දුම්රිය ආරක්ෂක හමුදාව නිදි ආරක්ෂාව STF එකට දෙමුද?…අනාවරණ

152

කුඩ්ඩන් සහ හොරු දුම්රිය සුද්දය දමති

දුම්රිය සේවය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. කලට වේලාවට ගමන් ගන්නා දුම්රිය සේවයක් කොහොමටත් අපට තිබුණේම නැත. එසේම, රට හොඳින් ක්‍රියාත්මක කාලයේදීත් අපට අසන්නට ලැබුණේ දුම්රියේ විවිධ වෘත්තීය සංගම් දියත් කර මහජනයා අපහසුතාවට පත්කරන වැඩවර්ජන පිළිබඳ අමිහිරි ප්‍රවෘත්ති හා විඳින්නට සිදුවූයේ අමිහිරි අත්දැකීම් බහුතරයකි. එනමුත් ආර්ථික අර්බුදය ඉහ වහා ගොස් බස් ගාස්තු දරන්නට නොහැකි සේ ඉහළ ගොස් ඇති මෙවන් අවස්ථාවක මහජනයා බලන්නේ බස් ගාස්තු මෙන් අඩක් අඩුවෙන් ගෙවන දුම්රියේ පඩියේ, පොල්ලේ එල්ලීගෙන, එන්ජිමේ එළියේ හෝ වහළයේ හෝ පෙට්ටි අතර කුඩා ඉඩේ හෝ ස්ථානගතවී තම ගමනාන්තයට යෑමටය. එහෙත්, කරුමය නම්, පීලි ගෙවී, ඇණ බුරුල් වී ඇති දුම්රිය මාර්ගයේ කොට කොටා යාමක් මිස දැන් සීග්‍රගාමී දුම්රිය සේවාවක් සිදුවන්නේ නැත. එසේම, එන්ජින් ඔයිල්, බ්‍රේක් ඔයිල්, තව තව අමතර කොටස් හිඟය කියමින් දුම්රිය දුවන්නේ “ස්ලෝ” ගමනකි. කොටින්ම සීග්‍රගාමී දුම්රියවල ගියත් ගමනාන්තයට ළඟාවීම “ස්ලෝ”ය. තව තව ඒ ගැන කතාකරන්නේ නම්, මේ දිනවල දිනකට දුම්රිය වාර 20 කට වඩා අවලංගු කරන්නේ වැඩ කරන්නට සේවකයන් නැති කම නිසා, ඉන්ධන ඉතිරිකර ගැනීමට අවශ්‍ය නිසා හා වෙනත් වෙනත් කරුණු කියමිනි.

නමුත්, මේ මොනවා කීවත් සෑම දුම්රිය ස්ථානයක්ම මගීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී පවතින්නේ කොයි මොහොතේ දුම්රියක් ඒවිදැයි බලාපොරොත්තුවෙනි. ඒ එන දුම්රියත් පොල් පටවාගත් සෙයින් පැමිණෙන්නේ නම්, අතරමගින් නගින මගීන් ගැන තවත් කියන්නට දෙයක් ඉතිරි නොවේ. මේ ඇතැම් මගීන් ගමන් ගන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් දෙමිනි. පෙර කීවාසේ දුම්රිය අඩු කාලවලදී දුම්රිය වහල, එන්ජිම මත පවා මගීන් ගමන් ගන්නා අයුරු දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

නමුත් ප්‍රශ්නය එය නොවේ, මේ සියලු බැරි අමාරුකම් සහ ජනතා අසරණකම් හා දුම්රිය තදබදය මධ්‍යයේ දුම්රිය සේවය තුළ දරුණු ඛේදවාචකයක් ක්‍රියාත්මක වීමය. එනම්, දුම්රිය ආරක්ෂක හමුදාව යන නමින් මහා ලොකු ආරක්ෂක සේවයක මවාපෑමක් තිබුණද මගීන්ගේ මුදල් හා දේපළ මහදවල් මංකොල්ලා කන සොරුන්, ගැටකපන්නන් හා මංකොල්ලකරුවන් පිරිසක් දුම්රිය තුළ භීතිය පතුරුවාලීමය. සැබෑව නම්, අද දුම්රිය ආරක්ෂක හමුදාව අතින් මගීන්ගේ ටිකට් චෙක් කිරීම හැරෙන්නට ඔවුන්ගෙන් ලැබෙන වෙන සේවාවක් දුම්රිය සේවයට නැත. මේ නිසාම නොව, සොරුන්ට, මංකොල්ලකරුවන්ට හා ගැටකපන්නන්ට හිතේ හැටියට පීනන්නට සුදුසු පසුබිමක් අද දුම්රිය තුළ ඇතිවී තිබේ. “තමාගේ ආරක්ෂාව තමා විසින් සලසා ගත යුතුය” යනුවෙන් කී අපේ රටේ එක්තරා ජනාධිපතිවරයෙකුගේ කතාවක් මේ මොහොතේ අපට සිහිපත් වේ. සැබවින්ම අද දුම්රිය තුළ, ස්ථාන තුළ පමණක් නොව, දුම්රිය ස්ථානයට ළඟාවන, දුම්රිය ස්ථානයේ සිට කාර්යාලයට යන කෙටි දුර දක්වා දැවැන්ත සොර ජාලයක් ක්‍රියාත්මක වන බව මේ රටේ පොලිසිය, බුද්ධි අංශ නොදැන සිටීම ඉතා කනගාටුවට කාරණයකි.

දුම්රිය ආරක්ෂක හමුදාව නිදි ආරක්ෂාව STF එකට දෙමුද?…අනාවරණ

අප මේ කතාව කියන්නේ ඉතා වගකීමෙන් හා ඉතා කනගාටුවෙන් හා වේදනාවකිනි. අතිශය පීඩාවක් විඳින දුම්රිය (හා වැඩිමනත් බස්) මගීන් විඳින කටුක වේදනාවන් පිළිබඳව අප හද තුළ උපන් පහන් සංවේගයෙනි.

අප විසින් කරන ලද අධ්‍යයනය අනුව මේ මොහොත වන විටත් මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන දෙක කේන්ද්‍රකර ගනිමින් මෙම දුම්රිය (හා බස්) මගී මුදල් හා දේපළ සොරකම් කිරීමේ හා මංකොල්ලකෑමේ ජාලය ක්‍රියාත්මක වේ. මේ සඳහා ක්‍රියාත්මක වන ඇතැම් සොර කණ්ඩායම් ස්ථානගතවී ඇත්තේ මරදාන පොලිසිය පෙනෙන මානයේය. තවත් කණ්ඩායම් දෙමටගොඩ මිහිඳුපුර නිවාස යෝජනා ක්‍රමය ඇතුළු තදාසන්නයේත්, තවත් කණ්ඩායම් කැලණිය දුම්රිය ස්ථානය හා දෙමටගොඩ දුම්රිය ස්ථානය අතරට ගැනෙන කලාපය භාවිත කරන අතර, ඔවුන් බොහොමයක් අලුත් පාලම යටින් දිවෙන සේදවත්ත හා තොටළඟ ප්‍රදේශයේ දිවිගෙවන්නන්ය. එසේම, දුර ගමන් දුම්රිය දිවෙන ඉහළ ප්‍රධාන මාර්ගයෙන් පැමිණෙන දුම්රිය මගීන්ගේ මුදල් හා දේපළ කොල්ලාකෑම පිළිබඳ චෞර දෙනෙත් ක්‍රියාත්මක වීම පටන්ගන්නේ රාගම දුම්රිය ස්ථානය තුළ පටන්ය. මේ සඳහා රාගම දුම්රිය ස්ථානයේ නිරන්තරයෙන් ද කැලණිය, දෙමටගොඩ හා මරදාන දුම්රිය ස්ථානවල ප්‍රභල වශයෙන්ද මෙම සොර හා මංකොල්ල කණ්ඩායම් ක්‍රියාත්මක වේ. මෙම දුම්රිය ස්ථානවල දුම්රිය පිළිබඳව ස්පීකර් මගින් නිරන්තරයෙන් කරන නිවේදන මගින්ද මේ බව මනාව තහවුරු වේ. මන්ද දිනපතාම හා දිනකට කිහිපවරක් තම මුදල් හා දේපළ සොරාගත් බවට මෙම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලැබෙන මගී පැමිණිලි නිසා විය යුතුය. වැඩිමනත් අප මෙසේ අනාවරණය කරන සිද්ධියට අදාළ සාක්ෂි මරදාන පොලිසියෙන්ද ලබාගත හැකි බව අපගේ විශ්වාසයයි.

මෙහිදී අප දුම්රිය මගීන්ගේ දේපළ ලෙස පුන පුනා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ ජංගම දුරකථනය. මුදල් පසුම්බි, ගමන් මලු නිරන්තරයෙන් නොහොත් දිනපතා සොරකමට ලක්වේ. තත්ත්වය එසේ හෙයින් රත්තරන් මාල, බ්‍රේස්ලට් වැනි දෑ ගැන කතා කිරීමෙන්ද පළක් නැත. මේ සොරකම්වල හා මංකොල්ලාකෑම්වල සාහසිකත්වය කෙබඳුද යත්, දුම්රිය තුළ කවුළුව අසල තමන් අත තබාගෙන භාවිත කරමින් සිටි ජංගම දුරකථනය පවා වේදිකාවේ සිට ඇදගෙන දුවන තත්ත්වයකට දුම්රිය ස්ථානවල ආරක්ෂාව බිඳවැටී ඇත. නමට පමණක් සිටින දුම්රිය ආරක්ෂක හමුදාව ටිකට් චෙක් කිරීම හැරෙන්නට වෙනත් රාජකාරියක් කරන්නේ නැතැයි අප කියන්නේ ඒ නිසාය. බොහෝ විට මේ ආරක්ෂක හමුදාව තුන්වැනි ශ්‍රේණියේ ටිකට් පතකට පමණක් නොව මුළු මාසයටම වාර ප්‍රවේශ පත්‍රයකටද ගෙවා ඉඩ නැති නිසා දෙවැනි පන්තියේ දොරේ යන මගියකු පවා අල්ලා කුදලාගෙන දඩ මුදල් ගන්නට රැගෙන යන මුත්, මෙසේ දුම්රිය ස්ථාන අරක්ගෙන (දෙමටගොඩ දුම්රිය වැසිකිළය සම්පූර්ණයෙන්ම භාවිත කරන්නේ අසල නිවාස සංකීර්ණයේ කුඩුකාරයන් විසිනි). සොරකමේ යෙදෙන කුඩුකාරයන් හා සොරුන් පලවාහැරීමට ඔවුන් කරන රාජකාරියක් නැත.

මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන මේ වන විට සොරුන්ගේ හා ගැටකපන්නන්ගේ පාරාදීසයක් බවට ප්‍රකට වී ඇති බව නොදන්නේ ආරක්ෂක අංශ හා බුද්ධි සේවා අංශ පමණක් බව අප විශ්වාස කරන්නෙමු. මීට සම්බන්ධ වන කුඩුකාරයන් හා සොරුන් දෙමටගොඩ, කැලණිය, රාගම හා මරදාන දුම්රිය ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිත කරමින්ම රාත්‍රී 7-8 න් පසු අල්ලාප සල්ලාපයේ යෙදෙන අයුරු අවශ්‍යනම් මේ කියන ආරක්ෂක අංශවලට නිරීක්ෂණය කළ හැකි බවට මතක් කර දෙන්නට අප කැමතිය. ඒ බව අප කියන්නේ මේ ගැන අප හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පසුවය.

අපගේ නිරීක්ෂණයන්ට අනුව, කොටුවේ – මරදාන මාර්ගය, ආමර්වීදියේ සිට මරදාන මාර්ගය, බොරැල්ලේ සිට මරදාන මාර්ගය ටවුන්හෝල් සිට ඉබ්බන්වල ඔස්සේ (ගාමිණි හෝල්) මරදාන මාර්ගය, කොස්ගස්හන්දියේ සිට දෙමටගොඩ මාර්ගයේ යන බස් රථ සේවා දරුණු ලෙස ගැටකපන්නන් හා සොරුන්ගේ ග්‍රහණයට නැතුව ඇත. අපට ඒ බව තේරුම් ගත හැක්කේ ඇතැම් කොන්දොස්තරලා “පර්ස් පරෙස්සම් කරගන්න” කියා කියන කතාවෙන්ය.

එසේම, කොටුව – මරදාන -දෙමටගොඩ – කැළණිය ප්‍රධාන රාගම දක්වා දුම්රිය සේවය තුළ මෙම ගැටකපන්නන් හා සොරුන්, මංකොල්ලාකරුවන් බහුලව ගැවසෙන බව අප අවධාරණයෙන් කියන්නට කැමතිය. ඒ පසුගිය මාස කිහිපයකම කාලය තුළ සිදුවූ මුදල්, ජංගම දුරකථන, ගමන් මලු සොරකම් හා පැහැරගැනීම් සැලකිල්ලට ගෙනය. මේ නිසා රාගම සිට කොළඹ කොටුව දක්වා සෑම දුම්රිය ස්ථානයකම ආරක්ෂාවට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා මගී ආරක්ෂාව තහවුරු කරන ලෙස අප ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

(මෙම නිරීක්ෂණය සඳහා ප්‍රධාන
මාර්ගයේ දුම්රිය සේවාව පමණක් සැලකිල්ලට
ගනු ලැබූ බව සලකන්න)

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment