දුරකථනයෙන් වීඩියෝ බලන්න නුදුන්නැයි අට හැවිරිදි දරුවාට පිහියෙන් ඇන්න සිසුවා වස බීලා

787

දුරකතනයෙන් වීඩියෝ නැරඹීමට නොදුන්නැයි උරණ වූ අගුණුකොළපැලැස්ස වැටිය ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දරුවෙකු විසින් අසල්වැසි නිවසේ 08 හැවිරිදි දරුවෙකුට පෙරේදා (05 දා) සවස පිහියකින් ඇන තුවාළ සිදුකර අනතුරුව ඔහුද වස පානය කර ඇතැයි අගුණුකොළපැලැස්ස පොලිසිය පවසයි.

මෙලෙස පහරදීම සිදුකර ඇත්තේ අගුණුකොළපැලැස්ස වැටිය ප්‍රදේශයේම පදිංචි 13 හැවිරිදි සිසුවෙකු වන අතර පිහි ප්‍රහාරය එල්ල වීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ අසල්වැසි නිවසේ පදිංචි 08 හැවිරිදි දරුවෙකි.

සිද්ධියට භාජනය වූ පවුල් දෙකේම දෙපිරිස හා දරුවන්ද ඉතා සුහදව කටයුතු කර ඇති පවුල් දෙකක් වන අතර මෙම දරුවන් දෙදෙනාම ජංගම දුරකතන ඔස්සේ වීඩියෝ නැරැඹීම හා ගේම් සඳහා ඇබ්බැහි වී සිට ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පෙරේදා (05 දා) 13 හැවිරිදි සිසුවා දෙමාපියන් සමග ආසන්නයේ පිහිටි එළවළු කොරටුවකට ගොස් පසුව දෙමාපියන් එහි සිටියදී 13 හැවිරිදි සිසුවා නිවසට පැමිණ අසල්වැසි නිවසට ගොස් තිබේ. එම අවස්ථාවේදී එහි සිටි 08 හැවිරිදි දරුවා ජංගම දුරකතනයෙන් වීඩියෝ නරඹමින් සිට ඇත. එම අවස්ථාවේ එකවරම 08 හැවිරිදි දරුවා “මෙන්න මට ගහනෝ බේර ගන්නෝ” කියා කෑගසන ශබ්දයට අසල්වැසි කාන්තාවක් ඒ දෙස විපරම් කර තිබේ. එහිදී 08 හැවිරිදි දරුවා එම ස්ථානයේ අඬමින් සිටියදීම 13 හැවිරිදි සිසුවා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. පසුව අසල්වැසි කාන්තාව එම ස්ථානයට පැමිණ බලන අවස්ථාවේ පිහියකින් ඇන තුවාල සිදුකර ඇති බව දැක ඒ බව එම දරුවාගේ මවට පැවසීමෙන් පසු ප්‍රතිකාර සඳහා දරුවා කුට්ටිගල රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී 08 හැවිරිදි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇත.

පිහි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු 13 හැවිරිදි සිසුවාද නිවසින් පිටව ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස පොලිසිය හා දෙමාපියන් එක්ව 13 හැවිරිදි දරුවා පිළිබඳව සොයා බැලීමේදී දරුවාගේ දෙමාපියන්ට රාත්‍රී 08ට පමණ වෙනත් පුද්ගලයෙක් දුරකතනයෙන් කතාකර දරුවා කුට්ටිගල රෝහලට ඇතුළත් කර ඇති බව පවසා තිබේ. ඒ අනුව පැමිණ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ පිහි ඇනීම සිදුකිරීමෙන් පසු 13 හැවිරිදි සිසුවාද වස පානය කර ඇති බවයි. වස පානය කළ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිළිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සූරියවැව – රොෂාන් ගුණසේකර සහ මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment