දුරකථනයෙන් හාද වී හමුවීමට එන්න කියා තරුණයාට පහර දී යතුරුපැදියට ගිනි තබයි

826

දුරකථන ඇමතුමකින් හඳුනා ගත් සියැසින් නොදුටු කාන්තාවක් විසින් බියගම, සියඹලාපේ හන්දියේ ශරීර සුවතා ව්‍යායාම මංතීරුවට එන ලෙසට ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව ඩිස්කවරි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි තරුණයෙකුට පහර දී එම යතුරු පැදිය ද ගිනි තබා විනාශ කර දැමූ බව කියන තරුණයින් දෙදෙනකු බියගම පොලිසිය මගින් ඉකුත් සිකුරාදා (14 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම කාන්තාව විසින් මීට දින පහකට පමණ ඉහතදී ආටිගල ප්‍රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි එම තරුණයාට දුරකථන ඇමතුමක් ලබා දී දුරකථනය ඔස්සේ හඳුනාගෙන තිබෙන අතර පසුව ඇය හමුවීම සඳහා ඔහුට බියගම, සියඹලාපේ හන්දියේ තිබෙන ශරීර සුවතා ව්‍යායාම මංතීරුවට පැමිණෙන ලෙසට ඇය විසින් දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

ඒ අනුව එම තරුණයා තමා පැළඳගෙන එන කමිසයේ හා කලිසමේ පාට මෙන්ම පැමිණෙන යතුරු පැදියේ වර්ගය හා පාට ද ඇයට පවසා ඇය පැවසූ ආකාරයට එම තරුණයා ශරීර සුවතා ව්‍යායාම මංතීරුවේ ඇතුළත පාළු තැනකට පැමිණ ඇත. නමුත් මේ අවස්ථාවේ එම කාන්තාව එතැන නොසිටි බව කියති.

ඒ සමගම එතැනට යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු විසින් එම තරුණයාට පහරදී යතුරු පැදියට ද ගිනි තබා පලා ගොස් තිබේ. යතුරු පැදිය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

සිද්ධිය පොලිසියට වාර්තාවීමත් සමගම ක්‍රියාත්මක වූ පොලිසිය විසින් මේ සිද්ධියට අදාළ තරුණයන් දෙදෙනා නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම තරුණයන් දෙදෙනා නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යති. මෙය යම් සිද්ධියකට සිදු කළ පළිගැනීමක් ලෙසට සැක කෙරේ.

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනංජය රාජපක්ෂ, සැරයන් අල්විස් (26942), සිසිර (38026), පො. කො. සේනානායක (88674), සුරංග (69973) හා යොහාන් (99918) යන නිලධාරීහු විසින් මේ වැටලීම සිදු කළහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment