‘දිවයින’ 8 වැනි පිටුවෙන් පාඨක හද බැඳගත් සත්‍යවාදියාගේ නික්ම යෑම

347

සත්‍යය, යුක්තිය, මානව දයාව සිය ආත්මය කර ගනිමින් පත්තර කලාව නව දිශාවකට යොමු කළ කීර්තිමත්, කෘතහස්ත පුවත්පත් කලාවේදී සුනිල් මාධව පේ‍්‍රමතිලකයන් පෙරේදා (23 දා) අභාවප‍්‍රාප්ත වූ බව ‘දිවයින’ සාතිශය සංවේගයෙන් යුක්තව වාර්තා කර සිටී.

මියයන විට 78 වැනි වියේ පසු වූ ඒ මහතා එක්දරු පියෙකි.

කොළඹ ආනන්දයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ ඒ මහතා 1981 ‘දිවයින’ පුවත්පත ආරම්භ කරන අවස්ථාවේදී මුල් කිහිපදෙනා අතර සිටි අයෙකි. දිවයින පුවත්පතේ අටවන පිටුව සංස්කරණය කරමින් ඔහු ලියූ ‘සත්‍යවාදියාගේ දිනපොත’ හරහා සත්‍ය, යුක්තිය හා මානව දයාව සමාජගත කළේ පාඨක සිත් ඇද බැඳ ගනිමිනි.

සම්භාවනාවට පාත‍්‍ර වන පුවත්පත් කතුවරයකු මෙන්ම ප‍්‍රකට කවියෙකු ද වූ මීමන පේ‍්‍රමතිලකයන්ගේ දෙටු පුතු ලෙස 1944 මැයි 12 වැනිදා උපත ලැබීය. ඔහුට සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියන් දෙදෙනෙකි.

කෘතහස්ත පුවත්පත් කර්තෘවරයකු වන එඞ්මන්ඞ් රණසිංහයන් දයාසේන ගුණසිංහයන් සමඟ 1981 දී දිවයින පුවත්පත ආරම්භ කරමින් උපාලි පුවත්පත් සමාගමට එක්වූ ඔහු ඊට පෙර සිළුමිණ පුවත්පතේ කවි පිටුව සංස්කරණය කරමින් ප‍්‍රවීණ මෙන්ම නවක පරපුරට ද සුවිශාල මෙහෙවරක් ඉටු කළේය.

කොළඹ ආනන්ද විදුහලේ ඉගෙනුම ලබන කාලයේ සිටම පුවත්පත් කලාව සමඟ එක්වූ ඒ මහතා ප‍්‍රවීණ මාධ්‍යවේදීන් වන ඒ. ඞී. රංජිත් කුමාර, බන්දුල පද්මකුමාර හා රංජිත් ලාල් යන මිතුරන් සමඟ එක්ව නිම්වළල්ල නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කරන්නට සමත් විය. එහි තිර පිටපත ලියුවේ සුනිල් මාධවයන්ය.

අසූව දශකයේ අග භාගයේ භීෂණය, රාජ්‍ය මර්දනය පැවති සමයේ පෑන සිය අසිපත කරගත් සුනිල් මාධවයන් සිය ජීවිතය පරදුවට තබා සත්‍ය වෙනුවෙන් පෙනී සිටියේය. සත්‍යය, යුක්තිය, පුවත්පත් ලිපි මගින් ජනතාව අතට පත් කළේය. එනිසාම වරක් නොව කිහිපවරක්ම පොලිස් අත්අඩංගුවට පත්විය. වරක් ප‍්‍රහාරයකට ද ලක්විය. එකල ඔහුගේ ජීවිතය බේරුණේ අනූනවයෙනි.

පුවත්පත් කලාවේදියෙක්, කවියෙක්, පරිවර්තකයෙක්, ලේඛකයෙක් ලෙස ඔහු කළ මෙහෙවර යුග යුග ගණන් කියවෙනු නොඅනුමානය.

සත්‍යවාදියාගේ දිනපොත, අන්ධකාරයේ දරුවා, ශ්‍රේෂ්ඨ මොහොමඞ් අලිගේ කතාව, හඬනු මැන නිදහස, අමරිකා අමරිකා, කැරොලිනාගේ දිනපොත, ශ්‍රේෂ්ඨයා, සැබෑ කවියකුගේ කතාව, ජීවිතය සුන්දරයි වැනි ග‍්‍රන්ථ ගණනාවක් රචනා කළ ඔහු කිසි දිනක සම්මාන, ලාබ, ප‍්‍රශංසා සහ ගුණ කථන අපේක්‍ෂා නොකළ අයකු වීම ද සිහිකළ යුතුමය.

සුනිල් මාධවයන් ලේක්හවුස් ආයතනයේ සේවය කළ සමයේවත් වෘත්තීය සරක්කුවකු වූයේ නැත. ඔහුට තමාගේම වූ දේශපාලනයක් විය. සාම්ප‍්‍රදායික දේශපාලනඥයින්ට ඔහු අභියෝගයක් විය. සිය සංවේදී කවීත්වය තුළින්, මානව හිතවාදී සත්‍යවාදී පුවත්පත් කලාවේදියකුගේ නික්ම යෑම පුවත්පත් කලාවටත්, රටටත් ඇති වී ඇති හිඩැස පුරවාලිය හැකිද?

දිවයින, ලක්දිව, ලක්මිණ, හිරු ආදී පුවත්පත් කිහිපයක කටයුතු කළ ඒ මහතා 88/89 භීෂණ සමයේදී විකල්ප පුවත්පත් මගින් දූෂිත රාජ්‍ය පාලකයන්ට එරෙහිව වරෙක විකල්ප පුවත්පත් මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කළේ දිවි පරදුවට තබමිනි. සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතාගේ දේහය කොස්වත්ත පයිප්ප පාරේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

සත්‍යයත්, යුක්තියත් උදෙසා තම පෑන අභීතව මෙහෙය වූ සුනිල් මාධව පේ‍්‍රමතිලක අප සහෘදයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment