දිවි සැරිය දිග හැරිය සුව සැරිය

1880

මේ කතු වැකිය කිසිවකුට ගසන ලද ප්ලග් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඉන්දියාව විසින් අපට ලබාදුන් ත්‍යාග සහ ඉන්දියාව වෙතින් අප ලබාගත් ත්‍යාග යනුවෙන් දෙවර්ගයක් තිබේ. බුදු දහම යනු ඉන්දියාව විසින් සිය කැමැත්තෙන් සහ ස්වේච්ඡුාවෙන් අපට ලබාදුන් උසස්ම ත්‍යාගයයි. මේ ආධ්‍යාත්මික ත්‍යාගය මේ භූමි තලයේ වෙසෙන මනුෂ්‍ය වර්ගයාගේ ජීවිත ආලෝකවත් කරනු පිණිස අදටත් පූර්ණ චන්ද්‍රයා සේ බැබළේ. ඉන්දියාව වෙතින් අප ඉල්ලා ලබාගත් ත්‍යාග කිහිපයක් ද ඇත. ඒවා අතුරින් උසස්ම ත්‍යාගය වන්නේ සුව සැරිය නමැති එම්බියුලන්ස් සේවය බව ස්ථිරය. 1990 යන දුරකථන අංකය ඩයල් කර පැය කාලක් ගතවෙද්දී සුව සැරිය ගිලන් රියක් ඇමතුම්කරුවා සොයා එයි. මෙයට අවුරුදු පහකට පෙර ඇරඹි සුව සැරිය ගිලන් රථ සමූහය ස්වකීය මාහැඟී සේවාවේ උපරිම අවස්ථාවට ළඟා වන්නේ මිනී මරු කොවිඞ් වසංගතය මේ රට ආක‍්‍රමණය කිරීමත් සමග ය. ගත වූ අවුරුදු පහ තුළ සුව සැරිය එම්බියුලන්ස් මගින් රෝහල්වලට ගෙන යන ලද මරණාසන්න මනුෂ්‍යයන් ගණන දස ලක්ෂයකට කිට්ටු ය. සුව සැරියට අකමැති වපසරියෙහි සිටින කුහකයන්ට කළ හැකි වැඩක් දැන් තිබේ. එනම් අවුරුදු පහක් තුළ සුව සැරිය ගිලන් රථ සමූහය ගමන් වාර දසලක්ෂයක් සම්පූර්ණ කළේ කෙසේද යනුවෙන් ගණන් හදා බැලීම ය.

 සුව සැරිය පටන් ගන්නේ හිටපු යහපාලන කැබිනට් නොවන ඇමැතිවරයකු වූ හර්ෂ ද සිල්වාගේ ඉල්ලීමකට අනුව ය. දිනක් හර්ෂ ද සිල්වා තවත් පිරිසක් සමග නැගෙනහිර පළාතට ගියේය. එහිදී එම පිරිසේ අයෙක් හදිසි අනතුරකට මුහුණ දුන්නේය. එම පුද්ගලයා රෝහල්ගත කිරීමට එම්බියුලන්ස් එකක් සොයා ගැනීමට බැරි විය. එය බියකරු අත්දැකීමකි. කොළඹ පැමිණි හර්ෂ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග කතා කර ගිලන් රථ සේවාවක් ඇරඹීම සඳහා උදව් ඉල්ලා සිටියේය. මෙයට එකඟ වූ ඉන්දියාව බටහිර සහ සබරගමු පළාත් සඳහා ගිලන් රථ 88 ක් මිලට ගැනීමට ඩොලර් මිලියන 7.6 ක ප‍්‍රදානයක් කළේය. ඒ සඳහා අත්සන් කළ ගිවිසුමේ කොන්දේසිවලට අනුව එම ගිලන් රථ ඉන්දියාවේ ටාටා සමාගමෙන් මිලට ගත යුතු විය. ඉන්දියාවෙන් මෙහි ආ ඩොලර් මිලියන 7.6 ක මුදල හැරෙන තැපෑලෙන් ටාටා සමාගමට ගිය අතර ඒ වෙනුවට බ‍්‍රෑන්ඞ් නිව් ගිලන් රථ 88 ක් ලංකාවට ආවේය. මෙය win win situation ලෙස හඳුන්වන තත්ත්වයකි. මේ තත්ත්වය තුළදී ඉන්දියාව තමන් ලංකාවට දුන් ඩොලර් තොගය ආපසු තම රටටම ලබාගෙන ඉන්දියානු රුපියල් බවට පරිවර්තනය කර ඔවුන්ගේ දේශීය දේපළක් වූ ටාටා සමාගමට ලබා දුන්නේය. මෙහිදී පාර්ශ්ව තුනක් සතුටට පත්වූහ. මුලින්ම තමන් ප‍්‍රදානය කළ ඩොලර් තොගය ගෙඩිය පිටින්ම ආපසු තමන් වෙත ලැබීම ගැන ඉන්දියාව සතුටට පත්විය. ඊළඟට ඩොලර් මිලියන 7.6 ක වටිනාකමට ඉන්දියානු රුපියල් තමන් වෙත ලැබීම ගැන ටාටා සමාගම සතුටට පත්විය. බ‍්‍රෑන්ඞ් නිව් එම්බියුලන්ස් 88 ක් තමන්ට හිමිවීම ගැන ලංකාව සතුටු විය.

 මෙම එම්බියුලන්ස් හමුදාව විසින් සුව සැරිය යන නම යටතේ බස්නාහිර පළාතේ සහ සබරගමු පළාතේ ජනතාවගේ ජීවිත බේරීමට පටන් ගන්නා ලදී. ව්‍යාපෘතියේ සාර්ථකත්වය දුටු ඉන්දියාව තවත් ඩොලර් දස ලක්ෂ 15.2 ක ප‍්‍රදානයක් කරමින් මුළු ලංකාවම ආවරණය වන පරිදි ගිලන් රථ පහසුකම් සලසා දුන්නේය. මේ අනුව අද වනවිට සුව සැරිය සතුව ගිලන් රථ 297 ක් තිබේ. ඉන්දියාවේ මූලික කොන්දේසිවල සඳහන් වූ පරිදි සුව සැරියේ අයිතිකරුවන් බවට පත්ව අද එය කළමනාකරණය කරන්නේ ශ‍්‍රී ලංකාවය. මෙහි 1400 කට කිට්ටු කාර්ය මණ්ඩලයක් ඇත. අද මේ සියලූ දෙනාටම පඩි ගෙවන්නේත් එම්බියුලන්ස්වලට තෙල් ගහන්නේත් ඒවා නඩත්තු කරන්නේත් ලක් රජය යි.

 2015 දී යහපාලන ආණ්ඩුව නමින් බලයට පත්වූ යූ.එන්.පී. ආණ්ඩුව කළ හොඳම ව්‍යාපෘතිය මේ කියන සුව සැරිය විය යුතුය. එහෙත් එකල බොහෝ දෙනෙක් මේ ව්‍යාපෘතියට විරුද්ධ වූහ. අති මහත් ජාති ආලයෙන් පෙළෙන බහුකාර්ය ප‍්‍රගතිශීලී එංජින් සහිත ජනතාවාදී කොටස්වල මතය වුණේ ඉන්දියාව ලංකාවේ ඔත්තු බැලීම සඳහා සුව සැරිය යොදාගන්නා බවයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඛනිජ තෙල් සංස්ථාව දෙකට කඩා හොඳම පෙට‍්‍රල් ෂෙඞ් සිය ගණනක් කරගෙන යෑමට ඉන්දියන් ඔයිල් සමාගමට බලය දුන් අවස්ථාවේදී ද මෙයට සමාන කතාවක් ආරංචි විය. ලංකාවේ ඔත්තු බැලීම සඳහා ගිලන් රථ හෝ පෙට‍්‍රල් ෂෙඞ් පාවිච්චි කිරීමට තරම් ඉන්දියාව බංකොලොත් නැත. ලංකාව පිළිබඳ ඔත්තු සපයන අයට මුදල් දෙන බවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශයක් කළොත් ඊළඟ දවසේ උදය වරුවේදී එම මහ කොමසාරිස් කාර්යාලය එකී කාර්ය භාරය භාරගැනීම සඳහා රැුස්වුණු එන්.ජී. ඕ. පෝලිමක් දැක ගන්නට ඔබට හැකිවනවා ඇත. ඉන්දියාවේ නිල ඔත්තු සේවය වූ රෝ සංවිධානයේ අංශයක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය තුළ තිබේ. මේ සමග ගනුදෙනු කරන නාට්ටාමිලාගේ සිට මන්ත‍්‍රීවරුන් දක්වා වූ පුළුල් පරාසයක් මේ රටේ සිටිති. (හැබැයි මොනතරම් කෙළිකාරයන් සිටියත් ජනාධිපති මෛත‍්‍රී අගමැති රනිල් ගේ ආණ්ඩුව විසුරුවා මහින්ද රාජපක්ෂගේ දින 53 ආණ්ඩුව පත්කරන බව කල්තියා දැනගන්නට රෝ සංවිධානයට බැරි විය.) සුව සැරිය අරඹන විට මේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ හටගත් කුහක විරෝධය කොතරම් ද යත් එම එම්බියුලන්ස් ආණ්ඩුවේ රෝහල් භූමිවල පාර්ක් කිරීමට පවා ඉඩ නොදෙන ලදී. ඊට අමතරව රජයේ වෛද්‍ය සංගමය ද සුව සැරියට විරුද්ධ විය. මේ සමාන්තර එම්බියුල්න්ස් සේවාව නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ එම්බියුල්න්ස් සේවාවට පහර වැදී එහි රියදුරන්ට රැුකියා නැතිවනු ඇතැයි කට කතාවක් පතුරවන ලද නමුත් එකී රියදුරු මහත්වරුන් එම ලණුව ගිල්ලේ නැත. මේ ආකාරයෙන් ඉන්දියානු විරෝධීන්ගේ සහ එවකට පැවති යූ.එන්.පී. යහපාලන ආණ්ඩුවේ සතුරන්ගේ ද්වේශයට ලක්වූ සුව සැරිය අද වනවිට ජාතියේ ආරක්ෂකයකු බවට පත්වී තිබේ. සුව සැරිය මේ රටේ දිවි සැරිය දීර්ඝ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment