දුම්රිය ගමන්වාර 30 ක් අවලංගුයි

144

ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය සේවකයන්හට සිය රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් ඊයේ (01 වැනිදා) දිනයේ කාර්යාල සේවා ඇතුළු දුම්රිය ගමන් වාර 30කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් “දිවයින”ට පැවැසීය.

ඒ අනුව රඹුක්කන, මීරිගම සහ වේයන්ගොඩ දක්වා කොළඹ කොටුවෙන් ආරම්භ වී ප්‍රධාන මාර්ගයේ ධාවනයවන කාර්යාල දුම්රිය කීපයක් සහ හලාවත, පානදුර, වාද්දුව දක්වා ධාවනය වන දුම්රිය කීපයක් මෙලෙස අවලංගු වී තිබිණි.

එමෙන්ම, කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා කලින් ආසන වෙන් කරවා ගෙන ධාවනය වන උදයදේවි දුම්රිය ද අවිස්සාවේල්ල බලා ධාවනය වන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ද අවලංගු වී තිබිණි.

මෙම තත්ත්වය හේතුවෙන් ඊයේ රාජකාරියට පැමිණීමට සිටි මගී ජනතාව විශාල පිරිසක් දැඩි අපහයසුතාවයට පත්වූහ.

මේ ගැන අදහස් දැක්වූ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් එච්. පී. විතානගේ මහතා මෙසේ පැවැසීය.

ඉන්ධන ප්‍රශ්නය නිසා දුම්රිය කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කරන්න බැරිවෙලා තියෙනවා. ස්ථිර වැඩපිළිවෙළක් නොමැතිකමින් දුම්රිය ධාවනය කරන්නත් අමාරු තත්ත්වයක් ඇතිවෙලා. සාමාන්‍යයෙන් දිනකට දුම්රිය ගමන්වාර 360කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මකයි. එහෙත් මේ ඉන්ධන අර්බුදය තුළ දුම්රිය ගමන්වාර 300ක්වත් ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉන්ධන හරියට දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment