දිවි නසාගන්නත් හිඟා කමු

1303

තෙදිනක් තිස්සේ සිය කුඩා දියණියන් තිදෙනා ඇල් ජලය පමණක් පානය කරමින් කුසගින්න විඳදරාගෙන සිටිනු තවදුරටත් ඉවසීමට නොහැකි වූ මවක් සියදිවි නසාගැනීම පිණිස විෂ සහිත ඇට වර්ගයක් අනුභව කිරීමෙන් පසු මරණාසන්නව බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන බව දැනගන්නට තිබේ. අවුරුදු 9, 8, 4 යන වයස්වල දියණියන් තිදෙනකුගේ මව වූ මේ කාන්තාව ගතකළ ජීවිතය බෙහෙවින් දුගී සහ දුෂ්කර එකක් විය. ඇගේ සැමියාටද රැකියාවක් තිබුණේ නැත. කෙසේ වුවද අතපය හතර පණ තිබෙන පියෙකුට ඇති ලොකුම වගකීම වන්නේ කවර හෝ ආකාරයකින් සිය දරුවන් පෝෂණය කිරීමය. එතැනදී දරුවන් පෝෂණය කිරීම සඳහා මුදල් හෝ භාණ්ඩ උපයන ක්‍රමය හොරකමක් වීමට පුළුවන. නොඑසේනම් ණයට ඉල්ලා ගැනීමක් වන්නට පුළුවන. එසේත් නැත්නම් සිඟමනේ යෑමක් වීමට පුළුවන. මේ ක්‍රම තුනෙන් පළමු වැන්න සාධාරණ වන්නේ පවතින තත්ත්වයට අනුරූපවය. කෙසේ වුවද මේ පුවත්පත හොරකම්වලට අනුබල දෙනු නොලැබේ. සිඟමන් යැදීම හෝ ණයට ඉල්ලීම වඩාත් සාධාරණ ක්‍රම ලෙස දැකීමට අපට පුළුවන. අපට ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ ඉහත සඳහන් පවුලේ පියා දරුවන්ගේ කුසගිනි නිවීම සඳහා කිසිදු යමක් නොකිරීමය. මෙහිදී මව කෙරේ අපගේ අනුකම්පාව පළවේ. ඇය ගැහැනියකි. සමහරවිට දරුවන්ට කෑම සපයාගැනීම

සඳහා උදව් ඉල්ලන්නට ගියොත් පිරිමින් දහදෙනෙක් ඇය යහනට කැඳවනවා ඇත. එය දැනට මේ රටේ පවතින සමාජ තත්ත්වයයි. මේ වයසේ කුඩා දරුවන් සිඟමනේ යැවීම නොහොබියි. දැනට මේ රටේ හැම හන්දියකම හැම ට්‍රැපික් ජෑම් එකකම, හැම පෙට්‍රල් ෂෙඩ් එකකම, හැම සුපර් මාර්කට් එකක් ඉදිරිපිටම හඳුන්කූරු හෝ කපුරු බෝල වෙළෙඳාමේ නියැළෙන ව්‍යාජයෙන් සිඟමන් යදින දරුවෝ සිටිති. මේ යාචක දරුවන්ට මීටර් කිහිපයක් ඈතින් ඔවුන්ගේ මව හෝ පියා ඔවුන් එකතු කරන මුදල් හිතින් ගණන් කරමින් බලා සිටින්නාහ. ඇතැම් විට මේ කුඩා දරුවෝ පසුකාලයේදී වෘත්තීය සිඟන්නන් බවට පත්වෙති. වෘත්තීය සිඟන්නියක නිතරම වෘත්තීය ගණිකාවකි. මේ සියලු කරුණු සලකා බලන කල දරුවන් සිඟමනේ නොයැවීමට මේ අම්මා උත්සාහ කර නොතිබීම ගැන අපි මහත්සේ සතුටු වෙමු. එහෙත් තාත්තා ගැන ප්‍රශ්නය අප තුළ එසේම පවතී.

දුප්පත්කම සහ කුසගින්න යන දෙක ශ්‍රී ලංකාව තුළ කවදත් තිබුණහ. පසුගිය කාලයේදී මේ පිළිබඳව ප්‍රශ්න කරන විට දේශපාලනඥයන් සතුව පිළිතුරක් තිබිණ. ඒ පිළිතුර නම් බඩගින්නේ සිට කවුරුත් මැරිලා නැති බවය. බඩගින්නේ සිට මැරෙන අය ගැන තොරතුරු නිතර හෙළිදරව් නොවේ. සාමාන්‍යයෙන් මේ රටේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී වැඩි තැනක් ලැබෙන්නේ ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් වලටය. එසේම දේශපාලනඥයන්ගේ පිල් මාරු කිරීම පිළිබඳවත් නිතර පුවත් පළවේ. මිනිස්සු ඒවා කැමැත්තෙන් කියවති. නිසි ආදායම් නොමැතිවීමෙන් කුසගින්නේ පෙළෙන ජනතා ස්ථරයක් මේ රටේ ඇත. මෙහිදී කුසගින්න පිළිබඳ තිබෙන ජාත්‍යන්තර අර්ථකථනය කෙරෙහි අවධානය යොමුකරමු.

කුසගින්න යනු කන්න නැතිවීම පමණක් නොවේ. නිසි පෝෂ්‍ය පදාර්ථ රහිත ආහාර වේලක් ලබාගැනීමට ඇති නොහැකියාව හඳුන්වනු ලබන්නේද කුසගින්න ලෙසය. හයිටි රාජ්‍යයේ ළමයි අවුරුද්දේ එක කාලයකදී මැටිවලින් තැනූ බිස්කට් වර්ගයක් කා කුස පුරවා ගනිති. එසේ කුස පිරවෙන නමුදු එම මැටි බිස්කට්වල කිසිදු පෝෂ්‍ය පදාර්ථයක් නැත. එබැවින් ඒ ළමයි සිටින්නේ කුසගින්නේය. සාමාන්‍ය පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වේලක කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ තිබිය යුතුය. මේවා නැති ඉතා රසවත් ආහාර වර්ග තිබේ. එම ආහාර ගැනීමෙන් කුස මෙන්ම හිතද පිරේ. එහෙත් එම ආහාරවල පෙර කී කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ නැති නිසා එම ආහාර ගන්නා අය වැටෙන්නේ කුසගින්නේ සිටින ජනගහනයටය. ශ්‍රී ලංකාවේ ආහාරවල පෝෂ්‍ය පදාර්ථ ගුණය ඉතා වේගයෙන් ක්‍ෂය වෙමින් පවතී. මේ වනවිට දිනකට ගන්නා ආහාර වේල් තුන වෙනුවට ඉදිරියේදී දිනකට ආහාර වේල් 2 කින් පමණ යැපීමට සිදුවනු ඇතැයි අගමැතිතුමාද පුරෝකථනයක් කර ඇත. එසේ කන කෑම වේල් දෙකද පිදුරු හා සමාන වුණොත් වගා සංග්‍රාමයක් කිරීමට නොව සැබෑ සංග්‍රාමයක් එනවිට පැන දිවීමට පවා ශක්තියක් නැති ජාතියක් බිහිවීමට ඉඩ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment