දුම්බර රැඳවියකු ළඟ තිබූ නිල් ගලක් බන්ධනාගාර නිලධාරීන් භාරයට

105

දුම්බර බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවකු සන්තකයේ තිබී මැණික් ගලක් යැයි කියන නිල් පැහැති ගලක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

එම සැකකරු සමඟ රඳවා සිටින වෙනත් සැකකරුවකු ලබා දුන් තොරතුරකට අනුව රැඳවියකු යොදවා සිදු කළ පරීක්‍ෂාවකදී මෙම ගල් කැබැල්ල සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකි වී ඇත. මෙම සැකකරු අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාරගත කළ අවස්ථාවේ ඔහු එම ගල ගිල දමා බන්ධනාගාරට රැගෙන ඒමෙන් පසු වැසිකිළියට ගොස් නැවත ලබා ගන්නට ඇතැයි බන්ධනාගාර බලධාරීන් සැක පළ කරයි.

අඟලක පමණ විශාලත්වයෙන් යුතු එම ගල් කැබැල්ල මේවන විට බන්ධනාගාර ප්‍රධානීන් භාරයේ තිබෙන බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන සිදුකරනු ලබන අතර අදාළ ගල් කැබැල්ල මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යවා පරීක්‍ෂා කරවීමට නියමිතව ඇත.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment