දුම්බර සේර ඇල්ල

401

දිය ඇල්ලක වතුර වැටෙන සුන්දරත්වය දිය ඇල්ලේ ඇතුළත පැත්තේ ගල්ගුහාවක සිට නොතෙමි විඳගන්නට නම් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල අසල ස්ථානයක් වන පොත්තටවෙල ගම්මානය කරා පැමිණිය යුතුය. නමින් සේර ඇල්ල ය. සේර ඇල්ල යනු දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් අප රටේ සොබාදහමේ අමිල සම්පතකි. ලංකාවේ ඇති පළල් දිය ඇලි වලින් එකක් වන සේර ඇල්ල සෑදී ඇත්තේ දියුතු ඔය, කිතුල් ඇල්ල හා දුණුමඩල ඔයෙන් පෝෂණය වෙමින් ගලා විත් මානිගල කන්ද කෙළවරින් කඩා හැලීමෙනි. මීටර් 25 ක් පළලකින් යුතු සේර ඇල්ල, උසින් මීටර් 10 ක් පමණ යුක්ත වේ. මානසික සුවය විඳින්නට යන සංචාරකයන්ට මෙම දිය ඇල්ල ආකර්ෂණීය ස්ථානයක් වනු ඇත. මාතලේ සිට රත්තොට හරහා රිවස්ටන් හා පිටවලපතන පසුකර යන විට සේර ඇල්ල වෙත යන මාර්ගයේ හන්දිය හමුවේ. පොත්තටවෙල ගම්මානයේ සේර ඇල්ල පිහිටා ඇත. දුම්බර මිටියාවතේ සුන්දරත්වය දැක ගැනීමට යන ගමනේදී, මේ දිය ඇල්ල පිහිටි පරිසරයේ ගල් තලාවකට බර දී ඇස් පියා ගත්විට දිය ඇල්ලේ දිය දහරාවේ සංගීතය ඇසීමට හැකිවනු ඇත. අවුරුද්දේ වැඩි කාලයක් ඒකාකාරී නිසංසල ජල දහරාවක් ගලා හැලෙන සේර ඇල්ල කොමළිය, වර්ෂාව අධික කාලයන්වලදී නම් නිසංසල නැත. එකවර ඇල්ලේ දිය පහර වැඩි වන නිසා එවැනි අවස්ථාවල ඇල්ල නරඹන්නට යන පිරිස් පරෙස්සම් සහගත විය යුතුය. සේර ඇල්ලේ සුවිශේෂීතාවක් වනුයේ, දිය ඇල්ලට පිටුපසින් ඇති ගල් ගුහාවට යෑමට හැකි වීමයි. දිය ඇල්ලේ පහළ ගල් තලාවේ සිට මෙම ගල් ගුහාව තුළට පිවිසීමට ලී වලින්, යකඩ අත් ඇඳි සහිත පිය ගැට පෙළක් සාදා ඇත. නමුත් එම ගමන පරෙස්සමින් යා යුතුය. ගල් ගුහාවේ සිට දිය ඇල්ල සහ පරිසරය දර්ශනය වන අපූරුව ඔබට කදිම අත්දැකීමක් වනු ඇත. කෙසේ වුවද සේර ඇල්ල නැරඹීමට සුදුසුම කාලය වන්නේ, වර්ෂා කාලය වේ. වර්ෂාව අඩු කාලයට දිය ඇල්ල කඩා හැලෙන ගල මුදුනට ගොස් දියඇල්ල නැරඹීමට හැකියාව ඇත.

මෙම අපූරු දිය ඇල්ලට සේර ඇල්ල යන නාමය ලැබී ඇති ආකාරයද සිත් ගන්නා සුළුය. සේර ඇට මිටක් අත්ලට ගෙන අත්ල දිග හැර සුළැඟිල්ල ඇති පැත්තෙන් අත හැරිය විට සීරුවට සේර ඇට වැටෙන රිද්මයට මෙම දිය ඇල්ල කඩා හැලෙන නිසා මෙම නාමය ලැබී ඇති බව සඳහන් වේ. එසේම මෙම දිය ඇල්ලට සේර ඇල්ල යන නාමය ලැබීම පිළිබඳව ඇති ජනප්‍රවාද අතුරින් එකක් වන්නේ, දිය ඇල්ල ආශ්‍රිතව අතීතයේ දක්නට ලැබුණු සේර නම් මත්ස්‍ය වර්ගයක් නිසා මෙම නාමය ලැබී ඇති බවය. ඇල්ල ආසන්නයේ දිය නෑමට හැකි නමුත්, දිය ඇල්ලේ ජල දහරාව කඩා හැලෙන ස්ථානය ගැඹුරු බැවින් එම ස්ථානයේ දිය නෑම නොකිරීමට වගබලා ගත යුතුය.

එම්. තාරික්

advertistmentadvertistment
advertistmentadvertistment