දුනු ඊතල රැගෙන වන්නිලැත්තන් පාර්ලිමේන්තු එන දිනය

718

ගල්ඔය ජාතික වනෝiාන සීමාවේ පිහිටි සේනානායක සමුද්‍රයෙන් මසුන් ඇල්ලීමේ චෝදනාව මත බිබිලේ වැදි නායක ඩී. එන්. බී. සුදුබණ්ඩා ඇතුළු ගෝලයන් සිව්දෙනකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැද්දන්ට ආදිවාසීන් යැයි කීමේ පුරුද්දක් මේ රටේ පවතී. නූතන භාෂා විශේෂඥයන් එවැනි වචන මාරුවක් කර ඇත්තේ වැද්දා යන නම අපහාසාත්මක යෙදුමක් ලෙස සලකමිනි. එනිසා ඔවුහු වැදි ජනතාවට ආදිවාසීන් යැයි කියති. සිංහලයකුට තමන් සිංහලයකු යැයි කීම තරම් වෙනත් ආඩම්බරයක් නැත. දෙමළ ජාතිකයකුට ද සිය ජාතිය ඉමහත් ගෞරවයකි. ඒ ආකාරයෙන්ම වැද්දන්ට ද ස්වකීය වැදි සම්භවය අප්‍රමාණ ගෞරවයට හේතුවකි. ඒ නිසා වැද්දන්ට ආදිවාසීන් යැයි නොකියා වැද්දන් යනුවෙන්ම හැඳින්වීමට අප කල්පනා කළෙමු. මේ රටේ භාෂා විශාරදයෝ මෙවැනි විකාර වැඩ විටින් විට කරති. ඔවුහු වල් අලියාගේ නම වන අලියා ලෙස මාරු කළහ. මෙසේ නම මාරු කරන්නේ නම් අලියාට ජංගියකුත් ඇන්දවිය යුතුය. එසේම ශතවර්ෂාධික කාලයක් තිස්සේ ‘දැනුවත්’ යනුවෙන් යොදන ලද පදය ‘දැනුම්වත්’ යනුවෙන් වෙනස් කර තිබේ. භාෂාව වෙනුවෙන් කළ හැකි දේවල් මීට වඩා තිබේ. එසේ නොකර අපේ උගත්තු ගොන්වැඩම කරති. මෙතැන් සිට බිබිලේ වැදි නායකයා සහ වැදිගෝලයන් සිව්දෙනාගේ කතන්දරය දෙසට හැරෙමු. අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ පිරිස උසාවියට ඉදිරිපත් කරන ලදහ. ඉන්පසු වැදි නායකයා මුදාහැරීමටත් ඉතිරි වැද්දන් සිව්දෙනාට ලක්‍ෂ හතරක ශරීර ඇප බැඳීමටත් නියම වී ඇත. මහෙස්ත්‍රාත්තුමාගේ තීරණය කෙරෙහි අප තුළ කිසිදු හබයක් නැත. එතුමා නීතිය ක්‍රියාත්මක කර ඇත. වැද්දන් පස්දෙනා අත්අඩංගුවට ගත් වනජීවී නිලධාරීන් ගැන ද අප තුළ වෛරයක් නැත. ඔවුන් කරන්නේ රස්සාවය. එහෙත් ශ්‍රී ලංකාවේ වනෝiාන සම්බන්ධයෙන් තිබෙන නීතිය ටිකක් අවුල් බව අපට පෙනේ. අප සාකච්ඡා කරන්නේ ඒ ගැනය.

ගල්ඔය ජාතික වනෝiාන සීමාව පාරම්පරික වැදි නිජබිමකි. මේවා වසර දහස් ගණනක් තිස්සේ මේ රටේ වැද්දන් කෑම සොයා ගිය තැන්ය. වැද්දා යනු ජීවිතය සහ මරණය අතර ක්‍රීඩා කරන කෙනෙකි. මීට ශත වර්ෂයකට පෙර ඔවුන්ට තිබූ ලොකුම තර්ජනය වූයේ වනසතුන්ගේ ප්‍රහාරයන්ය. මීට අවුරුදු 300 කට කලින් මේ රටේ සිටි වැද්දෝ නිට්ටෑවන් නමැති අර්ධ මනුෂ්‍ය කොට්ඨාසයේ තර්ජනයට බලවත් ලෙස ලක්ව සිටියහ. නිට්ටෑවා යනු අඩි 2 1/2 ක් පමණ උස කකුල් දෙකෙන් සිටිගෙන සිටින වානර පෙනුමක් ඇති මනුෂ්‍ය වර්ගයකි. ඔවුන් සිටියේ හෙළුවෙන්ය. රංචු පිටින් ගැසෙන නිට්ටෑවෝ වැද්දකු තනි මගක යන විට ඒ මිනිහා අල්ලා මරාගෙන කෑහ. සමහර විට එක නිට්ටෑවෙක් වැද්දාගේ ඇඟෙන් මස් කැබැල්ලක් කඩාගෙන කනවිටත් වැද්දාට පණ තිබුණි. අද වනවිට වනජීවී නිලධාරීන්ගෙන් සහ ගංජා හේන්කාරයන්ගෙන් වැද්දන්ට ලොකු තර්ජනයක් තිබේ. වැදි ජනයා වගා කරගෙන කන්නේ නැත. ඔවුන්ගේ ප්‍රධාන ආහාර සම්පාදන ක්‍රමය වන්නේ දඩයම ය. දඩයම් කිරීම බරපතල පාපයක්වීමට ඉඩ තිබේ. එහෙත් වැදි ජනතාව පුරුදු වූ ජීවන ක්‍රමය ඒ බැවින් ඒක අභියෝග කිරීමට කාටවත් බැරිය. ආණ්ඩුව විසින් අභයභූමි ලෙස වෙන් කරගෙන සිටින භූමිය වැදි ජනතාවගේ සහ වනසතුන්ගේ පාරම්පරික භූමිය වේ. මෙම භූමිය තුළ රඟන්නට අද ඉඩ ඇත්තේ ‘ඕෆ් රෝඩ්’ වාහනවල එන ධනවත් පුතුන්ට පමණි.

ශ්‍රී ලංකාවේ අලින්ට සිදුවී ඇත්තේ ද මේ සන්තෑසියමය. ගොවි ජනතාව වනයට ගොස් අලින් ඇතුළු වන සතුන්ට අයත් භූමිය ශුද්ධ බුද්ද කර ඒවා වටා දඬු වැටවල් ගසා හේන් ගොවිතැන් කරන්නට පටන් ගත්හ. මෙවිට අලින්ගේ සාම්ප්‍රදායික වන මං සහ ආහාර සහිත භූමිය අහිමි විය. එවිට පිස්සු වැටුණු අලි ගම්වලට පැන යකා නටන්නට පටන් ගත්හ. මේ නිසා අලින් සහ මනුෂ්‍යයන් අතර විශාල යුද්ධයක් පටන් ගත්තේය. අදත් දවසකට අඩුම ගණනේ අලි දෙදෙනකුවත් මරා දමනු ලැබේ. මෙහිදී සිදුවන්නේ තම පාරම්පරික වාස භූමියට එන අලින්ට එම වාසභූමියේ අලුත් පදිංචිකරුවන් වන ගොවි ජනතාව විසින් වෙඩි තබනු ලැබීමය. අලියාට තුවක්කුවක් නැත. ඌට ඇත්තේ හොඬවැල පමණි. හිටපු ගමන් ඌට හොඳ දල දෙකකුත් තිබේ. අලියාට වෙඩි තබා ඌ මරන ගොවියා දල දෙකත් කපාගෙන යයි. මෙය සමාන වන්නේ ගොවියාට වෙඩි තබා මරා දත්ටික ගලවාගෙන යෑමටය.

ඇමරිකාව තම රට විශාල කරගත්තේ ඒ රටේ ජීවත්වූ සාම්ප්‍රදායික ගෝත්‍රික ජනතාව වන රතු ඉන්දියානුවන් මරාදමා එම භූමිය අල්ලා ගැනීමෙනි. ඇස්ටෙක් සහ ඉන්කා වැනි අති පැරණි මනුෂ්‍ය ගෝත්‍රවලට අයත් රතු ඉන්දියානු ජනතාව මේ ලෝකයේ පැරණිතම අමිශ්‍ර ජාන සහිත මනුෂ්‍ය කොට්ඨාසයකි. ශ්‍රී ලංකාවේ වැදි ජනතාව තුළ ද ඇත්තේ මෙවැනි අමිශ්‍ර ජානය. වැදි ජනතාව යනු සිංහලයන් මෙන් ඉන්දියාවෙන් සංක්‍රමණය වූ කොටසක් නොවේ. ලෝකයේ ප්‍රථම මනුෂ්‍ය කොට්ඨාස සෝමාලියානු භූමියේදී පහළ වීමෙන් පසු ලෝකයේ වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වූහ. වැදි ජනතාව ද එසේ සංක්‍රමණය වූ මුල් මනුෂ්‍යයන්ගෙන් පැවැතෙන පිරිසකි. අද මේ මිනිසුන්ට කන්න බොන්න නැත. ඔවුන්ගේ සාම්ප්‍රදායික දඩ බිම් සියල්ලම ආණ්ඩුවේ ක්‍රවුන් ලෑන්ඩ් බවට අද පත්ව තිබේ. මේවාට රිංගා දඩයම් කිරීමට ගියොත් වැද්දන්ට සිදුවන්නේ වෙඩි කන්නටය. නොඑසේ නම් වනජීවී නිලධාරීන්ට හසුවී හිරේ යන්නට ය. මේ සියලු කරුණු සලකා වැදි ජනතාවගේ ආහාර සපයා ගැනීමේ අයිතිවාසිකම සම්පූර්ණ කර දීමට සහ ආරක්‍ෂා කර දීමට රජය පියවර ගත යුතුය. නැතහොත් මතුයම් දවසකදී අලින් ගම්වදිනවාක් මෙන් දුන්නක් සහ ඊතලයක් රැගත් වැදි නායක වන්නිල ඇත්තන් පාර්ලිමේන්තුවට කඩාවැදීමට ඉඩ තිබේ. ඒ පාර්ලිමේන්තුව බැලීමට නොව වනජීවී ඇමැතිගේ ඇඟේ හිලක් විදීම පිණිස ය.

advertistmentadvertistment
advertistmentadvertistment