දිවි නැගුම  මුදල් අවභාවිත  නඩුවෙන් බැසිල් ඇතුළු  4 ක් නිදහස්

171

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ දිවි නැගුම දෙපාර්තමේන්තුව සතුව තිබූ ප‍්‍රජා මූල්‍ය බැංකුවට අයත් මුදල් අවභාවිත කරන ලදැයි එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු නිලධාරීන් තිදෙනකුට එරෙහිව පසුගිය රජය මගින් පවරා තිබූ නඩුව ඊයේ (28 දා) කඩුවෙල අධිකරණය මගින් යළි කැඳවූ අවස්ථාවේ සියලූම සැකකරුවන් නිදහස් කිරීමට මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක මහතා නියෝග කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් සැළකිල්ලට ගනිමින් නඩුව මහාධිකරණයට ඉදිරිපත් නොකරම සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය නියෝග කරන ලදී. මෙම නඩුවේ සැකකරුවන් ලෙසට නම් කර තිබුණේ එවකට ඇමැති බැසිල් රාජපක්‍ෂ සහ නිලධාරීන් තිදෙනකු වන නිමල් ජයතිලක, අමිත් කිත්සිරි හා බන්දුල තිලකසිරි යන අයයි.

දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් මුදල් විශ‍්‍රාමික නිලධාරීන්ගේ පාරිතෝෂික හා වන්දි මුදල් ගෙවීමට යොදා ගැනීමෙන් රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදුව ඇතැයි පැමිණිල්ලේ සඳහන් කර තිබී ඇත. සැකකරුවන් හට පනවා තිබූ විදේශ ගමන් අත්හිටුවීමේ නියෝගය ඉවත්කරන ලද බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා යැවීමට ද අධිකරණය නියෝග කළේය. සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා සමග නීතිඥ සන්ධ්‍යා තල්¥ව හා නීතිඥ සෙනරත් ජයසුන්දර යන මහත්වරු පෙනී සිටියහ.

පියදාස රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment