දුඹුරු පැළ කීඩෑවාට තිත්ත වූ අපේ රතුහීනටි…

286

ව්‍යාපාරික උනන්දුවෙන් සාම්ප්‍රදායික සහලට වැඩි වටිනාකමක්
වැඩිදියුණු කළ සහල් ප්‍රභේද තුළ බහුලව සැරිසරන්නේත් දේශීය ජාන
රතුහීනටි ජාන අතරේ පළිබෝධ මර්දන ඒවා තිබෙන බවට සාක්ෂි ලැබිලා

සාම්ප්‍රදායික සහල් යනුවෙන් ලොකු ඩිජිටල් බැනරයක් සවිකරගත් වෑන් රියක් පසුගිය සතියේදී මහපාරක් අයිනේ නවතා තිබෙනවා දකින්නට ලැබුණි. ඉන් අලෙවි කරනු ඇත්තේ ලංකාවේ ඇතැමුන්ගේ සිත්ගත් දේශීය නමක් යෙදූ සහල් වර්ගයක් විය හැකිය. මේවා සාමාන්‍ය වෙළෙඳපොළේ අද ඇති සහල් මිලටත් වඩා ඉහළ මිලකට අලෙවිකරනු ලබන්නේ පෝෂණීය මෙන්ම ඖෂධීය ගුණය පවා වැඩි වැඩියෙන් ඇති බවට මතයක් ජනගත කරමින්ය. යොදා ඇති නම ඇතැම්විට සිංහලය. සුවඳැල්, කුරුළුතුඩ වැනි නම් ඒ අතර තිබෙනා අතර පච්චපෙරුමාල් යනු දමිල නමකි. හාස්‍යයට කරුණක් වන්නේ පෙර රජදවස මිනිසුන් කෑවේ මෙම සහලින් පිසූ බත් බවත්, දසමහ යෝධයන්ට පවා ශක්තිය දුන්නේ මේවා බවත් ඇතැම් ප්‍රචාර මගින් ඇසින් දුටුවා සේ සමාජයට දන්වා සිටීමය. කිසිදු පර්යේෂණ සනාථ කිරීමක් නොමැති මෙම කතා ඇදහීමටත්, ඒවාහි ඇතැයි කියන ගුණය මත වැඩිමිලක් ගෙවා මේවා මිලට ගැනීමටත් ඇතැමුන් පුරුදුවී සිටී. තම පෞද්ගලිකත්වය මත එයට කිසිදු අවහිරයක් නැත. නමුත් අසාධාරණය වන්නේ එවැනි සුපිරි කෑමක හිමිකාරීත්වය ඇත්තේ කාසිපනම් අතේ තිබෙනා පුළුවන්කාරයන්ට පමණක් යැයි සිතමින් බහුතර ජනතාවක් අසහනයට පත්වීමය. අපගේ අරමුණ වන්නේ මේ සම්බන්ධ විද්‍යාත්මක සත්‍යයය සමාජගත කිරීම මිස කාගේවත් පාරිභෝජන නිදහසට බාධාකිරීම නොවේ.

දුඹුරු පැළ කීඩෑවාට තිත්ත වූ අපේ රතුහීනටි…

පෙර රජ දවසේදී අද මෙන් වැඩිදියුණු කළ වී ප්‍රභේද නොතිබුණු නිසා ජනතාව අනුභව කරන ලද්දේ ඒ කාලයේ ගොවීන් අතර තිබූ දේශීය නමක් සහිත සහල් බවට විවාදයක් නැත. නමුත් මිනිසුන්ට වැඩකරන්නට සවිශක්තිය ලැබුණේ ඔවුන් අනුභව කළ බතෙන් පමණක් නොවේ. “ගැමුණු කාලයෙහි සිංහලයන් වැර වෑයමෙන් ගොවිතැන් කරමින් ජීවත් වූයේ බෞද්ධ උපාසකයන් මෙන් නොව, පරිසරයට අනුරූපව ස්වාධීනව ක්‍රියාකරන්නට හික්මුණු සිතකය ඇත්තන් ලෙසිනි. ඔවුහු ගොවිතැනට හානි කරන සතුන් මැරීමෙන් ගොයම රැකගත්තෝය. මරණ ලද සතුන්ගේ මස් කෑහ. ඒ මසින් ඇතැම්විට භික්ෂූන් පිදූහ. දුනුවායන් වනු පිණිස ඔවුන් වල් වැදී ඌරන්, මුවන් හා ගෝනුන්ද මැරූහ. උන්ගේ මස් අභිරුචියෙන් කෑහ.”

දුඹුරු පැළ කීඩෑවාට තිත්ත වූ අපේ රතුහීනටි…

මෙම කොටස උපුටාගත්තේ 1975 දී මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් ‘නව ගොවි යුගයක උදාව’ ප්‍රකාශනයට ලියන ලද ‘වී ගොවිතැන නිසා උපන් සිංහල සභ්‍යත්වය’ නමැති ලිපියෙනි. ඒ නිසා ඇතැමුන් පවසනා පරිදි පෙර පැවති සහල් වර්ගවලට එකල මානවයා සතුවූ බාහු ශක්තිය හෝ නිරෝගිකම මුළුමනින්ම බැරකිරීම සාධාරණ නොවේ. අනෙක් අතට විද්‍යාවේ අප දන්නා විකෘති හා ප්‍රභේදන කාලයත් සමග අඛණ්ඩව සිදුවීම නිසා සහලේ තිබෙනවා යැයි කියන ඔය කියන ගුණාංගයන් අද වනවිට එලෙසම ඉතිරිව තිබෙනවා කීමටද නොහැකිය. වෙනස්වීම සන්තතව සිදුවෙනා බැවිනි. මෙයට ශතවර්ෂයකට පමණ ඉහතදී එනම් 1924 අප්‍රේල් මස පළවූ ඔරදචසජ්ක Tropical Agriculturist සඟරාවට ඩබ්ලිව්. මොලගොඩ නමැති කෘෂිකර්ම නිලධාරියකු එවකට ලංකාවේ වගාකරන ලද වී ප්‍රභේද පිළිබඳව වාර්තාවක් සපයා තිබිණ. එම නාමාවලියේ තිබුණේ වී ප්‍රභේද 567 කි. නමුත් මෑතකාලීනව වී ප්‍රභේද පිළිබඳව කෙරෙන සාකච්ඡාවලදී බොහෝවිට අසන්නට ලැබෙන්නේ ‘සාම්ප්‍රදායික වී වර්ග’ ලෙස හැඳින්වෙන මෙවැනි ප්‍රභේද දෙතුන් දහසක් අප අතර පැවතුන බවය. මෙම ප්‍රකාශයට ඉවහල් වන එක සාධකයක් විය හැක්කේ පේරාදෙණියේ පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය සතු ජාන බැංකුව තුළ මෙවැනි සංඛ්‍යාවලින් වී ප්‍රභේද ගබඩා වී තිබීමයි. එහෙත් ඒවා දිවයිනේ විවිධ පළාත්වලින් බාහිර පෙනුම සහ ගොවීන් එය හැඳින්වීමට දෙනු ලබන නම පදනම්ව අනුක්‍රමික අංකයක් යටතේ එකතු කළ ද්‍රව්‍ය මිස, එවන් ප්‍රභේද ගණනාවක් සත්‍ය ලෙසම මෙරට පවතිනවා යැයි සිතීමද සාධාරණ නැත. නියමාකාරයෙන් රූපීය හා ජෛව රසයනික විශ්ලේෂණයක් සිදුකළේ නම්, ගොනුවේ තිබෙන අනුපිටපත් බැහැරවී සත්‍ය ප්‍රභේද සංඛ්‍යාව පමණක් ඉතිරිවීම සිදුවේ. මොලගොඩ මහතාගේ ලැයිස්තුවේ ‘රතුහීනටි’ නමින් වී වර්ගයක් තිබුණේ නැත. එසේ නම් එම දේශීය නම 1924 ට පසු කලෙකදී වී ප්‍රභේද සඳහා හඳුන්වා දුන්නකි. රතුහීනටි නමින් වී ප්‍රභේද, අනුක්‍රමික අංක කීපයක් යටතේ ජාන සම්පත් ආයතනයේ බීජ සංචිතය තුළ පවා තිබීම මගින් පැහැදිලිවන්නේ දේශීය ප්‍රභේදයන්ට නම් තැබීම ඉතා ලිහිල්ව හා අක්‍රමවත්ව ඇතැම්විට ගොවීන් මගින්ම පවා සිදුකර ඇති බවයි.

රතුහීනටි තුළ දුඹුරුපැල කීඩෑවා පාලනයට සමත් ජාන ඇතිය යන්න පාදක කරගනිමින් කලක පටන් විදෙස් රටවල පවා පර්යේෂණ සිදුවී තිබේ. අප සතු රතුහීනටි එකතුවේ ඇති තත්ත්වය අවබෝධ කරගැනීම පෙරදැරිව බතලගොඩ පර්යේෂණායතනය මගින් සිදුකළ පර්යේෂණයකදී ලැබුණු සාර්ථක අනාවරණයක් පසුගියදා පැවති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 24 වෙනි වාර්ෂික සමුළුවට ඉදිරිපත් කරන ලදී.

“ජාන සම්පත් ආයතනයෙන් අපිට ලැබුණා රතුහීනටි ප්‍රභේද අටක්. එයින් දෙකක් පැළ වුණේ නෑ. ඒ නිසා ක්ෂේත්‍ර පරීක්ෂණ කෙරුණේ ප්‍රභේද හයක් සමගයි. කීඩෑවාට ප්‍රතිරෝධී යැයි සම්මත Ptb 33 සහ හොඳටම සංවේදී Bg 380 යන ප්‍රභේද සමග මෙම වර්ග හය හරිතාගාර තත්ත්වයන් යටතේ වගාකරලා, ගෘහය තුළට කීඩෑවුණුත් ඇතුල් කරලා දින 30 කට පස්සේ ඉරණම පරීක්ෂා කෙරුවා. සංවේදී ප්‍රභේදයේ ශාක 90% කටත් වඩා පළිබෝධ හානියට හසුවෙලා. එය පදනම් කරගෙන ජාත්‍යන්තරයේ පිළිගන්නා සම්මුතියකට අනුව අනෙක් ප්‍රභේදවල ප්‍රතිරෝධීතාවයේ ප්‍රමාණයට කිසියම් ඇගයුමක් ලබාදුන්නා. මේ අනුව තමයි අනුක්‍රමික අංක 4992 සහ 5579 දරන ප්‍රභේද ‘ප්‍රමාණවත් ලෙස ප්‍රතිරෝධී’(Moderately Resistant) යන තීරණයට පැමිණියේ.”

එසේ පවසන්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතායි. පර්යේෂණයේ දෙවැනි කොටස වශයෙන් මෙම ප්‍රභේදයන්හි නියුක්ලෙයික් අම්ල (ඩී. එන්. ඒ.) නිස්සාරණය කරමින් ඒවා ඇසුරෙන් ජාන සිතියම් ලබාගෙන තිබේ. දැනට තිබෙන දැනුමට අනුව දුඹුරු පැළ කීඩෑවාට ප්‍රතිරෝධී ජාන වශයෙන් Ptb 33 ප්‍රභේදයෙහි ඇතැයි හඳුනාගෙන තිබෙන ජාන වන Bph 2, Bph 3, Bph 10, සහ Bph 13 සියල්ල 4992 සහ 5579 යන දේශීය රතුහීනටි ප්‍රභේද දෙක තුළින්ම හඳුනාගෙන තිබීම ඉතා වැදගත් අනාවරණයකි.

දැන් කළයුත්තේ මෙම ප්‍රභේද දෙක භාවිත කරමින් අභිජනන වැඩසටහන් ආරම්භ කර අදාළ ජාන ගොනුව දැනට ජනප්‍රිය තත්ත්වයට පත්ව ඇති, එහෙත් දුඹුරු පැළ කීඩෑවාට පාත්‍රී වැඩිදියුණු කරන ලද වී ප්‍රභේදයන් තුළට අමුණා ගැනීමයි. මෙවැනි ආගන්තුක ජානයක් හෝ කීපයක් කිසියම් ප්‍රභේදයක් තුළට කැන්දා ගැනීම සඳහා කෙටි ක්‍රමයක් වශයෙන් ජාන ඉංජිනේරු විද්‍යාව වුවත් යොදාගත හැකි වුවද, එලෙස ජාන වෙනස්කරන ලද බෝග, වගාකිරීම හෝ භාවිතය මෙරට තුළ අනුගමනය නොකරන බැවින් සාපේක්ෂව තරමක් වැඩි කාලයක් ගතවුවද, ගතානුගතික අභිජනනය ඔස්සේ මෙය සිදුකෙරෙන බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙවැනි අභිජනනයක් හරහා එක ජානයක ආගමනයකට පමණක් කටයුතු සීමාවේ යැයි සිතිය යුතු නැත. ක්‍රමවත් විද්‍යාත්මක පර්යේෂණ සාක්ෂි රහිතව වුවද, විවිධ වාර්තා මගින් පැරණි වී ප්‍රභේද සතුව නොයෙකුත් පෝෂණ හා ඖෂධීය අගයන් බද්ධවී ඇති බව සඳහන් වේ. පරම්පරා ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වීමට නියමිත දුඹුරු පැළ කීඩෑ ප්‍රතිරෝධී ජාන හඳුන්වාදීම හරහා එවැනි හිතවාදී ගතිගුනවල ආගමනයක්ද සිදුවන්නේ නම් එය එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙක්ගේ දඩයමක්ද වනු ඇත.

සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment