දුමක්ද? දූවිල්ලක්ද? මොකක් වුණත් පරිස්සමෙන්

124

රට නැවත වතාවක් තැති ගැන්මකට ලක්ව ඇත. ඊට හේතුව බවට පත්ව ඇත්තේ ඉන්දියාවේ සිට පැමිණි ධූලි වලාවන් විසින් මේ වන විට මෙරට අහස ආක්‍රමණය කර තිබීමය. මෙම සටහන තබන අවස්ථා වන විට ද රටට ඉහළින් ඇති අහස අඳුරු අළු පැහැයක් ගෙන ඇත. එබැවින් නිදහසේ “හුස්මක්” ගැනීමේ අයිතිය පවා රටවැසියන්ට අහිමිව යමින් ඇත. බොහෝ දෙනෙක් ඉහළට ගත් හුස්ම “සුසුමක්” කොට මුදාහරිමින් ඇත. හාත්පස පවතින අඳුරු මූසල බව විසින් ඇති කරන ලද බිය පිළිබඳව වගකිවයුතු අංශ පවසා සිටින්නේ පවතින කාලගුණික තත්ත්වය දින කිහිපයකින් පහව යෑමට නියමිත බවත් එතෙක් හෘදයාබාධ, ශ්වසන රෝග සහිත පුද්ගලයන් සහ ගැබිනි කාන්තාවන්, කුඩා දරුවන් වැඩිහිටියන් පවතින වායු ගෝලීය තත්ත්වය හමුවේ ප්‍රවේශම් විය යුතු බවත්ය.

මරණීය විෂ සහිත වායූන්ගෙන් යුත් අධි සාන්ද්‍රිත වායු ධාරා මෙරට අහස ආක්‍රමණය කිරීම හේතුවෙන් ඉකුත් 8 දා වන විට මෙරට වායුගෝලයේ පැවති දූෂිත වායුගෝලීය තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කර සිටින්නේ කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල වායු ගුණ තත්ත්වය microgram 150 240 ක අගයක් ගෙන තිබූ බවය. ඒ අනුව වායු ඝන මීටරයක තිබිය යුතු මයික්‍රො ග්‍රෑම් 50ක අගය ඒ වන විට කොළඹ නගරය තුළ පමණක් පස් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යෑමක් දැකගත හැකි විය. ක්ෂුද්‍ර අංශු විසින් ඇති කරන ලද බලපෑම කොළඹ නගරයට පමණක් සීමා වන්නේ නැත. එම අගය මුලතිව් ප්‍රදේශයෙන් 237ක් ලෙස වාර්තා වූ අතර යාපනය ප්‍රදේශයෙන් 226ක අගයක් වාර්තා විය.

මෙවැනි තත්ත්වයක් රටේ අනෙකුත් ප්‍රදේශ වලින්ද වාර්තා වූ අතර සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ එම අගය 150 ක සීමාව ඉක්මවා යන්නේ නම් එය වාතයේ පැවතිය යුතු ගුණාත්මකභාවය ට බෙහෙවින් තර්ජනයක් විය හැකි කරුණක් බවය. ඒ හේතුවෙන් කෙටිකාලීන හා දීර්ඝකාලීන රෝගාබාධ රැසක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවන්න සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ හැකිතාක් දුරට සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසය. කාබන් මොනොක්සයිඩි, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්පර් ඩයොක්සයිඩ් ආදී ශරීරයට අහිතකර විෂවායු එකට මුසුවී පවතින වාතාශ්‍රය තුළ විශේෂයෙන්ම වැස්සෙන් ආරක්ෂා විය යුතු බව ද මේ වන විට සෞඛ්‍යය විසින් පෙන්වා දී තිබෙන අතර වායුගෝලය තුළ විෂ රසායනික අඩංගු ක්ෂුද්‍ර අංශු පැවතීම හේතුවෙන් ඇදුම, පීනස ආදී ශ්වසන රෝග බහුල ලෙසත් ඊට අමතරව හෘදයාබාධ, අංශභාගය වැනි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින පිරිස් වඩාත් ප්‍රවේශම් විය යුතු බවත් පෙන්වා දෙන සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් වායුගෝලය තුළ පවතින ක්ෂුද්‍ර අංශු රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වීම තුළ පිළිකා ඇතුළු දරුණු සන්ධි රෝග ඇතිවීමේ අවදානමක් ද පවතින බවය.

එබැවින් රට වැසියන් ලෙස අප මේ මොහොතේ ගතකරමින් සිටින්නේ අව්, වැසි, සුළං ආදියෙන් වඩාත් ප්‍රවේශම් විය යුතු තරමක් භයානක වටපිටාවකය. කලක් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම පිණිස මුව ආවරණ අනිවාර්ය කළ රටක් ලෙස මෙරට නම් කරුණු ලැබීය. එම තත්ත්වය කෙමෙන් පහව යමින් පැවැති වටපිටාවක සුළි කුණාටුවක සැඟවී තවත් විපතක් රට හමුවට පැමිණ ඇත. ඉන්දියාවේ සිට මෙරටට ගමන් කර ඇති එම විපත විසින් මේ වන විට ඉහළ අහස මුළුමනින්ම ආක්‍රමණය කර තිබෙන අතර එම වලාවන් කොතෙක් දින පවතීද එතෙක් දිනක් එම විපතින් ආරක්ෂා වී සිටීම අතිශය සෞඛ්‍ය සම්පන්නය. විපත් පිට විපත් පැමිණීම හේතුවෙන් රටම හෙම්බත්ව ඇති වටපිටාවක හෙන ගෙඩියක් ආකාරයෙන් හිස මත කඩා වැටීමට නියමිත විෂ අපද්‍රව්‍ය පිරි දූවිලි වලාකුළු හේතුවෙන් මේ වන විට රටම යම් අන්ධකාරයක ගිලී ඇත. ජන සමාජය තුළ ඒ පිළිබඳ යම් භීතියක් ද හටගෙන අවසන්ය.

දුමක්ද? දූවිල්ලක්ද? මොකක් වුණත් පරිස්සමෙන්

සෑම වසරකම ඉන්දියාවේ දිල්ලි කලාපය ආශ්‍රිත විශාල වගා බිම් වලින් බැහැර කරන අපද්‍රව්‍ය ගොවියන් විසින් ගිනි තැබීම හේතුවෙන් වායු ගෝලයට එක්වන දුමාරය හරහා මෙම ශුද්‍ර අංශු ඉහළ අහසට ගමන් කරන අතර මෙවර වෙනත් වසරවලට වඩා එම තත්ත්වයේ භයානක බවක් හටගෙන ඇත. මෙය සංසිද්ධියක් ලෙස ගත්කල සෑම වසරකම අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා අග්නිදිග ආසියාවේ තායිලන්තය කාම්බෝජය වැනි රටවල මෙවැනි තත්ත්වයන් දකින්නට ලැබෙන අතර දේශ සීමා හරහා අංශුමය ද්‍රව්‍ය සංසරණය දීම හටගන්නා අතර මේ වන විට ආසියානු වායු දූෂණයේ ප්‍රධානම ගැටලුවක් බවට එය පත්ව ඇත. මේ සම්බන්ධ ප්‍රවීණයන් විසින් අදහස් පළ කරමින් කියා සිටින්නේ කෘෂිකාර්මික අපද්‍රව්‍ය දහනයේ දී මෙම තත්ත්වය වඩාත් බරපතළ මුහුණුවරක් ගන්නා බවත් මේ වන විට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ්ූෂ අගය 150 සීමාව ඉක්මවා ගොස් ඇති බවත්ය. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල එම අගය 600 සීමාව ඉක්මවා ගොස් ඇති බවත්ය. එය සම්මත වායු තත්ත්ව දර්ශකයන් දැඩි ලෙස ඉක්මවා යෑමක් බව එම ආරංචි මාර්ග විසින් වැඩිදුරටත් සනාථ කොට ඇත. ඒ හේතුවෙන් මෙරටට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර මේ දිනවල රට පුරා මීදුමක් සේ පැතිර ගොස් ඇත්තේ ඉහත සඳහන් ගින්නෙන් උපන් ක්ෂුද්‍ර අංශුන්ය. ස්වසන සංවේදීතා සහ සංකූලතා ඇති පිරිස් ශරීර ප්‍රතිශක්තිකරණය අඩු මට්ටමක පවතින පිරිස් මේ දිනවල වඩාත් ප්‍රවේශම් විය යුතු අතර එවැනි අය යම් රෝගී තත්ත්වයක් වේ නම් වෛද්‍ය ප්‍රතිකාර පිණිස යොමුවිය යුතුය. එළිමහනේ ව්‍යායාම කිරීමෙන් වැළකී සිටීම, වැඩිපුර ජලය පානය, දිවා කල පිරිසිදු වාතය ලබා දෙන ශාකයක් නිවස තුළ තබා ගැනීම වාතයට නිරාවරණයව පවතින ළිං ආදිය වසා තැබීම මේ දිනවල අනුගමනය කළ යුතු යහපත් සෞඛ්‍ය පුරුදු ලෙස හඳුන්වා දිය හැක. අපට නොපෙනෙන විෂ සහිත ක්ෂුද්‍ර අංශුන් විසින් අප වෙලා ගනිමින් පවතින වටපිටාවක තම තමන්ගේ ආරක්ෂාව වඩාත් වැදගත් බව පෙන්වා දෙන මෙරට සෞඛ්‍ය අංශ එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙම කාලගුණික තත්ත්වය පහව යන තෙක් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තුළින් පවතින තත්ත්වය තරමක් දුරට හෝ පාලනය කළ හැකි බවය.

එබැවින් කිසිවකුටත් වරද පැටවිය නොහැකි ස්වාභාවික සංසිද්ධියක් හේතුවෙන් රට නැවත වතාවක් ව්‍යාකූලත්වයට පත් වීම නතර කළ හැක්කේ ඔබ අප විසින් අපගේ සෞඛ්‍යය ආරක්ෂාව තර කර ගන්නා තරමටය. මීදුමක් සේ අප වටා සැරිසරන කෝටි සංඛ්‍යාත ක්ෂුද්‍ර අංශුන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හටගන්නා දෙයක් වුවද එය අපේ කැමැත්ත මත රටින් පලවා හැරීමට කිසිසේත්ම නොහැක. සියල්ල තීරණය කරනු ලබන්නේ සොබාදහම විසින්ය.

අවසන් වශයෙන් ද සඳහන් කළ යුතුව ඇත්තේ මෙවර ඉන්දියාවේ සිට පැමිණි ධූලි වලාවන් ඉදිරියේදී මෙරට තුළද ඇති වීමේ අවදානමක් පවතින අතර පරිසර හිතකාමි ක්‍රියාපිළිවෙත් දැන් සිටම අනුගමනය කිරීම එම තත්වයෙන් වැළකී සිටීම පිණිස ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයක් වන බවය. මේ වන විට ද ප්ලාස්ටික් ඇතුළු විවිධ කැළි කසළ දහනය හේතුවෙන් දේශීයව හටගත් යම් පාරිසරික අවදානමක් රට තුළ පවතින අතර එහි බරපතළකම මේ වන විටත් අසල්වැසි ඉන්දියාව විසින් අපට පෙන්වා දී ඇත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම මදිකමක් කොට සලකන ජාතියක් ලෙස අප පමණටත් වඩා බැට කා ඇති බැවින් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දැන් සිටම කටයුතු කිරීම තුළ ඉදිරියේදී “හොඳ හුස්මක්” ගත හැකි වටපිටාවක් නිර්මාණය කර
ගැනීම පිණිස මහෝපකාරී වන බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment