාගත් පළමු පදක්කම මෙය වේ. බර්මින්හැම් මලල ක්‍රීඩාපිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (4 දා) අලුයම 2.00 ට පැවැති පිරිමි මීටර් 100 අවසාන තරග ඉසව්ව තත්පර 10.14 කින් නිම කරමින් යුපුන් එම ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට තිළිණ කළේය.

දිවයින දිනවූ ලක්පුතුනි ඔබටයි මේ ආචාරය!
යුපුන් සහ පාලිත

යුපුන්ට වඩා තත්පර බිංදුවයි දශම බිංදුවයි එකක් ඉක්මන් වූ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බින් එම තරග ඉසව්වේ රිදී පදක්කමත්, තත්පර 10.02 කින් තරගය නිම කළ කෙන්යාවේ හාර්ඩින්ඩි ඔමන්යාලා රන් පදක්කමත් හිමිකර ගත්හ.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරාගවලියකදී ශ්‍රී ලංකාවට පළමු පැරා පදක්කම දිනා දීමට කවපෙත්ත විසි කිරීමේ ක්‍රීඩක පාලිත බණ්ඩාර ඊයේ (4 දා) සමත් වූවේය.

විශේෂ අවශ්‍යතා සහිතවූ 42-44/61-64 කාණ්ඩයෙන් තරග වැදුනු පාලිත බණ්ඩාර මීටර් 44.20 ක් දුර කවපෙත්ත වීසි කරමින් ශ්‍රී ලංකාවට එම රිදී පදක්කම ගෙන දුන්නේය.

ඒ සමගම මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මේ වන විට ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගෙන සිටී. රට දිනවූ යුපුන්ට පාලිත විසින් තම සුබ පැතුම් පිදූ අන්දමද මෙහි දැක්වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment