දුක මිස දුක්ඛ සත්‍ය තේරුම් ගත නොහැකි ඇයි?

498

බුදු කෙනකුන් පහල වන්නේ සත්ත්වයා සදාකාලික දුකින් මුදා ගැනීමට විනා තාවකාලිකව දුකින් මුදා  ගැනීමට නොවේ. මිනිසා ඇතුළු සත්ත්වයන් තාවකාලිකව දුකින් මුදා ගැනීමේ කාර්යභාරය හිමිව ඇත්තේ මවුපියන්, පාලකයන් හා නායකයන්ටය. මිනිස් සමාජයේ නම් වෛiවරු, ගුරුවරු, ආරක්‍ෂක සේනා, කර්මාන්තකරුවන් ආදී විවිධ ක්‍ෂේත්‍රවල බොහෝ දෙනකු කරන්නේ ද මිනිසා තාවකාලිකව දුකින් මුදා ගැනීමය.

 චතුරාර්ය සත්‍ය දේශනාව ඇතුළත් ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙත් පටිච්ච සමුප්පාද දේශනාවේදීත් වෙනත් බොහෝ සූත්‍ර දේශනාවලත් දුක්ඛ සත්‍ය විවිධාකාරයෙන් විස්තර කොට ඇත.

 ඉපදීම – ජරාව – ව්‍යාධිය – මරණය – අප්‍රියයන් හා එක්වීම ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති දෙය නොලැබීම, සෝක – පරිදේව – දුක්ඛ – දෝමනස්ස උපායාසය ආදී වශයෙන් සත්ත්වයන් විඳින්නාවූ දුක්වල විවිධ ස්වභාවයන් විස්තර කර ඇත.

 මේ හැම දුකක්ම බුදුන්වහන්සේ ලොව පහල වූ මෙයට අවුරුදු 2546කට පෙර පැවැති දුක් නොවේ. එයට පෙරත් ,අදත්, මතුවටත් පවතින්නාවූ සදාකාලික දුක් සමුදායන්ය. ඒ හැම දුකක්ම පටන්ගන්නේ ඉපදීම නම් වූ දුක මුල්කරගෙනය. එය ලෝකයේ කුමන රටක, ප්‍රදේශයක කුලයක, තරාතිරමක පංචස්කන්ධයක් සහිතව ඉපදුනොත් මිනිසුන්ට පමණක් නොව කුමන සතකු වී ඉපදුනත් ඒකාන්ත වශයෙන්ම උපත නිසාම උරුම වන්නාවූ දුක් කන්දරාවන්ය.

 සත්‍ය එය වුවත් බොහෝ දෙනකුට මෙය වටහා ගැනීමට නොහැකි වී ඇත. එයට හේතුව බුදුන් වහන්සේම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පැහැදිලි කර දී ඇත්තේ මෙසේය. “ඉදං ඛො පන භික්කවේ දුක්ථ සමුදයං අරිය සච්චං යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා නත්‍රතත්‍රාභිනන්‍දිති සෙය්‍යථිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. “මහණෙනි, නැවත නැවත ඉපදීම ඇතිකරන්නාවූ නන්‍දිරාගය හා එක්වූ ඒ ආත්ම භාවයෙහි ඇලෙන්නාවූ ආශාවන් වේද ඒ කාම තණ්හා – භව තණ්හා විභව තණ්හා යන ආශාවන් නිසාම දුක් ඉපදීම වනාහි දුක්ඛ සමුදයාර්ය සත්‍ය වෙයි.

 සමුදය යන්නෙහි අදහස දුක් සමුදායක් ඉපදීමට හේතුව යන්නය. එම හේතු දෙයාකාරය. එනම් නන්දිරාගසහගතා හා නත්‍රතත්‍රාභිනන්‍දනි යන ආකාර දෙකයි. සතුටට හේතුවන ඇලීම නන්දිරාග සහගතාවය. උපන් උපන් ආත්ම වලදී එහි ඇලී බැඳී සතුටු වීම තත්‍රතත්‍රාභිනන්‍දිනි යන්නෙහි තේරුම වේ. මෙකී මූලික ලක්‍ෂණ දෙකෙන් යුත් තණ්හාව ප්‍රභේද වශයෙන් තුනකි. එනම් කාම තණ්හා, භව තණ්හා හා විභව තණ්හාවයි.

 ඉහත සඳහන් දුක් ඇතිවී මේ ආකාර හා එහි ලක්‍ෂණ හා ප්‍රභේද ගැන අවබෝධයක් නැති ස්ත්‍රී පුරුෂ, බාල, තරුණ, මහලු සෑම කෙනෙක්ම සැප යැයි සිත සිතා මේ හඹා යන්නේ දැනට විදින දුක මදිවාට ඊටත් වැඩි දුකක් සොයාගෙන බව අද බොහෝ දෙනකුට තේරුම් ගැනීමට නොහැකිව ඇත.

 වැඩි දෙනකු තමන් අද සිටින තත්ත්වය ගැන හැම අතකින්ම සෑහීමකට පත්ව නැත. ලද දෙයින් සතුටුවීමේ හැකියාව නැත. නොලද දේවල් ළඟ, වැඩි සැපතක් සතුටක් ඇතැයි සිතා ඒවා පසුපස එලවයි. එසේ නොලද සතුට සොයා යන ගමනේදී විඳින දුක් පීඩා අපහාස, උපහාස දුක් ලෙස ගණන් නොගනී. ඒවා වෙර වීරිය, උනන්දුව උත්සාහය ආදී යහපත් වචනාර්ථවලින් හඳුන්වාදීමක් කරගනී. අපහාස උපහාස එල්ල උවහොත් ඒවා විරුද්ධවාදීන් ඉරිසියාවට තරහට කරන කියන දේවල් ලෙස සලකයි. මෙහිදී බොහෝ දෙනකුට සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම යන ත්‍රිවිධ කාය දුශ්චරිතයන්ගෙන් වෙන්වී වැරදි මාර්ග වලින් බැහැරව නිවැරදි ජීවන මාර්ග සොයා නොගැනීම කරන අකුසල් නැතිකොට අලුතින් අකුසල් රැස් නොකර ජීවත් වීමට වෑයම් නොකිරීම උපන් කුසල් දියුණු කරමින් නූපන් කුසල් උපදවමින් ජීවත් නොවීම ආදී නිවැරදි මාර්ගයක ගමන් නොකිරීම පැහැදිලිවම දක්නට ලැබෙන දෙයකි.

 චතුරාර්ය සත්‍ය නියමාකාරයෙන් අවබෝධ කරගැනීමට නම් බුදුන් වහන්සේ විසින් අවබෝධ කරගෙන අප වෙත අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කොට වදාළා වූ තිපරිවට්ටයයි (තුන්වටය) හා එක් සත්‍යයකට තුන බැගින් සත්‍ය සතරට දේශනා කළා වූ දොළොස් ආකාරය හෙවත් ද්වාදසාකාරය තේරුම් ගත යුතුමය. මේ ගැන අවබෝධයක් නැතිවීම නිසා මතුපිටින් ඉඳුරන් නිසාම දැනෙන දුකත් එය තාවකාලිකව නැතිකර

 ගැනීමෙන් විඳින සැපත් බොහෝ දෙනකු දුක සැප ලෙස භාර ගනිමින් අනන්ත අප්‍රමාණ දුක් වේදනාවන් විඳිමින් මැරි මැරී ඉපදෙමින් නිමක් නැති සංසාර ගමනක නිරතව සිටින බව වටහා නොගනී.

 මෙම යථාර්ථය තේරුම් ගැනීමට නම් ඥාණවන්තයකුම විය යුතුය. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් චතුරාර්ය සත්‍ය හතරම ත්‍රිවිධාකාර ඥානයට අනුව දොළොස් ආකාරයකින් අවබෝධ වීමෙන් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නා හට දුක පිළිබඳ සත්‍ය අවබෝධ වනු ඇත. ඉන් පසුව එම දුකින් මිදීමට නම් එය ඇතිවන හේතුවත් එම හේතු නැති කිරීමෙන් දුකින් මිදීමට හැකි බවත් තේරුම් ගෙන බොහෝ දුෂ්කරතා අපහසුකම් මැද්දේ උවත් අරිඅටඟි මග හෙවත් මැදුම් පිළිවෙතේ ජීවන රටාවකට අනුගත වෙයි.

 1. දුක්ඛ සත්‍ය ඥානය යනු – දුක් හඳුනා ගැනීමට ඇති සිතීමේ හැකියාව ඇතිවීම

 දුක්ඛ කෘත්‍ය ඥානය යනු – ඉපදෙන හැම කෙනකුටම දුක උරුම බව පිරිසිදුව දැනගැනීමට ඇති හැකියාව

 දුක්ඛ කෘත ඥානය යනු – ඉපදුනොත් දුක මිස කොතැනකවත් සැපක් නැති බව අවබෝධ කර ගත් ඥානය

 2. දුක්ඛ සමුදය සත්‍ය ඥානය යනු – දුක් ඇතිවන්නේ තෘෂ්ණාව නිසා බව දැනෙන ඥානය

 දුක්ඛ සමුදය කෘත්‍ය ඥාණය යනු – එම තෘෂ්ණාව පහකිරීමෙන් දුක නැති වන බව තේරුම් ගන්නා ඥානය

 දුක්ඛ සමුදය කෘත ඥානය යනු – තෘෂ්ණාව පහකර දැමීමට හැකි ඥානය

 3. නිරෝධ සත්‍ය ඥානය යනු – මේ නිවන යැයි තේරුම් ගැනීමේ ඥානය

 නිරෝධ කෘත්‍ය ඥානය යනු – මෙය අවබෝධ කළ යුතු යැයි කියා ඇතිවන ඥානය

 නිරෝධ කෘත ඥානය යනු – ආර්ය සත්‍ය අවබෝධ කළෙමැයි දැනෙන ඥානය

 4. මාර්ග සත්‍ය ඥානය යනු – මේ නිවනට මග යැයි දැනගන්නා ඥානය

 මාර්ග කෘත්‍ය ඥානය යනු – එය වැඩිය යුතු යැයි

 දැනගන්නා ඥානය

 මාර්ග කෘත ඥානය යනු – එය වඩන ලදැයි දැනගන්නා ඥානය

 මෙයාකාරව චතුරාර්ය සත්‍යයේ තිපරිවට්ටය හා

 ද්වාදසාකාරය තේරුම් ගැනීමට හැකියාව ඇත්නම් ඔහු සැබැවින්ම ප්‍රඥාවන්තයකු වේ. කෙතරම් උගත් පණ්ඩිතකම්, උපාධි, ගෞරව උපාධි ඇතත් සදාකාලිකව පවත්නාවූ දුක නමැති සත්‍යයත් එය ඇතිවන අයුරුත් එය නැතිකිරීමත්, නැති කරන මාර්ගයත් අවබෝධ කර ගැනීමට නොහැකිනම් ඔහු ඥානවන්තයකු නොවන බව සෑම බෞද්ධයකුම තේරුම් ගත යුතුව ඇත. එම අවබෝධය නොමැතිව කෙතරම් ධන නිධාන බව බෝග සම්පත් හරි හම්බ කරගෙන මොන පදවි ඨානාන්තර දැරුවත් ඒ සියල්ලම අවසානයට දුකක්ම උරුම කර දෙන බව තේරුම්ගත යුතුය.

 කොබ්බෑවල සුමනදාස වීරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment