දුප්පතුන්ට 1138%කින් වැඩිවෙද්දී ධනවතුන්ට වැඩිවීම 160%යි

150

කංචන විදුලි බිල වැඩි කළේ ‘රිවර්ස් සරදියෙල්’ ක්‍රමයට
ගම්මන්පිල කියයි

මෙරට දුප්පත් ජනතාවට විදුලි බිල වැඩිවීම 1138% ක් වෙද්දී පොහොසතුන්ගේ විදුලි බිල වැඩිවීම 160% ක් වන බවත් මෙය ‘රිවර්ස් සරදියෙල් ක්‍රමය’ ලෙස තමා හඳුන්වන බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

2022 අගෝස්තු මාසයට ඒකක 30 දක්වා පාවිච්චි කරන පාරිභෝගිකයන් ඒකකයට ගෙව්වේ රු.2.50 යි. අද ඒක රු.30.00 යි. ඒ අයගේ ස්ථාවර ගාස්තුව රු.30 සිට 400 දක්වා වැඩිවුණා. ඒ අනුව මාසයකට ඒකක 30 ක් භාවිතා කරන අයගේ බිල වැඩිවීම 1138% ක් බවද ගම්මන්පිල මහතා පවසයි.

විදුලි බිල වැඩි කිරීමේදී ඒකක 180 ක් භාවිතා කරන අයට වැඩි කළේ කීයද? 2022 අගෝස්තු මාසයේදී ඒකක 180 ක් භාවිතා කරන අයකුට මාසික බිල 3,755 යි. ඒකක කාණ්ඩ අනුව වෙන වෙනම ගණන් කරලා බැලුවාම දැන් ඒක 9,780 යි. ඒ කියන්නේ බිල වැඩිවීම 160% යි. දුප්පත් මිනිහාට බිල වැඩිවීම 1138% යි. පොහොසත්ම මිනිහාට 160% යි. මේක සාධාරණද? එහෙම නම් මොකක්ද මේ කරලා තිබෙන්නේ? දුප්පතාගෙන් වැඩිපුර අය කරගෙන පොහොසතාට සහන දීම.

ලංවිම 2023 වසරේ ජලයෙන් විදුලි ඒකක මිලියන 4,000 ක් නිපදවීමට බලාපොරොත්තු වෙනවා. ඒ ගණන විදුලි පාරිභෝගිකයන් මිලියන 6.8 න් බෙදුවාම එක් මාසයකට සෑම පාරිභෝගිකයකුටම ඒකක 49 ක් රු.3.50 ගණනේ ලබාදිය හැකියි. මොකද ජල විදුලි ඒකකයක නිෂ්පාදන විදයම රු.3.05 යි. නමුත් ලංවිම පළමු ඒකක 30 ට අය කරන්න යෝජනා කළේ රු.30 ගණනේ. ඊට පස්සේ ක්‍රමයෙන් වැඩිවෙනවා. නමුත් සුපිරි මහල් නිවාස, රජයේ කාර්යාල, බැංකු සාප්පු සංකීර්ණ වගේ ඒවාට අය කරන්නේ පළමු ඒකක 180 ටම රු.40 යි. ඊට පස්සේ රු.47 යි. රු.3 ට හදන ජල විදුලි ඒකකයක් රු.30, රු.50 ට දුප්පත් ජනතාවට විකුණන්නේ දැවැන්ත විදුලි බිල් හදන පාරිභෝගිකයාට සහන දෙන්න. මේක ධනවතුන්ගේ විදුලි බිල දුප්පතුන් ලවා ගෙවීමක්.

ලෝකය පුරාම කරන්නේ සමාජ සාධාරණත්වයේ නාමයෙන් සරදියෙල් ක්‍රමයට ධනපතියන්ගෙන් අරගෙන දිළින්දන්ට දීමයි. රිවර්ස් සරදියෙල්ට රඟපාන කාංචන ඇමැතිතුමා දිළින්දන්ගෙන් අරගෙන ධනපතියන්ට දෙනවා. කොළඹදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment