දුක්විඳින කම්කරුවා වෙනුවට ඩිජිටල් ශ්‍රමිකයෙක් – යල් පැන්න කම්කරු පනත වෙනුවට අලුත් එකක් – ඇමැති මනූෂ කියයි

154

රටේ සංවර්ධනයට බාධාවක් මෙන්ම කම්කරු ප්‍රජාවේ අයිතිවාසිකම්වලට අවහිරයක් වී ඇති යල් පැනගිය කම්කරු පනත අහෝසි කර නව කම්කරු පනතක් ගෙන එන බවත් ඒ සඳහා කම්කරු ප්‍රජාව පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයකුට යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමැති මනූෂ නානායක්කාර මහතා ඊයේ (3දා) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

කලාපයේ අනෙකුත් රටවල් ශීඝ්‍රයෙන් ආයෝජන හරහා සිය සංවර්ධන ඉලක්ක කරා ගමන් කරමින් සිටින බව කී ඇමැතිවරයා මෙරට පවතින සාම්ප්‍රදායික නීතිරීති නිසා රටට එම සංවර්ධනය කරා ගමන් කිරීම අවහිර වී ඇතැයි ද කීවේය.

ආයෝජකයින්ට මේ රටේ ආයෝජනයට පැමිණීමේදී වගේම මේ රටේ ව්‍යාපාර කරන අයටත් සිය ව්‍යාපාර පවත්වාගෙන යාමේදී බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවී තිබෙනවා.

ඒ වගේම කම්කරු ප්‍රජාවට ඔවුන්ගේ අයිතීන් ලබාගැනීමේදී ද එවැනිම අභියෝගවලට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ඒ නිසා කම්කරු නීතිය නූතන ලෝකයට ගැලපෙන විදියට වෙනස් කරන්න රජය තීරණය කළා.

මැයි දිනයට පමණක් පාවිච්චි කරන, වැරහැලි හැඳගත්, හැමදාම දුක් විඳින සාම්ප්‍රදායික කම්කරුවා වෙනුවට ඩිජිටල් ලෝකයට ගැලපෙන ශ්‍රමිකයෙක් නිර්මාණය කිරීමටයි අපි උත්සාහ කරන්නේ.

ඒ සඳහා ශ්‍රමිකයා ගෞරවණීය ශ්‍රමිකයෙකු බවට පත්කිරීමටත්, කාන්තාවන්ට ආත්ම ගෞරවය රැකගෙන සිය සේවා ස්ථානයේදී ආරක්‍ෂිතව සේවය කිරීමටත් හැකියාව ලැබෙන ලෝක කම්කරු සංවිධානය අනුමත කරන අලුත් කම්කරු නීතියක් අපි සකස් කරනවා. ඒ වෙනුවෙන් කම්කරු ප්‍රජාව පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට තම යෝජනා ඉදිරිපත් කළ හැකි යැයිද ඇමැතිවරයා මෙහිදී කීවේය.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment