දුමින්දට ජනපති සමාව… එල්.ටී.ටී.ඊ.යේ 16 ක් ඇතුළු 93 ක් නිදහස්

240

ජනාධිපති සමාව ලැබ නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් පිටව ගිය අයුරු…

 හේමන්ත රන්දුණු, සමන් ගමගේ, ඒ. ජේ. ඒ. අබේනායක, චමින්ද සිල්වා, පර්සි කුරුනේරු, යු. කේ. අබේරත්න

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්‍ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ මරණ දඬුවම නියම වී වසර හතරකුත් මාස නවයක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ (24 වැනිදා* දහවල් නිදහස ලැබීය.

දුමින්දට ජනපති සමාව... එල්.ටී.ටී.ඊ.යේ 16 ක් ඇතුළු 93 ක් නිදහස්

පොසොන් පොහොය නිමිත්තෙන් ජනාධිපතිවරයා විසින් ලබාදුන් පොදු සමාව යටතේ දුමින්ද සිල්වා සහ එල්.ටී.ටී.ඊ. 16 දෙනෙක් ඇතුළු 93 දෙනෙකු මෙසේ නිදහස් කර යැවීමට බන්ධනාගාර පාලන අධිකාරිය ඊයේ ( 24 වැනිදා* කටයුතු කළේය.

 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 75 (1* අ වගන්තිය යටතේ ජනාධිපතිවරයට හිමි විශේෂ බලතල අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු රැුඳවියන් 93 දෙනා නිදහස් කර යැවීමට කටයුතු කර තිබිණි.

 භාරත ලක්‍ෂ්මන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු සිව්දෙනකුට මරණ දඬුවම නියම කර තිබූ අතර ඊට සම්බන්ධ තවත් පුද්ගලයෙක් ඒ වන විට අතුරුදන්ව සිටියේය.

 භාරත ලක්‍ෂ්මන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිරගත කර සිටින චමින්ද රවි ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්දට සහ සරත් බණ්ඩාර යන අයට ජනාධිපති සමාව දී තිබුණේ නැත.

 ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබූ සිරකරුවන් අතර ප‍්‍රබල පෙළේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් 16 දෙනකු සහ සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි රැුඳවියන් 77 දෙනකු ද සිටින බව ද බන්ධනාගාර පාලන අධිකාරිය පවසයි.

 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිර දඬුවම් විඳිමින් සිට නිදහස ලැබූ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගෙන් 15 දෙනකු අනුරාධපුර බන්ධනාගාරයේ ද, එක් අයකු යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි අය බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

 මේ අතර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරදඬුවම් විඳ සහ සාමාන්‍ය වැරදි සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිට නිදහස ලැබූ සියලූම රැුඳවියන් දීර්ඝ කාලයක් තිස්සේ සිරදඬුවම් ලබමින් සිටි අය බවත්, ඔවුන් බන්ධනාගාර තුළ ක‍්‍රියාත්මක කළ පුනරුත්ථාපන වැඩසටහන්වලට සක‍්‍රීයව සම්බන්ධ වෙමින් යහපත් කල් ක‍්‍රියාවෙන් සිටි අය බව ද කොමසාරිස්වරයා පැවසීය.

 මෙසේ නිදහස ලැබූ සියලූ රැඳවියන් පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක් කිරීමෙන් පසු එහි ප‍්‍රතිඵල මත ඔවුන් සියලූ දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිය නිවෙස්වල දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව ද තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 ඒ අනුව ඊයේ දහවල් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ඒ මහතාගේ පියා විසින් පැලවත්තේ පිහිටි නිවස වෙත රැුගෙන ගොස් තිබිණි.

 එහිදී දින 14 ක කාලයක් දුමින්ද සිල්වා මහතා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරන බව ද බන්ධනාගාර පාලන අධිකාරිය පැවසීය.

 පළාත් පාලන මැතිවරණය පැවති ඉකුත් 2011 වර්ෂයේදී ඔක්තෝබර් මස 08 වැනිදා කොලොන්නාවේදී සිදු වු ගැටුමකදී වෙඩි ප‍්‍රහාරයට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්‍ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙක් ඝාතනයට ලක්වූහ.

 එම ගැටුමේදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාද බරපතළ තුවාල ලබා තිබිණි.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් පැවැත්වූ අතර සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

 මෙම ප‍්‍රහාරයට ලක්ව තුවාල ලබා ප‍්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවට ගොස් සිටි දුමින්ද සිල්වා මහතා ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔහුද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

 භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණයේ ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ නඩු විභාග සිදු කෙරුණු අතර 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වැනිදා එහි තීන්දුව ලබා දෙන ලදී.

 මෙම නඩු තීන්දුව බෙදුනු නඩු තීන්දුවක් වූ අතර මෙම ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා වු හිරාන් ගුණරත්න මහතා සිය තීන්දුව ප‍්‍රකාශ කරමින් කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවී නොමැති බැවින් විත්තිකරුවන් 11 දෙනා නිදොස්කොට නිදහස් කළ යුතු බවයි.

 එහෙත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයන් වූ පද්මිණි එස්. රණවක සහ එම්. කේ. ඞී. මොරායස් යන විනිසුරුවරුන් සිය තීන්දුව ප‍්‍රකාශ කරමින් කියා සිටියේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ විත්තිකරුන්ව සිටි දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනාට මරණ දඬුවම ලබා දෙන ලෙසයි.

 ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ දෙදෙනකු සභාපතිවරයාගේ තීන්දුවට විරුද්ධවීම මත 2/1 ලෙස බෙදුනු තීන්දුව ප‍්‍රකාශයට පත්වූ අතර දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනාට මරණ දඬුවම නියම කරන ලදී.

 මෙම තීන්දුව ලබාදීමට පෙර විත්ති පාර්ශ්වයේ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ බෙදුනු තීන්දුවක් මත තම සේවාදායකයා වැරදිකරුවකු වී සිටින බවයි.

 තම සේවාදායකයාට මෙම සිද්ධියේදී බරපතළ තුවාල සිදුවූ බවත් ඔහු මොළයේ ආබාධයකින් පෙළෙන බවත් අනිල් සිල්වා මහතා මහාධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබිණි.

 මෙම නඩුව විභාග කිරීමේදී බාහිර බලපෑම් දැඩිව එල්ල වූ බවද ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එම නඩු තීින්දුව ප‍්‍ර‍්‍රකාශ කළ අවස්ථාවේ මහාධිකරණ ත‍්‍රිපුද්ගල මඬුල්ල හමුවේ කියා සිටියේය.

 මේ අනුව මහාධිකරණය මගින් තමන්ට ලබාදුන් මරණීය දණ්ඩනය අහෝසි කර තමන් සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් පසුවය.

 ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීම ඇරඹුණේ ඉන් අනතුරුවය.

 එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා අතරින් තිදෙනකුට මහාධිකරණයෙන් ලබාදුන් මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක‍්‍රියාත්මක කරන ලෙස ඉකුත් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 11 වැනිදා නියෝග කළේය.

 මහාධිකරණය මගින් මරණ දඬුවම් නියම කර තිබූ අනුර කුමාර ද මෙල් නමැති හිටපු කොස්තාපල්වරයාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කර ඔහු මුදා හැරීමට පංච පුද්ගල කමිටුව නියෝග කර තිබිණි.

 එසේ දඬුවම් විඳිමින් සිටි දුමින්ද සිල්වා මහතා ඊයේ මෙසේ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment