දුම්රිය සේවයේ ගැටලු එන්නේ වර්ජන නිසා නොවෙයි අකාර්යක්‍ෂමතාව නිසයි

90

දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ

දුම්රිය සේවාව කාර්යක්‍ෂමව පවත්වාගෙන යෑමේ දැඩි ගැටලු මතුවී තිබෙනුයේ දුම්රිය සේවකයන්ගේ වැඩවර්ජන නිසා නොව, ආණ්ඩුවේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබෙන අකාර්යක්‍ෂමතාවය නිසා යැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසීය.

මෙම ගැටලුකාරී තත්ත්වයන් නිසා දිනපතා දුම්රිය ගමන් වාර 50කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව ඇතැයිද හෙතෙම කීය.

තවදුරටත් අදහස් දැක්වූ විතානගේ මහතා මෙසේ ද කියා සිටියේය.

අවශ්‍ය පහසුකම් නැති නිසා කෝච්චි ටික අද වෙනකොට දුවා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. දුම්රිය එන්ජින් නඩත්තු කරන්න මාර්ග නඩත්තු කරන්න සේවකයෝ නැහැ. දුම්රිය අමතර කොටස්, උපාංග නැහැ. ආණ්ඩුවට අත්‍යවශ්‍ය සේවා මතක් වෙන්නේ සේවකයෝ වැඩ වර්ජන කරන කොටයි. ආණ්ඩුවේ හිතුවක්කාරී ක්‍රියා මාර්ග නිසා අද දුම්රිය සේවය වළපල්ලට යන තැනට ඇවිත් තියෙන්නේ. දුම්රිය පුහුණු සේවකයන්ගේ විශාල හිඟයක් තිබෙනවා. මේ ගැටලු අවුරුදු 2ක ඉඳලයි තියෙන්නේ. මේ ගැටලුවලට විසඳුම් දෙන්නේ නැත්නම් ඉදිරියේ දී අනෙකුත් දුම්රිය වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට යනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment