දුමින්දට සමාව දීම ගැන නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

897

ඒ. ජේ. ඒ. අබේනායක
 

අධිකරණයක් විසින් දඬුවම් නියම කරනු ලබන ඕනෑම පුද්ගලයකු මුදාහැරීමේ අභිමතය ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් ජනාධිපතිවරයාට හිමිකර දී ඇතත් එය කළ යුත්තේ ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34(1* අනු ව්‍යවස්ථාව යටතේ පවරා ඇති නීතිමය ක‍්‍රියාදාමයට අනුව කටයුතු කිරීමෙන් පමණක් වන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබාදී නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
 
 විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් 2/3 ක බහුතර තීන්දුවකින් අනතුරුව අයුතු ජනරාශියක නිරතව මිනී මැරීමේ චෝදනාවට වරදකරු කර මරණීය දණ්ඩනය නියම කළ ආර්. දුමින්ද සිල්වා මහතා ඉදිරිපත් කළ අභියාචනාව අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පූර්ණ විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කර ඇති බව සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ප‍්‍රශ්න හයක් ඇතුළත් ලිපියක් ඉදිරිපත් කරමින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය එම ප‍්‍රශ්න හයට පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.
 
 එලෙස පොදු සමාවක් ලබා දීමට පෙර දඬුවම් ලබාදුන් විනිසුරුවරයාගෙන් හෝ විනිසුරු මඬුල්ලෙන් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා එය නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපතිවරයාගේ උපදෙස් සහිත ලිපියක් අධිකරණ අමාත්‍යවරයා වෙත යොමුකළ යුතු බවත් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය එම ලිපිය මගින් දන්වා තිබේ.
 
 අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය අනුව කටයුතු කිරීමේ හැකියාව පවතින බවත් එම ක‍්‍රියාදාමය අනුගමනය නොකර ආර්. දුමින්ද සිල්වා සම්බන්ධයෙන් සුවිශේෂී ආකාරයෙන් කටයුතු කර ඇතිනම් ඒ සම්බන්ධයෙන් තම සංගමය කිසිසේත්ම ප‍්‍රසාදයට පත් නොවන බව ද ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ ඒකමතික තීරණය අනුව ජනාධිපතිවරයාට යොමුකර ඇති ලිපිය මගින් දන්වා ඇත.
 
 නීතිය මගින් දක්වා ඇති ක‍්‍රියාදාමය අනුගමනය නොකර අත්තනෝමතික ලෙස සිය අභිමතය පරිදි කටයුතු නොකළ යුතු බවත් අතීතයේ එලෙස තෝරාගත් සමාජයේ දැඩි කතාබහට ලක්වූ පිරිසකට ජනාධිපතිවරුන් විසින් පොදු සමාව ලබාදුන් අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් ද තම සංගමය බලවත් අප‍්‍රසාදය පළකර ඇති බවත් ජනාධිපතිවරයාට යැවූ එම ලිපියේ දැක්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment