දිවි ඇති තෙක් සිර ගත කළ නිර්දෝෂී තරුණයකු නිදහස් කර ගත් පුවත්පත් කලාවේදීන් දෙදෙනා

450

ගවේෂණාත්මක පුවත්පත් කලාව ගැන විශිෂ්ට කතාවක්
සිද්ධියට මුල පෑදුවේ එදිනම වැඩ බාර ගත් ආධුනික වාර්තාකාරියක්
ගවේෂණයට මාස 11 ක්
පුතුගේ නිදහස පතා වසර 11 ක් පොළොව සේදූ මවක්
දිනය 1944 වසරේ ඔක්තෝබර් මස 10 වෙනිදාය

ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ පළවන ඩේලි ටයිම්ස් පුවත්පතෙහි, ලුහුඩු දැන්වීම් තීරයේ අසාමාන්‍ය දැන්වීමක් පළවී තිබිණි. එය මෙසේය. “1932 දෙසැම්බර් මස 09 දින ලන්ඩි නමැති පොලිස් භටයාට වෙඩි තබා මරා දැමූ තැනැත්තාට ඩොලර් 5000 ක ත්‍යාගයක් පිරිනැමේ. දහවල් 12.00 සිට ප.ව. 07.00 අතර කාලය තුළ දුරකථන අංක 1758 ට අමතන්න….”

මෙම දැන්වීම පිටුපස කතාන්තර දෙකක් තිබේ. ඒ දෙකම එකසේ වැදගත්ය. එමෙන්ම ඒ කතා දෙකම එකකට එකක් සම්බන්ධය.

එම කතා දෙකම එකතුවන මෙම වෘතාන්තය පටන් ගන්නේ අප මුලින් කියූ “ඩේලි ටයිම්ස්” කර්තෘ මණ්ඩලයෙනි.

ටෙරී කොලැන්ජිලෝ නමැති තරුණිය ආධුනික වාර්තාකාරිණියක් ලෙස පුවත්පතේ සේවයට වාර්තා කරනු ලැබුවේ එදිනය. ඇයව තමා අභියසට කැඳවූ ප්‍රධාන කතුවර වොලෂ්, එදින පුවත්පතේ සෑම පිටුවක්ම අකුරක් නෑර කියවන ලෙස ඇයට උපදෙසක් දුන්නේය.

“මේක ඔබට හුඟක් ප්‍රයෝජනවත් වේවි”

ප්‍රධානියා අවධාරණය කළේය. ඉහත කී දැන්වීම ඇයගේ නෙත ගැටුණේ ප්‍රධානියාගේ උපදෙස් නිසි ලෙස පිළිපැදීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මහත් සතුටට පත් වාර්තාකාරිණිය දැන්වීම වටා රතු පෑනකින් සලකුණු කොට ප්‍රධාන කතුවරයාට යොමු කළාය. ඒ සමගම ඇය පැවසුවේ මෙය පිටුපස හොඳ කතාවක්ද තිබිය හැකි බවය. අත්දැකීම් බහුල ප්‍රවීණයෙකු වූ ප්‍රධාන කතුවර වොල්ෂ්ටද, එය දුටු පළමු වතාවේම වැටහී ගියේ මෙය පිටුපස අපූර්ව කතාවක් තිබිය හැකි බවය.

සිය වාර්තාකාරිනියගේ ප්‍රවෘත්තිමය ඉව දැඩි ලෙස ඇගයීමට ලක් කළ නමුදු ඇය මෙය කාරණය ගවේෂණය කිරීමට තරම් පරිණත නොවූ හෙයින්, අදාළ රාජකාරිය කතුවරයා විසින් අත්දැකීම් සහිත ප්‍රවීණයකුට බාර දීමට තීරණය කෙරිණි.

ඒ ප්‍රවීණයා වූයේ සිය සහකාර කතුවරයෙකු වූ ජිම් මැක්ග්වයර්ය. විවිධ අක්‍රමිකතා නිසා යටපත් වී තිබූ අපරාධ ගණනාවක් එළියට ඇද, අපරාධ කරුවන් නීතිය ඉදිරියට රැගෙන එන්නට උදව් කළ හෙතෙම, පුවත්පත් කලාවේදියෙකු වන්නට ප්‍රථම රහස් පරීක්ෂකවරයෙකු ලෙසද කටයුතු කිරීමෙන් ලැබූ අත් දැකීම් සම්භාරයක්ද ඇත්තෙකි.

“මේ ලුහුඬු දැන්වීම ගැන හොඳට හොයල බලන්න. පත්තරේට හොඳ කතාවක් තියෙන බවට මට හොඳටම විශ්වාසයි”

ඔහු ජිම්ට පැවසුවේය.

ඉක්බිති රහස් පරීක්ෂකයෙකු ලෙස තමා තුළ වූ ක්‍රමවේදයන් ද උපයෝගී කරගත් ජිම් මැක්ග්වයර් වැඩට බැස්සේය.

සිය ගවේෂණයේදී ඔහු විසින් මුලින්ම සොයාගනු ලැබුවේ මෙම දැන්වීම පළකරනු ලැබ තිබුණේ ටිලී මැජ්සෙක් නම් කළු ජාතික කාන්තාවක විසින් බවය. ඇයව හමු වන්නට ගිය වූ පත්‍ර කලාවේදියාට දැන ගත හැකි වයේ මවකගේ උත්තරීතර දාරක ප්‍රේමය අරබයා වූ ඉතා සංවේදී කතා වස්තුවකි. ඒ නිධාන කතාව මෙවැන්නකි.

චිකාගෝ පොලිසිය විසින් නොකළ වරදකට කොටුකරනු ලැබූ ඇගේ එකම පුතු වන ජෝ මැජ්සෙක් ඒ වන විට 99 වසරකට සිරගත කරනු ලැබ තිබිණි. මේ කාලය වන විට වන විට එම සිර දඬුවමට වසර 11 ක් ගතවී තිබූ අතර, ඇගේ එකම අරමුණ වී තිබුණේ තම එකම පුතු හිරගෙයින් නිදහස් කර ගැනීමය.

“මගේ පුතා ඉතාම යහපත් දරුවෙක්”

මෙම කලු ජාතික කුඩා ස්ත්‍රිය තිරසර හඬින් පැවසුවාය.

“එයා කවදාවත් මිනීමැරුවෙ නෑ”

එහෙත් ජූරිය පිළි ගත්තේ එය නොවේ. ඔහු මීනීමරුවෙකු බවය.

එය සිදුවූයේ 1932 වසරේ දෙසැම්බර් 09 වෙනිදාය.

ස්ථානය චිකාගෝ නගරයේ දුප්පතුන් වසන පැත්තක වූ දකුණු ඈෂ්ලන්ඩ් මාවතේ පිහිටි නීති විරෝධී මත්පැන් හලකි. මෙම මත්පැන්හල පවත්වාගෙන යනු ලැබුවේ මැදි වයසේ කාන්තාවක වූ වේරා නමැත්තිය විසිනි.

මේ කියන දිනයේ ලන්ඩ් නමැති පොලිස් නිලධාරියා තම සේවය නිමකොට නිවස බලා යමින් සිටියේ ඒ අසලිනි. ඒ අතරේ ඇති වූ මත්පැන් බිඳක් තොලගා ගැනීමේ ආශාවක් නිසා මෙකී නිලධාරියාද එම තැබෑරුමට ගොඩ වූයේය.

දන්නා හඳුනන්නෙකු සමග හෙතෙම තම වීදුරුව හිස් කිරීමේ යෙදී සිටි අතර, දෙදෙනාගේම අවධානය යොමුවූයේ තැබෑරුම් අයිතිකාරියගේ එක්තරා මෝඩ වැඩ පිළිවෙළක් කෙරෙහිය. එය නම් ඇය තමාගේ දෛනික ආදායම සියලු දෙනා ඉදිරියේම තම ශීතකරණයේ පැත්තක තැන්පත් කිරීමය. මේ හේතුකොටගෙන ඇය ඕනෑම මොහොතක මංකොල්ලා කෑමකට ලක්විය හැකි බව ඔවුන් දෙදෙනාගේම අදහස වූයේය.

පිස්තෝල අතැති උස මිනිසුන් දෙදෙනකු තැබෑරුමට ගොඩවූයේ හරියටම මෙන්න මේ වෙලාවටමය.

නමුත් නිල ඇඳුම සහිත පොලිස් නිලධාරියෙකු එහි සිටිතැයි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මංකොල්ලකරුවෝ ලන්ඩ්ව දැකීමෙන් බරපතළ අවුලකට පත්වූහ. පැමිණි දෙදෙනා මිනීමරු දාමරිකයන් බව වටහා ගත් පොලිස් නිලධාරි ලන්ඩ් සැණෙකින් තම රාජකාරී පිස්තෝලයට අත යවනු ලැබූවද, සිය නිල ඇඳුමට උඩින් හැඳ සිටි කබාය නිසා තම කටයුත්ත මොහොතක් පමාවිය. පොලිස් නිලධාරියා ගිනි අවිය අතට ගන්නට පෙර තම ගිනි අවි ක්‍රියාත්මක කළ මැරයෝ දෙදෙනා ලන්ඩ් හට වෙඩි තැබූහ. පොලිස් නිලධාරියා එතැනම වැටී මියගිය අතර මැරයෝ දෙදෙන පළා ගියහ.

තම වෘත්තීය සගයා මරා දැමීම නිසා කෝපයට පත් චිකාගෝ පොලිසිය වහාම සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර, සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් සොයා ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.

මෙම ඛේදවාචකය සිදුවන විට ජෝ මැජ්සෙක් නොහොත් මෙම අවාසනාවන්ත සිරකාර තරුණයා සිටියේ ඊට සැතපුමක දුරින් පිහිටි සිය නිවසේය. එදින ඔහු රැකියාවට නොගොස් නිවසෙහි රැඳී සිටියේ සිය බිරිඳ කුළුඳුල් දරු ප්‍රසූතියට ආසන්න තත්ත්වයක සිටීම නිසා, ගෙදර වැඩ කටයුතු එකලසක් කරනු පිණිසය.

හරියටම සිද්ධිය වන මොහොතේ ඔහු සිටියේ තමා විසින් ඇණවුම් කරනු ලැබූ ගල් අඟුරු තොගයක් බාරගෙන සවලක උපකාරයෙන් අදාළ බක්කියට පුරවමිනි. එම ගල් අඟුරු තොගය ඔහු වෙත ලැබුණේ හරියටම සවස 02.30 ට බවටත්, සවස 02.45 වන විට ද ඔහු මෙම කටයුත්තේ යෙදී සිටි බවටත් කරුණු සනාථ වී තිබිණි. අසල්වැසියන් තිදෙනෙකුද ඒ බව සනාථ කිරීමට ඉදිරිපත්ව සිටියහ.

දිවි ඇති තෙක් සිර ගත කළ නිර්දෝෂී තරුණයකු නිදහස් කර ගත් පුවත්පත් කලාවේදීන් දෙදෙනා

නමුත් ඉතාමත් අවාසනාවන්ත ලෙස මෙම ඝාතනය උදෙසා ජෝ මැජිසෙක්ගේ නම ඒ සඳහා ගෑවිය හැකි කාරණයක් එදින රාත්‍රියේ සිදුවිය. ඒ කාරණය වූයේ රාත්‍රියේ තම නිවස වෙත පැමිණි පැරණි හිත මිතුරකුට නවාතැන් දීමය. ඒ පැරණි මිත්‍රයා මංකොල්ලාකරුවෙකු වී ඇති බව හෝ පොලිස් නිලධාරී ලැන්ඩ්ගේ ඝාතනයට සම්බන්ධ බව හෝ ඔහු හාංකවිසියක්වත් දැන සිටියේ නැත. මේ තැනැත්තා ජෝට පවසා තිබුණේ තමා හදිසි කරදරයකට මුහුණ දී සිටින බව පමණි. ජෝ ඉතා කාරුණිකව ආගන්තුක සත්කාර සහිතව ඔහුට නවාතැන් දීමෙන් නොනැවතී, තම පැරණි මිත්‍රයකු වන මෙම තැනැත්තා පෙරදින රාත්‍රියේ තම නිවසේ නවාතැන් ගත් බව අසල්වැසියන් දෙතුන් දෙනෙකුටද පැවසුවේ සැඟවිය යුතු කිසිවක් නොවූ හෙයිනි.

නමුත් එදින සිද්ධිය වූ මොහොතේ තැබෑරුමේ සිටි එක් අසල්වැසියකු මෙම පුද්ගලයා ගැන පොලිසියට ඔත්තුවක් දුන්නේය. මිනීමරුවන් සොයා ගත නොහැකිව වියරු වැටී සිටි පොලිසිය මොහොතක හෝ පමාවකින් තොරව ජෝ මැජ්සෙක් අත් අඩංගුවට ගෙන මිනීමැරුම් චෝදනාව යටතේ නඩු පවරනු ලැබීය.

නමුත් ඇසින් දුටුවන් පැවසූ ආකාරයට මෙම මිනීමරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් ජෝට සමාන වූයේ නැත. ඔවුහු උසැති පුද්ගලයෝ වූහ. ජෝ මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් සහිත අයෙකි. වෙඩි තැබීමෙන් අනතුරුව මිනීමරුවන් පලා යන ආකාරය දුටු සාක්ෂිකරුවන් දෙදෙනකුම මේ බව පවසා තිබුණත් පොලිසිය එයට සවන් දුන්නේ නැත. මෙම වෙඩි තැබීමට ජෝ කිසිසේත්ම සම්බන්ධ නොවූ බවත්, මිනීමරුවන් කවුදැයි ඉතා හොඳින් හඳුනාගත හැක්කා වූත් තැනැත්තිය වූයේ තැබෑරුම් අයිතිකාරිය වූ වේරා නැමැත්තියයි. මන්ද යත් ඔවුන් දෙදෙනා පැමිණියේ ඇය විසින් ශීතකරණයේ සඟවා තිබූ මුදල් කොල්ලකෑමට වන බැවිනි. පොලිස් නිලධාරියා ඔවුන්ගේ වෙඩි පහරට ලක්වූයේ ඇයව ආරක්ෂා කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් වන බැවිනි.

ඇය මුල් වටයේදී මෙම ඝාතනයට ජෝ මැජ්සෙක් සම්බන්ධ නැති බව පොලිසියට පවසා තිබුණාය. නමුත් තම සගයාගේ මරණය වෙනුවෙන් කවරෙකු හෝ හිරගෙට යවා අත පිසදමා ගැනීමට වුවමනා වී තිබූ පොලිසිය විසින් උපක්‍රමශීලී ලෙස, තැබෑරුම්කාරියව බොරු සාක්ෂි දීමට පොළඹවාගෙන තිබුණාය. මෙතනදී ඇය විසින් නීති විරෝධී මත්පැන් හලක් පවත්වාගෙන යෑම දඩමීමා කරගත් පොලිසිය, වේරා නමැති මෙම ස්ත්‍රිය ලවා ජෝ මැජ්සෙක් මෙම ඝාතකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස ප්‍රකාශ කරවා ගැනීමට සමත් වූවේය. ඒ අනුව ඇය එලෙස සාක්ෂි දුන්නා මදිවාට උසාවියේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදීද ඝාතකයා ඔහුම බව සහතික කරන්නටද පසුබට නොවූවාය. නමුත් ඒ මොහොතේදී ජෝ මැජ්සෙක් සිය නිවසේ සිටි බවට අසල්වැසියන් තිදෙනෙකු ඉදිරිපත් කළ සාක්ෂිය අරබයා පොලීසිය නෑසූ කන් ඇතිව සිටියේය.

පොලීසිය විසින් මෙම සාක්ෂි ඉදිරිපත් කළ ආකාරය පිළිබඳව විනිසුරුවරයා තෘප්තිමත් නොවූ නමුදු, පොලීසිය විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි සහ ජූරියේ තිරණය අනුව ජෝ මැජ්සෙක්ට දඬුවම් නියම කිරීමට ඔහුට සිදුවිය. විනිසුරුවරයාට කළ හැකිව තිබූ එකම සානුකම්පිත කරුණ වූයේ ජෝ විදුලි පුටුවට නොයවා අනූනව වසරක සිර දඬුවමකට යටත් කිරීමය. එතුමා මේ පිළිබඳව කොතෙක් පසුතැවිලිවීද යත්, නිවසට ගිය පසුද පවුලේ සාමාජිකයන් සමග මේ පිළිබඳව මේ පිළිබඳව කතා කරමින් පවසා ඇත්තේ අද දින උසාවියේදී තමන් අතින් සැකකරුවෙකුට බරපතළ වැරැද්දක් සිදුවූ බවය.

නමුත් ඉතා ඉක්මනින් මෙම නඩුව යළි කැඳවා එම වැරැද්ද නිවැරදි කිරීමට කටයුතු කරන බව ඔහු සිය දූ දරුවන්ට පවසා තිබේ. නමුත් ජෝ මැජ්සෙක්ගේ අවාසනාවට එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර එතුමා මිය ගියේය. ඉක්බිති සියල්ලන්ටම සිද්ධිය අමතක වී ගියේය.

එහෙත් ජෝ ගේ මවට එය එසේ අමතක කළ හැකි නොවීය.

ඇය එදා සිටම තම නිර්දෝෂී පුතණුවන් සිරගෙයින් මුදා ගැනීමේ සටන ආරම්භ කළාය. ජිම් මැක්ග්වයර් මෙම මාතාව මුණ ගැසුණේ ඔක්තෝබර් මාසයේ අග භාගයේ දිනකය. නිරන්තර දුමෙන් පිරී ගිය බඩු ගබඩා සහිත සහිත පෙදෙසක අඳුරු පැහැගත් නිවසක ඇය වාසය කළාය.

ජෝගේ මව ජිම් සමඟ පැවසූ ආකාරයට, තැබෑරුම්කාරිය විසින් දෙන ලද බොරු සාක්ෂිය සිය පුතුට එරෙහිව තදින්ම බලපා තිබූ අතර, එය බිඳීමට නම් පොලිස් නිලධාරියාට ඇත්තටම වෙඩි තැබූ තැනැත්තා සොයාගත යුතු යයි ඇය සිතුවාය. ඇය විසින් ඒ සඳහා ගන්නා ලද අහිංසක සහ අසාර්ථක උත්සාහය වී තිබුණේ පෙර කී අයුරින් සැබෑ මිනීමරුවා ඉදිරිපත් වන්නේ නම් ඩොලර් 5000ක් පිරිනමන බව කියා පුවත්පත් දැන්වීමක් දැමීමය. ඇත්තෙන්ම කාගේවත් අවධානයට ලක් නොවූවද, ටිලී මහත්මිය විසින් මීට පෙරද දැන්වීමක් පළ කොට ඇත. නමුත් එහි සඳහන් වූ ත්‍යාග මුදල වූයේ ඩොලර් 3500කි. එයට ප්‍රතිචාරයක් නොලැබුණේ මුදල ප්‍රමාණවත් නොවූ නිසා යැයි සිතූ ඇය මෙවර එය 5000 දක්වා වැඩිකරනු ලැබුවේ එහෙයිනි.

සිය සැමියා එනම් ජෝගේ පියා නිතර ලෙඩ දුක්වලින් බැට කෑ අයෙකු නිසා නිරන්තරයෙන් සිය රැකියාවේ යෙදීමේ හැකියාවක් ඔහු තුළ නොවීය. ඒ නිසා ටිලී මහත්මිය තමාට කළ හැකි එකම රැකියාව වශයෙන් නගරයේ මහල් නිවාසවල පොළව සේදීමේ රැකියාවක් තෝරා ගත්තාය. මේ ආකාරයට ඇය ගෙවී ගිය වසර 11 ක කාලය මුළුල්ලේ මහ පොළවේ වර්ග අඩි ලක්ෂ ගණනාවක බිම සෝදනු ලැබූ අතර ඩොලර් 5000 ක මුදලක් ඉතිරි කර ගන්නට සමත් වූවාය. වසර 11 ක් තිස්සේ සතියකට දින හය බැගින් මෙම රැකියාවේ යෙදීම නිසා ඇය නිරන්තර හිසරදයකින්ද, සෙම අමාරුවකින්ද පෙළෙන්නට වූ නමුත් සිය උත්සාහය අත්හැර දැමුවේ නැත.

තමා විසින් සොයාගත් තොරතුරු සිය ප්‍රධාන කතුවරයාට ඉදිරිපත් කළ විට ඔහු පැවසුවේ මෙම තරුණයා නිර්දෝෂී බව විශ්වාස නම්, මොන ආකාරයකින් හෝ ඔහු මෙම අපරාධය නොකළ බවට නොබිඳිය හැකි සාක්ෂි එකතු කර ගන්නා ලෙසය. මෙසේ පැවසූ ප්‍රධාන කතුවරයා ඒ සඳහා තවත් දක්ෂ වාර්තාකරුවෙකු වූ ජැක් මැක්පෝල්ද, ජිම් මැක්ග්වයර්ගේ සහායට ලබා දුන්නේය.

එතැන් සිට ගෙවී ගිය මාස එකොළහක කාලයක් මුළුල්ලේ මෙම පුවත්පත් කලාවේදීන් දෙදෙනා ජාතික ලේඛනාගාර, පුස්තකාල, උසාවි සංකීර්ණ, රෝහල් කාර්යාල, ආදී සථාන වලට යමින්ද, දෙපක්ෂයේම නීතිඥයින්, සාක්ෂිකරුවන් සහ සමාන්‍ය ජනතාව මුණ ගැසෙමින්ද, ජෝ මැජ්සෙක්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා කරුණු රැසක් එකතු කර ගත්හ. සුපුරුදු පරිදි දූෂිත පොලිස් නිලධාරීන් සහ ඔවුන් රැකබලා ගනිමින් ඔවුන්ගේ සහාය ලබා ගන්නා දේශපාලනඥයින් මෙයට අකුල් හෙළන්නට උත්සාහ කළ නමුත් ඔවුහු ඉතා සාර්ථකව සිය අරමුණ කරා ළඟා වූහ. මේ කර්ත්‍යවයයේදී හිටපු සහ අභාප්‍රාප්ත විනිසුරු තැනගේ පවුලේ සාමාජිකයන්ගේ ප්‍රකාශ ද, පොලිසිය විසින් මුල් වතාවේ ප්‍රතික්ෂේප කරන ලද අසල්වැසි සාකෂිකරුවන් ද, ඔවුනට ඉතා වැදගත් විය. මේ සියලු කාරණා එක්රැස්කර ගත් ඔවුන් දෙදෙනා මේ නඩුවට සම්බන්ධ ජූරි සභිකයින් හමු වී මේ පිළිබඳව තමන් සොයා ගත් තොරතුරු ඔවුන් වෙත ඉදිරිපත් කළහ. ජූරි සභිකයින් හැමදෙනෙකුගේම පොදු අදහස වූයේ මෙම තොරතුරු වසර එකොළහකට පෙර තමන් වෙත ඉදිරිපත් වූවා නම්, ජෝ මැජ්සෙක් නිවැරදිකරු බවට තීරණය කරන බව ය.

මේ සියලු කටයුතු සිදුවෙද්දීත් ජෝගේ මව වූ ටිලී මහත්මිය දිගටම සුපුරුදු රැකියාවේ යෙදුනා ය. එපමණක් ද නොව, සිරගෙයි සිටි තම පුතු බැලීමට ගිය හැම මොහොතකදී ම ඔහුට නිදහස ලැබෙන බවට බලාපොරොත්තුවක් ඇති කරනු ලැබුවා ය. නමුත් ජෝ සිරගතව දැවුරුද්දක් ගත වන්නටත් පෙර ඔහුගේ බිරිඳ, සිරගෙට ගොස් තමාගේ දරුවාට පියකු අවශ්‍ය නිසා, වෙනත් විවාහයක් කර ගැනීමට දික්කසාදයට අවසර ලබා ගත්තාය. නමුත් ඒ කිසිවකින් නොසැලුන ජෝ සිරගෙයි තුළදි පොත් තැබීම සහ ගණකාධිකරණය හදාරන්නට පටන් ගෙන තිබුණි.

අනතුරුව පුවත්පත් ආයතනයේ අනුග්‍රහයෙන් මෙම නඩුව නැවත කැඳවා, ජෝ මැජ්සෙක් සිරගෙයින් නිදහස් කර ගැනීමට මෙම පුවත්පත් කලාවේදීහු සමත් වූහ.

ඒ 1945 අගෝස්තු මස 15 වනදා ය.

“ජෝ ඔයා දැන් නිදහස් නේද? මගේ පුතේ”

මෙසේ කියමින් ඔහුගේ මව ටිලී මහත්මිය ජෝව මහත් සෙනෙහසින් වැළඳ ගත්තාය.

මව සහ පුතු සිය මෝටර් රථයෙන් නිවස වෙත කැඳවා ගෙන යෑමට ජීම් ඉදිරිපත් වූයේ ය.

මෙතුවක් කාලයක් තම ආදරණීය පුතු වෙනුවෙන් අප්‍රමාණ වෙහෙසක් දැරූ ටිලි මහත්මිය එදා වැඩිපුරම මහන්සි වූයේ ජෝ වෙනුවෙන් උත්කර්ෂවත් කෑම මේසයක් සූදානම් කිරීමටය. ඔහුගේ පුටුව අසළ සිටගත් ටිලී මහත්මියගේ එකම රාජකාරිය වූයේ ජෝ කැමති කෑම වර්ග පිඟන පිරෙන්නට බෙදමින් තම පුතුට සංග්‍රහ කිරීමය. ජෝ වෙනුවෙන් තමා ඉතිරි කළ ඩොලර් 5000 මුදල ඇය විසින් ඩේලි ටයිම්ස් පුවත් පතට පරිත්‍යාග කරනු ලැබුවද, පුවත්පත් ආයතනය එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. සිරගතව සිටියදී තමා උගත් පොත් තැබීම සහ ගණකාධිකරණය පිළිබඳ දැනුම හේතු කොට ගෙන, ජෝ මැජ්සෙක් කාර්මාන්ත ශාලාවක ලේකම්වරයෙකු ලෙස සිය රැකියාව ආරම්භ කළේය.

ජූරියේ තීරණය අනුව ජෝ මැජ්සෙක්ට දඬුවම් නියම කිරීමට ඔහුට සිදුවිය. විනිසුරුවරයාට කළ හැකිව තිබූ එකම සානුකම්පිත කරුණ වූයේ ජෝ විදුලි පුටුවට නොයවා අනූනව වසරක සිර දඬුවමකට යටත් කිරීමය. එතුමා මේ පිළිබඳව කොතෙක් පසුතැවිලිවීද යත්, නිවසට ගිය පසුද පවුලේ සාමාජිකයින් සමග මේ පිළිබඳව මේ පිළිබඳව කතා කරමින් පවසා ඇත්තේ අද දින උසාවියේදී තමන් අතින් සැකකරුවෙකුට බරපතළ වැරැද්දක් සිදුවූ බවය.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment