දුමින්දට සමාව දීමට එරෙහි නඩුවෙන් විනිසුරු  ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වෙයි

282

අතුරු තහනම දුන් විනිසුරුවරුන් එපා – දුමින්දගේ නීතිඥයෝ කියති

හිටපු නියෝජ්‍ය අමාත්‍ය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට වරදකරු කර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපතිවරයා විසින් ලබාදුන් පොදු සමාව අභියෝගයට ලක් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පාර්ශ්ව තුනක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ඊයේ (1 දා) ඉවත් විය.

නීතිඥ ශසාලි හුසේන්, සුමනා ප්‍රේමචන්ද්‍ර හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන පාර්ශ්ව තුන ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේදී කැඳවිණි.

එම පෙත්සම් තුන පෙර කැඳවූ දිනයේදී පෙත්සම් සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පවත්වා ලබාදිය යුතු නියෝගයක් එනම් හිටපු ජනාධිපතිවරයා විසින් සිය සේවාදායකයාට ලබාදී තිබූ පොදු සමාව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් තමා විරුද්ධත්වය දක්වන බව ආර්. දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයට පැවසීය. එබැවින් එකී නියෝගය ලබාදුන් විනිසුරුවරුන් තිදෙනා නොමැති පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරි විභාග කටයුතු සඳහා පත්කරනා ලෙසට අගවිනිසුරුවරයා වෙත දැනුම් දෙන ලෙසටද එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා පෙත්සම්වලට පාදක වූ වැදගත් වීඩියෝ දර්ශන කිහිපයක් ඉදිරි නඩු දිනයේදී විවෘත අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

වගඋත්තරකාර පාර්ශ්වය පසුගිය 5 වැනිදා මෝසමක් මගින් කර තිබූ ඉල්ලීම අනුව ඉදිරි නඩු දිනයේදී ඒ සඳහා පියවර ගන්නා ලෙසට විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය. කෙසේ නමුත් අධිකරණය කළ එම නියෝගය සම්බන්ධයෙන් තමන් විරුද්ධත්වය දක්වන බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් හා ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් යන මහත්වරු අධිකරණයට පැවසූහ.

පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර විවාදය ලබන 23 වැනිදා පැවැත්වීමට දින නියම කළ විනිසුරු මඬුල්ල පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වය කළ ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට ද නියම කළේය.

වසර ගණනාවක් සිරගත කර තැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පොදු සමාව ලබාදී මුදාහරිනු ලැබූ සිය සේවාදායකයාව මාස කිහිපයක් තිස්සේ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට පත්කර පෞද්ගලික නිදහස අහිමි කිරීම යුක්ති සහගත නොවන බවද ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment