දුක කඳුළ මතින් පිටපත ලි‍යැවුණු ප්‍රේක්ෂා රඟමඩල

406

වසර 65ක් සපිරුණු මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ මනමේ

පීඩනයෙන් හෙම්බත්ව සිටින සමාජයකට කලාවට වඩා ඔසු පැනක් ලොකයේ කිසිදු වෙදැදුරකුට හමු වී නැත. කලාව නොමැති සමාජය ප‍්‍රචණ්ඩ වන්නේ ඒ නිසාය. අතෘප්තිකර මනසින් සිර වී සිටි මිනිසුන්ට ඔසුපැනක්ම වූ විශිෂ්ට නාට්‍ය උළෙලක නිමාව පසුගිය සතියේදී සටහන් විය. ඒ ටවර් හෝල් රඟහල පදනම සංවිධානය කළ පේ‍්‍රක්ෂා රංග කලා මහෝත්සවයයි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ටවර් හෝල් රඟහල පදනම මෙවැනි වූ නාට්‍ය උළෙලක් රසික ප‍්‍රජාවට තිලිණ කිරීම පිටුපස වසරක් පාසා පවත්වන නාට්‍ය උළෙලකට එහා ගිය කතාවක් තිබේ. එය අපි වේදිකාවේදී දකින රංග කලා වස්ත‍්‍රාභරණවලින් සුසැදිව පාත‍්‍ර වර්ගයා විසින් ඉදිරිපත් කරන ගැඹුරු රූපණය තරම්ම වැදගත් යැයි මම සිතමි.

පේ‍්‍රක්ෂකයාගේ අපේක්ෂාව රැගෙන 2020 වසරේදී මුල් වතාවට පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙලක් සංවිධානය වන්නේද කොවිඩි වසංගතය හේතුවෙන් නාට්‍යකරුවන් සහ පේ‍්‍රක්ෂකයා වේදිකාවෙන් ඈත්ව සිටි යුගයකයි. එවකට ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා මැදිහත්ව කලා මණ්ඩලයේද සහයෙන් පේ‍්‍රකෂා නාට්‍ය උළෙල කරලියට ගෙනා අයුරු තවමත් අපේ මතකයේ තිබේ. නමුත් වසරක් වැනි කෙටි කාලයක් තුළ නොපෙනෙන වෛරසයක් විසින් මේ ලෝකයේම පුරුදු ජීවන රටාව වෙනසකට ලක්කර තිබෙන්නේ මනවයාගේ චින්තනය හා බැඳි කලාවටද පහරක් එල්ල කරමිනි. මේ රටේ සමාජ ආර්ථික දේහයද කලා ක්ෂේත‍්‍රයද මේ නිසා පැවතියේ පෙර නොවූ විරූ කඩා වැටීමකි. එවැනි අවස්ථාවක රංග ශාලාවකට ජනතාව එක්රැස් කිරීම යනු මහත් අභියෝගයකි. වේදිකාවේ නාට්‍යක් නොපෙන්වා නළු නිළියන්ද දෙවසරකට වඩා වැඩි කාලයක් වේදිකාවෙන් ඈත්ව සිටියේ සුන් වූ බලාපොරොත්තු සමගිනි. මෙකී ප‍්‍රබල හේතු දෙක මේ රටේ නාට්‍ය කලාව සම්බන්ධ වගකිව යුතු ආයතනවලට ඒත්තු ගන්වමින් සිටියේ වේදිකා නාට්‍ය කලාව තවදුරටත් මේ රටේ පැවතිය යුතු නම් ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් කළයුත්තේ මෙවැනි කලෙක යන්නයි. කලාකරුවන්ගේ සිත් තුළ කැකෑරුණු මේ පණිවිඩය නිසි කලට තේරුම් ගත්තේ ටවර් හෝල් රඟහල පදනමයි. නමුත් එය සාර්ථක නාට්‍ය උළෙලක් දක්වා ගෙනයෑමට පැවති අභියෝග බොහෝ කලාකරුවන් පවා තවමත් නොදනී. කොවිඞ් හේතුවෙන් ඒ වනවිට වාර්තා වූ මරණ සංඛ්‍යාව දහතුන් දහස ඉක්මවා ගොස් තිබිණි. සීඝ‍්‍ර පැතිරීමක් පෙන්වන කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදය ද ලංකාවේ සතරදික්භාගයෙන් වාර්තා විණි. ඒ වනවිට ටවර්හෝල් රඟහල පදනමේ සේවකයන් පවා සමාජ දුර්ථභාවය නැමති සෞඛ්‍ය නිර්දේශ මත සේවයේ යෙදුණේ නිවෙස්වල සිටය. නාට්‍ය උළෙලක් පැවැත්වීමේ සංවිධාන කටයුතු දුෂ්කර කාර්යක් වීමට බලපෑ එක් හේතුවක් වූයේ එයයි. මේ සියලූ අභියෝග මැඩගෙන පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල සංවිධානය කිරීමේ වගකීම ටවර් හෝල් පදනමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ඞී. එම්. එස්. දිසානායක මහතාගේ උර මතට වැටිණි. ඔහු ඒ අභියෝගාත්මක කාර්යට උරදුන් අයුරු විග‍්‍රහ කරන්නේ මෙසේය.

දුක කඳුළ මතින් පිටපත ලි‍යැවුණු ප්‍රේක්ෂා රඟමඩල

‘‘නාට්‍ය උළෙල පටන් ගන්න සාකච්ඡා මේසයට එනකොටත් අපිට විසඳගන්න බැරි ලොකු ප‍්‍රශ්න ටිකක් තිබුණා. ඒ වෙනකොට ටවර් හෝල් රඟහල, එල්ෆින්ස්ටන්, රුක්මණී දේවි රඟහල, මේ ඔක්කම වසර දෙකක් විතර වසා දමා තිබුණේ මේ දෙවසරක පමණ කාලය තුළ අපට ඒවයෙන් කිසිදු ආදායමක් ලැබිල තිබුණේ නෑ. මේ නිසා නාට්‍ය උළෙල පවත්වන්න හිතුවත් ඒ අවස්ථාවේ අපිට සත පහක මුදලක් තිබුණේ නෑ. ඒ වෙනුවට ලක්ෂ තිහක විතර හිඟ බිල් ප‍්‍රමාණයක් අපි වෙනත් ආයතනවලට ගෙවිය යුතුවයි තිබුණේ. සාමාන්‍යයෙන් ටවර් හෝල් එකෙන් වැඩසටහනක් කරන්නෙ ඒ සඳහා අවශ්‍ය සියලූම මුදල් උපයාගෙන. ඒක තමයි මේ ආයතනයේ ස්වභාවය. ඒත් එම අවස්ථාවේ අපිට ඒ හැකියාව නොතිබුණ නිසා මූල්‍ය ආයතනවලින් මේකට අනුග‍්‍රහයක් ලබාගන්න උත්සහ කළා. ඒත් ඒ වෙද්දි බැංකු ණය පොළී අනුපාතය පහළ දාලා ණය ලබාගැනීමේ වාරික ප‍්‍රමාද කරල තිබුණ නිසා ඔවුන්ගේ ආදායම් තත්ත්වය වැටිල තිබුණේ. නමුත් ඔවුන් දිය හැකි යම් අනුග‍්‍රහයක් දෙන්න පොරොන්දු වුණා. ව්‍යාපාරික ප‍්‍රජාව හිටියේ කිසිවක්ම කළ නොහැකි තත්ත්වයක. මේ ගැන අපි අපේ අමාත්‍ය විදුර වික‍්‍රමනායක මැතිතුමා සමග පැවති සාකච්ඡාවේදී යෝජනාවක් ආවා ටවර් හෝල් රඟහල පදනම අයත්වන බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් මූල්‍ය ප‍්‍රතිපාදන ලබාගෙන මේ වැඩසටහන කරමු කියලා. ජාතික කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශී‍්‍ර ලංකා නාට්‍ය උපදේශක සභාව මේ කාර්යට මැදිහත් වෙන්නෙ එතනදි. එම ආයතන අතරින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නාට්‍ය සඳහා යන වියදමින් නව ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් අපිට ලබා දුන්නා. ජාතික කලා මණ්ඩලයත් රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක් ලබාදුන්නා. මේ නිසා හැම නාට්‍යක් වෙනුවෙන්ම මුදලක් ගෙවීමේ හැකියාව අපිට ලැබුණා. අපි තීරණය කළා අපේ යටතේ තියන එල්ෆින්ස්ටන් සහ ටවර් හෝල් රඟහල මේ සඳහා ලබාදෙන්න. දින දහයක් මේ රඟහල් දෙකේ වටිනාම පහළොස් ලක්ෂ හැත්තෑ තුන්දහසක්. ඒත් එක්කම නාට්‍ය උළෙලෙ ටිකට් පත්, පෝස්ටර්, රඟහල දක්වා නාට්‍යකරුවන්ගේ රඟ වස්ත‍්‍රාභරණ ප‍්‍රවාහනය වැනි කටයුතු සඳහා අවශ්‍ය හත්ලක්ෂයක පමණ මුදල බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලබාගත්තා. ඒත් එක්කම අපිට ලොකු ශක්තියක් වුණේ ‘දිවයින පුවත්පත’ සහ ජාතික රූපවාහිනිය මාධ්‍ය අනුග‍්‍රහය ලබා දීමට ඉදිරිපත් වීම. එම ආයතන දෙක ප‍්‍රමුඛව අනෙකුත් පුවත්පත් සහ රූපවාහිනි ආයතන අපට මේ කටයුත්ත පේ‍්‍රක්ෂකයා අතරට ගෙන යන්න සහය වුණා.’’

දුක කඳුළ මතින් පිටපත ලි‍යැවුණු ප්‍රේක්ෂා රඟමඩල

උළෙල සඳහා අවශ්‍ය මූල්‍ය ස්ථායිතාව එසේ සපුරා ගත් පසු නාට්‍ය තෝරාගැනීමේ දුෂ්කර කාර්යට ඔවුන් මුහුණ දුන්නේය. ඒ සඳහා නිර්ණායක කිහිපයක් ඔවුන්ගේ සැළකිල්ලට ලක්විය. එහිදී දේශීය නාට්‍ය කලාවේ ප‍්‍රගමනයට දායක වූ නාට්‍යකරුවන් වන මහැදුරු සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනයන් වැනි නාට්‍යකරුවන්ගේ නිර්මාණවලට ප‍්‍රමුඛත්වය ලබාදුන්නේය. එසේම කොවිඞ් වසංගතයට පෙර සාර්ථකව ප‍්‍රදර්ශනය වෙමින් පැවති නාට්‍යය, පාසල් විෂය නිර්දේශයට ඇතුළත් නාට්‍ය, වසර පහක් ඇතුළත රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මානිත නාට්‍ය සහ කොවිඞ් වසංගතය ආරම්භ වීමට පෙර නිෂ්පාදිත එහෙත් පේ‍්‍රක්ෂකයාට නැරඹීමට නොහැකි වූ නාට්‍ය මෙම තෝරාගැනීමේදී සැළකිල්ලට ලක්විය. එම තෝරා ගැනීමේදී නාට්‍ය 50 ක පමණ දිගු ලැයිස්තුවක් පළමු වටයේදී තෝරා ගැනිණ. මෙම තෝරා ගැනීමේ මණ්ඩලය රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ වසන්ත විට්ටච්චි සහ ප‍්‍රසන්නජිත් අබේසුන්දරද, ජාතික කලා මණ්ඩලයේ ශ‍්‍රියන්ත මෙන්ඩිස් සහ ටවර් හෝල් රඟහල පදනමේ සම්පත් පෙරේරාගෙන් සමන්විත විය. ඔවුන් අවසානයේ මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ මනමේ සිට අශෝක හඳගමගේ ඇන්ටික් කඬේ මරණයක් දක්වා නාට්‍ය විස්සක් උළෙල සඳහා තෝරා ගත්තේය. නට්‍ය උළෙල ඇරඹීම සඳහා පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙලට කදිම නිමිත්තක් සකසා දුන්නේ සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයයි. මනමේ වේදිකාගතව වසර 65 ක් සපිරෙන්නේද මේ වසරටය. නාට්‍ය උළෙල ආරම්භයේම දෙසැම්බර් එකොළොස් වැනිදා මනමේ වේදිකාවට ගෙන ඒමට තීරණයවී ඇත්තේ එම හේතුවයි.

දැන් උළෙලේ සංවිධාන කටයුතු සූදානම්ය. පේ‍්‍රක්ෂකයාට දරාගත හැකි රුපියල් 300ක වැනි මිලකට ප‍්‍රවේශපත් අළෙවි කිරීමටද තීරණය විණි. නමුත් නාට්‍යකරුවන් හමුවට පැමිණියේ කිසිදාක නොසිතූ අභියෝගයකි. දෙවසරක කාලයක් වේදිකාවට පය නොතැබූ රංගන ශිල්පීන්ට නාට්‍යවල දෙබස් පවා අමතක වී තිබිණ. ඔවුන්ට පුහුණු වීම සඳහා පැවති රංග ශාලාද සමාජ දුරස්ථභාවය සහ නිරෝධායන නීති නිසා වසා දමා පැවතිණ. මේ නිසා නාට්‍යකරුවන්ට අවශ්‍ය පුහුණුවීම් සඳහා පහසුකම් ලබාදීමේ වගකීමද ටවර් හෝල් රඟහල පදනමේ උර මත වැටිණ. එම ගැටලූව එසේ විසඳුම් ලැබෙද්දී තවත් පැත්තකින් ඇතැම් නිර්මාණවල ප‍්‍රධාන චරිත නිරූපණය කළ ජයලාල් රෝහණ, සම්පත් තෙන්නකෝන්, සරත් චන්ද්‍රසිරි වැනි කලාකරුවන් ජීවිතයෙන් සමුගෙන සිටියේය. ජයන්ත චන්ද්‍රසිරිගේ හංකිති දහතුන නාට්‍යය උළෙලට තෝරා ගත්තද ජයලාල් රෝහණ වෙනුවට ආදේශක රංගන ශිල්පයෙක් ඒ වන විට පුහුණු වීම් කර නොතිබුණු නිසා ජයන්ත චන්ද්‍රසිරි විසින් එම නාට්‍ය උළෙලෙන් ඉවත් කර ගත්තේය. සීමිත කාලයක් තුළ කලාකරුවන්ට පේ‍්‍රක්ෂා රස ගැන්වීමට හැකි වූයේ එහෙමය.

දුක කඳුළ මතින් පිටපත ලි‍යැවුණු ප්‍රේක්ෂා රඟමඩල

සැබවින්ම පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල යනු වියළි කතරට වැටුණු සිහිල් වැහි පොදක් වැනිය. ටවර් හෝල් රඟහල පදනම සෑම දර්ශන වාරයකම ප‍්‍රවේශපත්වලින් ලැබූ ආදායම පවා ලබා දුන්නේ එම දර්ශන පැවැත් වූ නාට්‍යකරුවන්ටය. ඒ ප්‍රෙක්ෂා නාට්‍ය උළෙලේ නාට්‍යක් සඳහා ලබාදුන් රුපියල් හැත්තෑපන්දහසක මුදලට අමතරවය. දින දහයක් පුරා පැවති පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල අවසන් වන විට රුපියල් පනස් පන් ලක්ෂයක මුදලක් නාට්‍යකරුවන් අතට ලබාදීමට ටවර් හෝල් රඟහල පදනමට හැකිවිය. මෙවැනි අසීරු කාලයක දේශීය නාට්‍ය කලාවට එවැනි උත්තේජනයක් ලබා දීම පසුපස සිටි අනෙක් පාර්ශ්වය වූයේ මෙරට වේදිකා නාට්‍ය ලෝලී සහෘද කැළය. දින දහයක් පුරා ඔවුහු එල්ෆින්ස්ටන් සහ ටවර් රඟහලේ රොද බැඳ සිටියහ. එය අපේ වේදිකා නාට්‍ය කලාවේ හෙට දවස පිළිබඳ වූ සුබවාදී පණිවිඩයකි.

ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍ය සහ ප‍්‍රවර්ධන සහකාර අධ්‍යක්ෂ චන්දන විජේසුන්දර බණ්ඩාර මහතා මෙම ලිපිය සැකසීමේදී ලබා දුන් සහයට තුති.

තිස්ස ගුණතිලක
ඡායාරූප – සුජාතා ජයරත්න,
ජූඞ් ඩෙන්සිල් පතිරාජ, සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment