දිස්ත්‍රික්ක 6 කට මහවැසි එක් අයෙක් මරුට:  530 ක් පීඩාවට

157

දිස්ත්‍රික්ක 06 කට බලපා තිබෙන අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (01 දා) දහවල් වනවිට මරණයක් වාර්තාවී පවුල් 132 කට අයත් පුද්ගලයන් 530 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙසේ පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර, මහනවුර, කළුතර, ගම්පහ, කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවයි. වාර්තා වී ඇති මරණය මාතර වැලිගම ප්‍රදේශයේදී සිදුවී ඇති අතර මියගිය තැනැත්තා ආපදාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා සහභාගි වූ නිලධාරියකු වන කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටි 41 හැවිරිදි දෙදරු පියෙකි.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 41 කට අර්ධ හානි සිදුවී ඇත. පීඩාවට පත් පවුල් 57 ක පුද්ගලයන් 236 දෙනකු ආරක්‍ෂක ස්ථාන 5 ක රඳවා තැබීමට පියවර ගෙන ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

මෙම වැසි තත්ත්වය ඉදිරි දිනවලත් පවතින අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයෑමේ කහ වර්ණයේ (2 අදියර) අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

කැලණිය කලු, ගිං හා නිල්වලා ගංඟාවලත්, අත්තනගලු ඔය ආශ්‍රීත පහත්බිම්වලත් ඊයේ (01 දා) දිනයේදී සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවී තිබුණි. එම ගංඟා ආශ්‍රීත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂා පතනයක් වාර්තා වුවහොත් ගංඟාවල ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළ යා හැකි බවටද ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවරගෙන තිබුණි.

කැලණි ගඟේ ඉහළ ප්‍රදේශලට ඊයේ සැලකිය යුතු වර්ෂා පතනයක් නොලැබීම නිසා ජල මට්ටමේ පහළ යෑමක් දක්නට ලැබුණත් හංවැල්ල සිට මෝදර දක්වා පහත් බිම්වල ජල මට්ටම තවදුරටත් ඉහළයා හැකි බවට දැනුම් දී ඇත. මේ අතර ආපදාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා නාවික හමුදාවද සහන කණ්ඩායම් 13 ක් යොදවා තිබෙන බව නාවික හමුදාව පවසයි.

ඇතැම් ප්‍රදේශවලට ඇතිවූ වර්ෂාපතනය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් බෝට්ටුවලින් සහ ඔරුවලින් විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ආපදා කළමනාකරණ නිලධාරීන් විසින් කටයුතු කර තිබුණි.

පෙරේදා (31 දා) සිට ඊයේ පෙ.ව. 6.00 න් අවසන් වූ කාලය තුළ වරකාපොල ප්‍රදේශයෙන් මිලි මීටර් 130 ක්, කොළඹ කොටුව ප්‍රදේශයට මිලි මීටර් 124.5 ක් ලෙස වැඩි වශයෙන් වර්ෂාපතනය වාර්තාවී තිබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment