‘දිවයින’ වැල්ලම්පිටිය මාධ්‍යවේදී රංජිත් විමලසිරි අභාවප්‍රාප්ත වෙයි

102

ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු මෙන්ම මාධ්‍යවේදියකු ද වූ රංජිත් විමලසිරි ආරියවංශ මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.

 ‘දිවයින’ පුවත්පතේ වැල්ලම්පිටිය මාධ්‍යවේදියා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඒ මහතා මියයන විට 56 වැනි වියේ පසු විය. සුනේත්‍රා කාන්ති ආරියවංශ මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ විමලසිරි මහතා තුසිත රන්ජන් මධුසංඛ, අසිත මධුවින්ද, දුල්රූ ඕෂධ යන පුතුන් තිදෙනාගේ ආදරණීය පියාණන් විය.

 මාධ්‍යවේදියකු ලෙස දැඩි කැපවීමකින් තම වගකීම ඉටුකළ විමලසිරි මහතා හිත හොඳ සහෘදයකු ලෙස ද කාගේත් ආදරයට පාත්‍ර වූවෙකි. දේහය මුල්ලේරියාව, හිඹුටාන, අංක 313/5 නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

 සැමවිටම ජනදුක හඳුනා ගත් මාධ්‍යවේදි රංජිත්

 හිමිදිරි පාන්දර මාගේ දුරකථනය නාදවිය. එහා පැත්තේ කතා කළේ අපේ මිත්‍රයකුගේ දරුවෙකි. තාත්තා නැති වුණා. ඔහු දරාගත නොහැකි සොවින් කීවේය.

 ‘දිවයින’ පුවත්පතට මාධ්‍යවේදියකු ලෙස එක්වන්නට රංජිත් විමලසිරි මහතා අයැදුම්පතක් අරගෙන මීට වසර 20 කට පෙර මා හමුවට ආවේය. ඔහුගේ කරේ කැමරා බෑගයක් ද විය. මම මාධ්‍යයට ආශා කරනවා. මට ලියන්න. පින්තූර ගන්න අවස්ථාවක් දෙන්න ඔහු කළ ඉල්ලීම විය.

 වැල්ලම්පිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරු ලෙස ඔහු අප පුවත්පතට එක් වූවේය. ඒ වනවිට ඔහු වෘත්තිය ඡායාරූප ශිල්පියකු ලෙස අත්දැකීම් ලබා සිටියේය.

 ‘රංජිත්’ට යම් වගකීමක් පැවරුව විට ‘හරි මම යන්නම්’ කීවේ කන්කෙඳිරිල්ල නැතිවය. යම් සිද්ධියක් ගැන තම කැමරා කාචයේ සටහන් කර ගනිමින් එය පත්තරේට සුදුසු නම් දාන්න” යැයි අපට පෙරැත්ත කළ අවස්ථා ද මගේ මතකයේ රැඳී තිබේ.

 ඔහු සතුව ත්‍රිරෝද රථයක් තිබිණි. ඇතැම් පුවත් වාර්තා කිරීම්වලට ඡායාරූප ශිල්පියා ලෙස ඔහු යද්දී ඊට ගිය අනෙක් මාධ්‍යවේදියාට ප්‍රවාහන පහසුකම් නැත්නම් වියදමක් නොබලා තම රථයෙන් රැගෙන ගොස් පත්තරේට ඒ වැඩේ කර දෙන්නට ඔහු කැප වුණේ ආර්ථික ලාභයට වඩා ආත්ම තෘප්තියක් අදාළ කාර්ය කිරීමෙන් ලබමිනි. ගමේ පන්සල, පල්ලිය මෙන්ම සියලු පක්ෂවල දේශපාලනඥයන්, සිවිල් ක්‍රියාකාරිකයන් මෙන්ම මේ කාලයේ ගෑස්, භූමිතෙල්, ඉන්ධන නැතිව පීඩා විඳි මිනිසුන්ගේ වේදනාවන් ද ඔහු කැමරා කාචයේ සටහන් කර ගත් අවස්ථා අපමණය. අසනීප වන තෙක්ම ඔහු පත්තරයට විය යුතු යුතුකම කිසිවක් පැහැර හැරියේ නැත. ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරද්දී ඔහු සිටියේ හැම විටම හිට ගත්තේ ජනතාවගේ පැත්තේය. රංජිත්ට පුතුන් තිදෙනකි. ඔවුන්ගේ අනාගතය ගැන අපට හමුවන විට නිතර අපේක්ෂාවන් තැබූ අන්දම ද මම දනිමි. තම පළාතේ ජනතාවට, අපට ළෙන්ගතුව සිටි කල්‍යාණ මිත්‍රයකු දැන් අප හැර ගොසිනි. කරවිටගේ රංජිත් විමලසිරි ආරියවංශ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

 ● නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment