දුප්පත්කම නැති කරන්න හදන දුප්පතුන් වැඩි කරන ව්‍යාපෘති?

801

හාල් පොත – ජනසවිය – සමෘද්ධිය අලුත්ම එක අස්වැසුම

අස්වැසුමෙන් වත් දුප්පතුන්ට අස්වැසුමක් ලැබෙයිද?

දිළිඳුකම පිටුදැකීම දේශපාලන ප්‍රෝඩාවක්

සහනාධාර දිළිඳුකම

ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීම සඳහා අපූරු ඉතිහාසයක් ඇත. ඒ ඉතිහාසය පුරාම දිළිඳුකම සංඛ්‍යාත්මකව හා දිළිඳුකම දුෂ්ට බහුල ලෙස තවදුරටත් වර්ධනය වී ඇත. අඩු ආදායම්ලාභී හෝ රජයේ කිසියම් සහනාධාරයක් ලබාදිය යුතු පිරිස් සඳහා කලින් විවිධ නාමයන් භාවිතා කරනු ලැබීය. මුලින් තිබූ ප්‍රවේශය වූයේ සහනාධාර මොඩලයයි. මෙය හාල්සේරු 2, ඇට කිලෝ 8 ආදී දේශපාලන පොරොන්දු සමග බැඳී තිබුණි. බොහෝදුරට මැතිවරණ ජයග්‍රහණයන් සඳහා හාල්සේරු 2, ඇටකිලෝ 8, ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම හරහා මෙම සහනාධාර ප්‍රවේශයන් සඳහා කුමණ නිර්වචන ලබාදුන්නද මේවා තුළ සුවිශාල වූ දේශපාලන ප්‍රෝඩාකාරී අරමුණු හා බැඳී පවතී. මුලදී ලබාදුන් හාල්සේරු 2, ඇටකිලෝ 8 ආදී පොරොන්දු මත හා එබදු සහනාධාර පොරොන්දු මත ජනතාව ඒ ඒ පක්‍ෂ වලට තම මනාපය පළකරනු ලැබූ බව කවුරුත් දන්නා දෙයකි. මේ අනුව නිදහසින් පසු මුල් යුගයන්වලදී ලබාදුන් සහනාධාර දුප්පත් මිනිස්සුන්ගේ ඡන්දය කොල්ලකෑම ප්‍රමුඛ අරමුණ විය. දුප්පත් ජනතාවට හාල් සේරු 2 බැගින් හෝ ඇට කිලෝ 8 ක්දී දිළිඳුකම පිටුදැකීම නොවන බව දන්නා දේශපාලනය එබදු පොරොන්දු හරහා සිදු කෙරුණේ ඡන්දය කොල්ල කෑමකි.

ජනසවිය ප්‍රවේශය

ජනසවිය ප්‍රවේශයද දේශපාලන පොරොන්දුවකි. එහෙත් එහි යම් යම් දිළිඳුකම පිටුදැකීමේ ප්‍රවේශයක්විය. ජනසවිය වැඩසටහන දේශපාලන පොරොන්දුවක් ලෙස පැමිණෙන්නේ තරුණ අසහනය පිළිබඳ පිහිටවූ ජී එල් පීරිස් ජනාධිපති කොමිසමේ නිර්දේශ මතවේ. 1971 හා 88/89 කාලවල මෙරට තරුණ අසහනය හරහා විශාල අභ්‍යන්තර අරගල දෙකක් පැවැතිනි. ඒ හරහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවක ප්‍රධාන නිර්දේශයක් වූයේ තරුණ අසහනය දිළිඳුකම මත මූලිකව කේන්ද්‍රගත වන බවයි. ඒ අනුව දුප්පතුන් සඳහා සුවිශේෂවූ වැඩසටහනක අවශ්‍යතාවය එම වාර්තාව මගින් පෙන්වා දෙනු ලැබීය. එම නිර්දේශය මත ජනසවිය නිර්මාණය කිරීමට මුල් වූයේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාය. එතුමා මෙම නිර්දේශය හරහා ලොකු පොරොන්දු පත්‍රයක් ලබාදුනි. දුප්පතුන් සඳහා පැකේජයක් එහි විය. පරිභෝජනය සඳහා රු. 2500 ක බඩු මල්ලක්, 25,000 ක ඉතිරියක්, ආයෝජන කටයුතු සඳහා විවිධ දිරිදීම් ආදී දීමනා කොටසක් ජනසවිය ප්‍රවේශයේ විය.

ඕනෑම සමාජ පරිවර්තන හෝ දුප්පත්කම පිටුදැකීම හෝ ප්‍රතිසංස්කරණමය ක්‍රියාදාමයක මූලික වන්නේ එහි කළමනාකරණයයි. මෙය තේරුම්ගත් ප්‍රේමදාස මැතිඳුන් එම වැඩසටහන සහන මතවාදීව හා කළමනාකාරීව ඉහළ දැක්මක් හා පෝෂණයක් තිබූ සුසිල් සිරිවර්ධන මහතා ජනසවියේ මූලිකයා ලෙස පත්කරයි. පසුකාලීනව පැමිණ බොහෝ වැඩසටහන්වල අසාර්ථකත්වය සඳහා අදාළ විෂය සමග දැක්මක් හෝ කළමනාකරණ හැකියාවක් නොවූ නිලධාරීන් දේශපාලන වශයෙන් පත්කිරීම, ඒවා දියාරු හෝ අසාර්ථක ව්‍යාපාර විය. සුසිල් සිරිවර්ධන මහතා මේ සඳහා හඳුනාගනු ලැබුවේ ඔහුගේ මතවාදය හා හැකියාව සලකා බැලීමෙනි. විශේෂයෙන්ම මෙබදු වැඩසටහන් සහන නායකත්වය ලබාදීමට දැක්මක් සහිත කළමනාකරණයක් අවශ්‍ය බව එවකට ප්‍රේමදාස මහතා තේරුම් ගැනීම විශිෂ්ටය. බඩු මල්ලක් දීම හෝ 25000 ක ඉතිරියක් දීම වසර 2කට අදාළ දීමනා සීමාකිරීම ආදී දේශපාලන හා ආර්ථික කරුණු සමග සුසිල් සිරිවර්ධන මහතා දේශපාලන අරමුදල ගළපා ජනසවිය නිර්මාණය කරනු ලැබීය.

කතෘකාරක ප්‍රවේශය

ඕනෑම සමාජ සංවර්ධන ප්‍රවේශයක් හෝ ග්‍රාම සංවර්ධන ප්‍රවේශයක් හෝ ප්‍රතිලාභීන් සමග සිදුකරන ඕනෑම සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රවේශයක් කර්තෘ කාරක විය යුතුය. එනම් ප්‍රතිලාභියා හෝ ගැටලුවට මුහුණ දෙන පිරිස කර්තෘන් හෝ ප්‍රශ්නයේ අයිතිකාරයන් විය යුතුය යන්න ජන සවියේ පදනම විය. දුප්පත් කම සංවිධාන ශක්තිය මත තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ මූලිකයන් විය යුතුය යන මතවාදය හඳුන්වාදෙනු ලැබුවේ සුසිල් සිරිවර්ධන මහතාය. ඒ මහතා ඒ සඳහා එබදු දැක්මක් සහිත කළමනාකරණ කණ්ඩායමක් හඳුනාගනු ලැබීය. ඒ සඳහා පූර්ණ දේශපාලන ආශිර්වාදය විය. කඩාකප්පල් කිරීමක් සිදු නොවීය.

මෙබදු සමාජ සංවර්ධන ප්‍රවේශයක කර්තෘකාරක නොවන ප්‍රවේශය වන්නේ කර්මකාරකයි. එනම් ප්‍රතිලාභීන් කර්මය ලෙස සඳහා නිලධාරීන් හෝ දේශපාලකයන් තීරණ ගැනීමේ ක්‍රියාවලියක නිරතවීමයි.

ජනසවිය ඉතා ඉහළ කර්තෘකාරක ප්‍රවේශයක රඳවාගැනීමට කළමනාකරණ උත්සාහයක් විය. ජනසවිය ලාභීන් වෙනම සංවිධානය විය. එහි නිලධාරී සබඳතාවය වූයේ උදව්කරුවන් වශයෙන් පමණි. ජනසවිය සහාය කණ්ඩායම දුපපත් පවුල්වල නියෝජිතයන් විය. දිළිඳු පවුල් තෝරා ගැනීම ජනසවි ලාභීන්ගේම වගකීමක් විය. ග්‍රාම නිලධාරීන් මෙන් වෙනත් ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්ට ඒ සඳහා බලපෑම් කිරීමේ අයිතියක් නොවීය. දුප්පතුන්ගේ අන්‍යෝන්‍ය විශ්වාසය මත ඉතිරි කිරීමේ හා ණය ලබාගැනීමේ සංස්කෘතියක් මේ හරහා බිහිවිය. දුප්පතුන් තේරීම සඳහා නිර්නායක ඒ ඒ ප්‍රදේශවල පැවැති තත්ත්වයන් මත වෙනස් විය. ජාතික මට්ටමේ සමීක්‍ෂණ වලින් දිළින්දන් හෝ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රමයක් බිහිනොවීය. අම්පාරේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිර්නායක කොළඹ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිර්නායක වලින් වෙනස් විය. එම නිර්ණායක දුප්පතුන් විසින්ම ගොඩනගනු ලැබීය.

ජනසවිය අදියර ක්‍රමයක් යටතේ අත්හදා බලනු ලැබීය. එක් දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් පළමුව තෝරා ගැනුණි. එය තෝරා ගත්තේ ජාතික මට්ටමේ ඇති දිළිඳුකම පිළිබඳ පැවැති ප්‍රමාණාත්මක හා වෙනත් නිර්නායකද සලකා බැලීමෙනි.

සමෘද්ධිය

සමෘද්ධිය 1994 බිහිවූ රජයේ දේශපාලන පොරොන්දුවක් විය. ජනසවිය අත්දැකීම් පිළිබඳ ඉවක් තිබූ එම දේශපාලනය සමෘද්ධිය දීපව්‍යාප්තව සිදුකිරීමේ පොරොන්දුව අත දිගහැර ලබාදුනි. එය ඔවුන් විසින්ම ඡන්ද මැෂිම ලෙස අභිෂේක ගන්වනු ලැබීය. ඡන්දය දිනන්න නම් එබදු යාන්ත්‍රණයක් අවශ්‍ය බව එම දේශපාලකයෝ සිතූහ. සමෘද්ධිය සඳහා ද මේ පිළිබඳ පුළුල් දැක්මක් සහිතවූ ජනසවිය වැඩසටහනේ ප්‍රධාන හවුල්කරුවකුවූ මිත්‍රරත්න මහතා මේ සඳහා පත්කරනු ලැබීය. එතුමා ජනසවියේ තිබූ යම් යම් සාධනීය ලක්‍ෂණ සමෘද්ධිය සඳහා එක්කරනු ලැබීය. වර්තමානයේ පවතින බොහෝ සමාජ හා ආර්ථික සවිබලගැන්වීම් ජනසවියේද අත්දැකීම් මත මිත්‍රරත්න මහතා කැපවීමෙන් නිර්මාණය කරනු ලැබීය. ඒවා තුළ සමාජ සංවර්ධන, ග්‍රාම සංවර්ධන, පුද්ගල සංවර්ධන, කණ්ඩායම් සංවර්ධන, මත වාදයන් හා ප්‍රවේශයන් ඇතුළත් විය.

සමෘද්ධි දේශපාලන හස්තය

කෙසේවුවද සමෘද්ධිය ක්‍රමයෙන් දේශපාලන ග්‍රහණයට හසුවෙන ප්‍රවණතාවය වැඩිවිය. ඒ සඳහා මුල් වූයේ සමෘද්ධි නිලධාරි වාදයක් සමෘද්ධියට එක් කිරීමෙනි. සුසිල් සිරිවර්ධනලා, මිත්‍රරත්නලා හඳුන්වා දුන් බොහෝ කර්තෘකාරක වැඩසටහන් සඳහා අයිතිකරුවන් බවට සමෘද්ධි නිලධාරිවාදය පත්විය. ප්‍රතිලාභීන් තේරීම, ඔවුන්ට යම් යම් සහනාධාර ලබාදීම නිලධාරියා හරහා දේශපාලන හස්තයේ මැදිහත්භාවයද සමෘද්ධිය ගිලගනු ලැබීය.

සමෘද්ධි නිලධාරීන් පත්කිරීම දේශපාලන නිර්දේශ මතවිය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හෝ පොදු පෙරමුණු සංකල්පයේ දේශපාලනයේ පහසු ගොදුරක් බවට සමෘද්ධි නිලධාරියා පත්විය. 1994 සිට මේ දක්වාම එබදු දේශපාලඥයන් බලයට ඒමට සමෘද්ධිය නොදෙවෙනි කාර්ය භාරයක් ඉටුකරනු ලැබීය. මුලදී එය එස්. බී. දිසානායක විසින් පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ ඡන්ද මැෂිම විය. පසුව එම දේශපාලන සම්ප්‍රදායේ බොහෝ කෙරුමන් සමෘද්ධිය, එහි සම්පත්, එහි මානව සම්පත් වැඩි ප්‍රතිශතයක් දේශපාලනය සඳහා යොදාගනු ලැබීය. සැබැවින්ම සමෘද්ධියේ ප්‍රජාමූල සංවිධාන නිලධාරින් දේශපාලන ග්‍රහණයේ අතකොළුවකි. සමෘද්ධි, දිවිනැගුම ආදී පනත් මහින්ද ප්‍රජාවගේ මූලිකත්වය පිළිගත්තද ඔවුන් ඒ සඳහා සවිබල ගැන්වී නොමැත. සමෘද්ධියේ විශාල සම්පත් පොදියක් ඇත. බිලියන 200 කට අධික මූල්‍ය සම්පත් ඇත. ඒවා තාක්‍ෂණිකව හා නීත්‍යානුකූල ජනතාවගේ හා දුප්පත් සමෘද්ධිලාභීන්ගේ අරමුදල් හෝ වත්කම් වේ. කෙසේ වුවද සමෘද්ධිය ආරම්භයේ සිටම අසරණ සමෘද්ධිලාභියාත් දේශපාලන පත්වීම් ලැබූ නිලධාරියාත්, වෙනත් මූල්‍ය හා භෞතික සම්පත් අපූරුවට දේශපාලන වාසි සඳහා යොදා ගැනීමට පොදුපෙරමුණ සංකල්පයේ දේශපාලනයට හැකිවිය. පොදු පෙරමුණ තුළින් ජනිත වූ පොහොට්ටු ආදී දේශපාලන මතවාදය විසින්ද සමෘද්ධිය තවදුරටත් භෞතිකව හා මතවාදීව ඝාතනය කරනු ලැබීය.

ප්‍රජාමූල පදනම හා දේශපාලනය

ප්‍රජා මූල පදනම බොහෝදුරට සමෘද්ධි නිලධාරීන්ගේ අණසක යටතේ ක්‍රියාත්මක වෙන දේශපාලන සංවිධානයක් බවට පරිවර්තනය විය. නාමික වූ ප්‍රජාමූල සංවිධාන, සමාජ සවිබල ගැන්වීම්, ආර්ථික සවිබල ගැන්වීම් ආදිය සමෘද්ධිය අරක්ගෙන ඇත. ප්‍රජාමූල පදනම හරහා බොහෝ සමෘද්ධි නිලධාරීන් දේශපාලන හස්තයක් බවට පත්විය. 25,000 කට අධික සමෘද්ධි නිලධාරීන්ගේ වෘත්තීය සමිති ජාලය සමෘද්ධිලාභියාගේ ග්‍රහණය මත පළාත් පාලන, පළාත් සභා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බවටද පත්විය. ප්‍රජාමූල සංවිධාන නාමිකව රැස්වෙන, කියන දේ කරන, දෙන දෙයක් කන නාමික සංවිධාන ජාලයකි.

මෙයට අමතරව සමෘද්ධිලාභියාගේ සුළු ණය මුදලින් පවා අල්ලස් ලබාගන්නා දූෂිත නිලධාරිවාදයක්ද සමෘද්ධිය අරක්ගෙන ඇත. සමෘද්ධියේ ප්‍රජා මූල සංවිධාන සැබෑ සවිබල කරන යාන්ත්‍රණයක් වූයේ නම් සමෘද්ධිය සැබෑ සමාජ සංවර්ධන ව්‍යායාමයක් වීමේ පුළුල් ඉඩකඩ පැවතිනි. කෙසේ වුවද දේශාපාලන බලය හා දේශපාලන බලය අනුදැනුම මත පත්වූ දැක්මක් නොමැති කළමනාකරණය, දේශපාලනකරණයට ලක්වූ නිලධාරිවාදය විසින් යම් යම් සාධනීය ලක්‍ෂණද පැවැති සමෘද්ධි ව්‍යාපාරය බහුලව සමාජ විවේචනයට ලක්වූ, රටේ ආර්ථිකයට අතිශය බරක්වූ අවම ප්‍රතිඵලදායක ගරා වැටුණු රාජ්‍ය හා සමාජ සංවිධානයකි. එය විශේෂයෙන්ම කළමනාකාරීව හා මතවාදීව අවසන් හුස්ම හෙලමින් සිටී.

සමෘද්ධි සම්පත් අවභාවිතාව

දුප්පත්කම නැති කරන්න හදන දුප්පතුන් වැඩි කරන ව්‍යාපෘති?

දේපාලන අරමුණ හා බැදුණු දූෂිත අරමුණු වෙනුවෙන් සමෘද්ධිලාභියාට අයත් මූල්‍ය සම්පත් දේශපාලකයාගේ තීරණ ගැනීම මත දීර්ඝ කාලීනව අවභාවිතා වේ. එය මහ දවල් මංකොල්ල හා බලය අයුතු ලෙස භාවිතා කිරීම් වේ. එම අයුතු භාවිතාවන් බිලියන ගණනින් තක්සේරු කළ හැක. සමෘද්ධි අරමුදල් පැහැදිලිව දේශාපලන අරමුණ සඳහා එම මුදල් සැබැවින්ම අයිතිකරුවන්ට නොදන්වා මහ පරිමාණ ලෙස ඉවත්කර ගැනීම නීත්‍යානුකූල නොවන ප්‍රවේශයකි. 1913 දී දේශපාලන සහනාධාර ගැනීමට ලබාගත් රුපියල් බිලියන 3, 2013 දී දැයට කිරුළ සහන ලබාගත් රුපියල් ලක්‍ෂ 600, දිවිනැගුම මුවාවෙන් දේශපාලනය සඳහා විවිධ අවස්ථාවලදී ලබාගත් ලක්‍ෂ 5402, ග්‍රාමීය පාලම් ප්‍රචාරයට ලබාගත් බිලියන 5, 2015 ජනාධිපති අපේක්‍ෂක ප්‍රචාරයට ලබාගත් බිලියන 7 , වතුර ටැංකි බෙදාදීමට ගත් ලක්‍ෂ 1068 සිට පසුකාලීනව කෝවිඩ් වසංගතය මුවාවෙන් දුප්පත්කම මැතිවරණයට යොදාගැනීම ලබාගත් රුපියල් බිලියන 51ක් පමණ වූ මුදල දක්වා සුවිශාල වූ මූල්‍ය සම්පත් ප්‍රමාණයක් දේශපාලන තීරණ ගැනීම් මත සමෘද්ධිලාභියාටත් එම ව්‍යාපාරයටත් අහිමිවී ඇත.

එම මූල්‍ය සම්පත් හා මානව සම්පත් සැබැවින්ම දිළිඳුකම පිටුදැකීමේ අරමුණ සඳහා යෙදවීමට හැකිවන්නේ නම් භාණ්ඩාගාරයේ අරමුදල් මේ සඳහා යෙදවීම සැබවින්ම අවම කළ හැක. වසර 5 ක් පමණ කාලයකදී සමෘද්ධිය ස්වයං මූල්‍ය කළමනාකරණ ආයතනයක් ලෙස අපූරුවට පරිවර්තනය කළ හැක.

මා සමෘද්ධි අධ්‍යක්‍ෂ ලෙස එබදු සැලැස්මක් ඒවා නොතේරෙන ඇමැතිවරයාට හා ලේකම් තුමියට ඉදිරිපත් කොට ඉතා කෙටි කලකින් ඉන් ඉවත්වීමට සිදුවූයේ සමෘද්ධියේ දේශපාලන ප්‍රතිශක්තිකරණය ඉතා ඉහළ බැවිනි.

එ.ජා.ප. කඳවුරේ කලකිරීම

1974 පොදු පෙරමුණ රජය බලයට පත්වීමට සමෘද්ධි පොරොන්දුවත්, එම යාන්ත්‍රණය දේශපාලන අඟ පසඟ සහිතව නිර්මාණය කර යැවීමත් හේතුවිය. මෙහි දේශපාලන රියැදුරන්ද කට්ට සූත්තර වෙට්ට පිත්තල කෙරුමන් විය. 1994 න් පසු දෙවරක් චන්ද්‍රිකා කුමාරතුංග බලයට ඒමටත් 2005 සිට දෙවරක් පොදු පෙරමුණ යාන්ත්‍රණ යටතේ මහින්දට බලයට ඒමටත් ශක්තිය සපයනු ලැබුවේ සමෘද්ධියයි. සමෘද්ධි නිලධාරියා මේ සඳහා සුවිශාල කාර්යය භාරයක් ඉටුකරනු ලැබීය. 1974 සිට 2015 දක්වා පොදු පෙරමුණ සංකල්පය දේශපාලන බලය අල්ලා ගැනීම සමෘද්ධිලාභියා නිහඬ සේවයක් හා අනිවාර්යය සේවයක් ඉටුකරනු ලැබීය. එසේ නොවන්නේ නම් කාඩ් එක කපනවා යන පොදු විය. සමෘද්ධි ව්‍යාපාරය තුළ පැල පදියම් කර ඇත.

එම අතර කාලයේදී ඉතා කෙටි කාලවල් සඳහා බලයට ඒමට හැකිවුවත් එක්සත් ජාතික පක්‍ෂය දීර්ඝ කාලීනව පරාජයට හේතුවක් ලෙස සමෘද්ධි දේශපාලන ව්‍යාපාරය හේතුවිය.

“සමෘද්ධිය තියනතාක් අපට බලයට එන්න බෑ” යන ප්‍රබල හීනමානයක් එක්සත් ජාතික පක්‍ෂය තුළ ගොඩනැගුණි. ඒ සඳහා ජනප්‍රිය විය හැකි විකල්ප වැඩසටහන් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇතත් දුර්වල නායකත්වය එවැනි දෙයක් තේරුම් ගෙන නොතිබුණි. සමෘද්ධිය තවදුරටත් දේශපාලනීයකරණය කිරීමට බැසිලියානුකරණයට හැකිවිය. මේ අතර සමෘද්ධියත්, රටේ ආර්ථිකයත්, සමාජයත් මහා අගාධයක ගිලෙමින් තිබුණි. ඒ සියලු දේ කැටි කොට 2019 ජනාධිපති මැතිවරණයද ඊට සමගාමීවූ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමටද සමෘද්ධිය මූලික කාර්යභාරයක් ඉටුකරනු ලැබීය. එක් පැත්තකින් සමෘද්ධි නිලධාරීන් ප්‍රමුඛ මානව සම්පත් ගමේ ඡන්ද පදනම එම පක්‍ෂයට ලබාදීමටත්, අනෙක් පැත්තේ සුවිශාල සමෘද්ධි අරමුදල් 5000 කෑලි බෙදීම තුළ අසරණ ජනමතය වෙනස් කරගැනීමටත් සමෘද්ධිය පිහිටක් විය.

මේ සියලු දේ එක්සත් ජාතික පක්‍ෂය අසරණ කිරීමට හේතුවිය. නවක සමෘද්ධිය විකල්පයක් ගොඩනැගීමට නොහැකිවූ ඔවුන් සමෘද්ධිය පිළිබඳ යහපත් ආකල්පයකින් පසුනොවන බව නොකිවමනාය. සමෘද්ධි නිලධාරීන් බහුතරයක් පොදු පෙරමුණ දේශපාලනය තුළ හිරවී ඇති බවත්, ඒ හරහා සමෘද්ධිලාභීන්ගේ දේශපාලන ග්‍රහණය වෙනස් බවත් ඔවුන් දනී. කොකාට වාරයක් ආවොත් තිත්තයාටත් වාරයක් එනු ඇත යන්න සිහිපත් කරමින් තිත්තයාගේ ගේමක් ගැසීමට අස්වැසුම සංකල්පය සත්‍යකර දී ඇත.

අස්වැසුමද ඇස්වැසුමද?

ආරම්භක අවස්ථාවේ සිට ජනසවිය වැඩසටහනේ මතවාදිව හා ක්‍රියාශීලීව කටයුතු කළ නිලධාරියකු ලෙසත්, ග්‍රාම සංවර්ධනය, දිළිඳුකම පිටුදැකීම, සමාජ සංවර්ධනය ආදී විෂයන් පිළිබඳ මතවාදි හා දේශීය මෙන්ම ජාත්‍යන්තරවද පන්නරයක් සහිත විචාරයකු ලෙසත් ඇස්වැසුම තවත් දේශපාලන ඇස්වැසුමක් ලෙස කරුණු සහිතව නිර්වචනය කිරීමේ හැකියාව පවතී.

දීර්ඝ කාලයක් තිස්සේ සමෘද්ධිලාභියා හෙවත් ගමේ හා නගරයේ අඩු ආදායම්ලාභී බහුතරයක් මෙම සහනාධාරය ලබාගන්නේ සමෘද්ධි නිලධාරියාගේ ග්‍රහණය තුළිනි. බොහෝ කටයුතු සඳහා ඔහුගේ බලකිරීම් පවතී. නිලධාරියා කියන දේශපාලන පක්‍ෂයට ඔහු ඡන්දය ලබාදිය යුතුය. සමෘද්ධි බැංකුවෙන් ණය මුදලක් ගත්තත් එයින් කීයක් හෝ නිලධාරියාට සංතෝෂම් වශයෙන් දිය යුතුය. සමෘද්ධියෙන් ලැබෙන මුදල යන්නේ සමෘද්ධි බැංකු ගිණුමටය. ඒකෙනුත් එක එක දේවල් වලට අයකර ගනී. අනිවාර්ය ඉතිරිකිරීම් කළ යුතුය. එක්තරා විධියකට සමෘද්ධිලාභියා කල්පනා කරන්නේ නිදහසක් නැති කෙනෙක් ලෙසටය. ඕනෑම දෙයක් දිගු කලක් කරන කොට එපාවෙනු ඇත. සමෘද්ධි නිලධාරියාගේ ග්‍රහණය සමෘද්ධිලාභියා සමග වසර 25 කට අධික වේ. ආර්ථික වශයෙන්, සමාජයීය වශයෙන් හා දේශපාලන වශයෙන් සමෘද්ධිය නිසා සමෘද්ධිලාභියාගේ නිදහස සීමා වී ඇත. ඒ අනුව අස්වැසුම වැඩසටහනේ අරමුණ පිළිබඳ පහත සඳහන් නිරීක්‍ෂණ වැදගත් වනු ඇත.

  1. සමෘද්ධිලාභියා සමෘද්ධි නිලධාරියාගෙන් හා එම වැඩසටහනින් මුදා ගැනීම තුළ ඔහුට කිසියම් නිදහස් මානසිකත්වයක් ඇතිවේ. එබදු මානසිකත්වය නව දේශපාලන සිතුවිලි ඇතිකරනු ඇත.
  2. වසර ගණනාවක් ගියත් සමෘද්ධි බැංකු පද්ධතිය හස්ත කර්මාන්තයකි. එහි නිලධාරීන් හැසිරෙන්නේ නූතන බැංකුවක නිලධාරීන්ගෙන් වෙනස්වය. ඔක්කොම කරන්නේ පොත් පත් හරහාය. නවීකරණය නොවූ පරිගණක භාවිතයක් පැවැතියත් ඒවා නූතන බැංකු පද්ධතියක සිරියක් නොගනී. බොහෝ සමෘද්ධිලාභීන් සැබැවින්ම දුප්පත් නොවේ. ඔවුන් එලෙස අභිෂේක ලබා ඇත්තේ ඒ මගින් වෙනත් වෙනත් ප්‍රතිලාභද පවතින බැවිනි. වර්තමානයේ කුලී කරුවකුගේ දිනක වැටුප් රු.2500 ට අධිකය. සමෘද්ධිලාභියා සමෘද්ධියෙන් ලබාදෙන සොච්චම ලබාගෙන ගෙදරට වී නොසිටී. අඩුම ගානේ කුලී වැඩක් හෝ කරයි. සමහරු පවුල් ව්‍යාපාර කරයි. බොහෝ සමෘද්ධිලාභීන් ඉතා වියපත්ය. ඔවුන් ඇති නැති දූ දරුවන්ගෙන් පෝෂණය වෙමින් සමෘද්ධිය ලබාගනී.

බොහෝ දෙනෙකුට වෙනත් රජයේ හෝ පෞද්ගලික බැංකු ගිණුම් ඇත. සමෘද්ධි බැංකු ගිණුම සමග දීර්ඝ කාලීනව ඔට්ටු අල්ලන සමෘද්ධිලාභියා නූතන බැංකු ගනුදෙනු පිළිබඳව අවබෝධය මත සමෘද්ධියෙන් ලැබෙන මුදල ද බැංකු ගිණුමකට ලැබෙන්නේ නම් ඒ සඳහා මානසික නිදහසකට හා ප්‍රායෝගික පහසුවකට පත්වෙනු ඇත.

ඉහත ක්‍රියාමාර්ගයෙන් සමෘද්ධිලාභියා නිදහස් කර ගැනීමේ මානසික අල්ලසක් හා සමෘද්ධිය නොකපා තවදුරටත් ලබාදීමෙන් සැනසීමක්ද ලබාදී සමෘද්ධිලාභියා වෙනස් දේශපාලන පෙළඹවීමක් වෙත යොමුකිරීම අස්වැසුම සැලසුම් කර ඇත.

  1. සමෘද්ධිය තුළ පොදු පෙරමුණ, වාමාංශිකවූ සමාජවාදී කඳවුරට අයත් භාවිතාවන් ඇත. ලිබරල්වාදීව බලන්නේ නම් මෙය අසාර්ථක මොඩලයකි. වර්තමානයේදී බොහෝදුරට පෞද්ගලිකව දියුණුවීම් සඳහා ලිබරල්වාදී අදහස් සමාජය තුළ ව්‍යාප්තවෙමින් පවතී. සමෘද්ධියේ රැස්වීම හා සතේ සතේ රුපියලෙන් රුපියල එකතු කිරීම බොහෝ සමෘද්ධිලාභියාට වදයකි. එම නිසා සහනාධාරද ලබාගෙන තමාගේ පාඩුවේ ව්‍යාපාරයක් කරගෙන දියුණුවීමේ ලිබරල් චින්තනය වෙත සමෘද්ධිලාභියා පෙළඹවීම පහසුය. අස්වැසුම යන නම තුළම එම අර්ථය ඇත.
  2. එමනිසා අස්වැසුම සමෘද්ධිලාභියා මානසිකව ගලවා ගැනීමේ මෙහෙයුමකි. යම් යම් අනිවාර්යය සමාජ බැඳීම් වලින් නිදහස් කර තැබීමකි. එය එක්තරා දුරකට දිළිඳුකම පිටුදැකීමේ අරමුණවලට වඩා දේශපාලන මෙහෙයුමක් වනු ඇත.

වඩා සුදුසු මොඩලය කුමක්ද?

දිළිඳුකම පිටුදැකීම ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සමාජ හා ආර්ථික මෙහෙයුමකි. එය සමාජ විiාත්මක, ආර්ථික විiාත්මක කරුණු හා බැඳුණු සංවර්ධන ප්‍රවේශයකි. බොහෝ දියුණු රටවල පවතින්නේ කර්තෘකාරක පවේශය සහිත සමාජ සංවර්ධන ප්‍රවේශයක් ලෙසය. එනම් ප්‍රතිලාභියා තමාගේ ආර්ථිකයේ සමාජ එතෙරවීම සඳහා අයිතිකරු බවට පත්කිරීමයි. ඔහු තමාට අවශ්‍ය ප්‍රඥාව සේ ණය මුදල සේ ව්‍යාපාරය හෝ රැකියාව හඳුනාගත යුතුය. ඒ සඳහා උපදේශන සේවාවන් ඇත. ඒවාද රජයන් නඩත්තු නොකරයි. උපදේශකයා පෞද්ගලිකව සේවය සපයයි. අරමුණු ඉටුකළ පසු ඔහුට දීමනාවක් ලැබේ. ප්‍රතිලාභියාගේ වුවමනාව අදහස හා හැකියාව පෝෂණය කිරීමට උපදේශකයා විසින් ප්‍රතිලාභියා පොළඹවයි.

පවුල් ලක්‍ෂ 4 කට 5000 බැගින් තවත් පවුල් ලක්‍ෂ 8 කට 8500 බැගින්, තවත් ලක්‍ෂ 4 කට 15,000 බැගින් ආදී ලෙස දේශපාලන වශයෙන් තීරණය වන වට්ටෝරු දීමනා ක්‍රමය දිළිඳු සහන ක්‍රමයෙන් ඉවත් කළ යුතුය. ප්‍රතිලාභීන් දියුණුවීම සඳහා ස්වයං පෙළඹවීමේ යාන්ත්‍රණයක් හා රජය විසින් ඒ සඳහා පහසුකම් සපයන යාන්ත්‍රණයක් පුද්ගල දියුණුවට හෝ සමාජ සංවර්ධනයට හේතුවේ. දැනට පවතින කර්මකාරක හෝ සහනාධාර ප්‍රතිශය කර්තෘකාරක ප්‍රවේශයකට හෙවත් ප්‍රතිලාභියාට වගකීම් පැවරෙන ක්‍රමයකට පරිවර්තනය කිරීම සාර්ථක ක්‍රමය වනු ඇත.

වෙනත් අද්දැකීම්

මතවාදීව හා ප්‍රායෝගිකව සමෘද්ධි වැඩසටහන කළමනාකරණය කිරීම සඳහා යොමුවූ අයෙක් ලෙස ශ්‍රී ලංකාවේ දිළිඳු සහන ක්‍රමය ග්‍රාම සංවර්ධන ප්‍රතිශතයක් වෙත පරිවර්තනය කළ හැක. සමෘද්ධියේ මූල්‍ය සම්පත්, මානව සම්පත් වඩා කළමනාකාරීව යොදා ගන්නේ නම් මෙය ඒ තුළින්ම කළ හැක.

සමෘද්ධියේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බිහිකළ හැක. ඒ මගින් කුඩා සමාගම් බිහිකළ හැක. තවදුරටත් මහා පරිමාණ ව්‍යාපාර ජාලයකට සම්බන්ධ කුඩා ව්‍යාපාර ජාලයක් මේ හරහා බිහිකළ හැක.

සමෘද්ධිය මගින් මහා පරිමාණයේ මානව සම්පත් සංවර්ධන ප්‍රතිශතයකට යෙදවිය හැක. දේශීය හා විදේශීයව පවතින ප්‍රභූ ශ්‍රම ඉල්ලීම සඳහා සමෘද්ධි වැඩසටහන අපූරුවට යොදාගත හැක. ඒ මගින් සුවිශාල විදේශ ශ්‍රම වෙළෙඳපළක් හඳුනාගනිමින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදිය හැක. සමෘද්ධියේ ඒකාබද්ධ ප්‍රවේශයක් මගින් පවුලේ ශ්‍රමය සිට පහළ ආර්ථිකයේ විශාල පිබිදීමක් ඇතිකළ හැක.

සැබෑ අස්වැසුම වන්නේ ව්‍යාපාරයක පවතින දුර්වලතා හා ශක්තීන් කළමනාකරීව හඳුනාගැනීමයි. ඒ මගින් පවතින මානව හා මූල්‍ය සම්පත් නව කළමනාකරණයට ගොනුකොට සහයෝගීතාවය තුළින් සමාජ පරිවර්තනයක් කිරීම වඩා කාලෝචිත වනු ඇත. දේශපාලනයට කෙසේ වෙතත් ආර්ථිකයට අස්වැසුම ලැබෙන්නේ එවිටය.

ජිනසිරි දඩල්ලගේ

advertistmentadvertistment
advertistmentadvertistment