දුවගේ ජීවිතයට වන්දි ගෙවන්න – සමාවෙන්න! කියා පොලිසිය සියල්ල අවසන් කරන්න හදනවා

898

පොලිසියේ උණ්ඩයට දිවි දුන් දියණිය  වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු යනවා
මියගිය තරුණියගේ මව කියයි

බසයක යමින් සිටියදී පොලිස් වෙඩි උණ්ඩයකට නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවූ ඉරේෂා ශ්‍යාමලී නමැති තම දියණිය වෙනුවෙන් සැලකිය යුතු වන්දියක් ඉල්ලා ඉදිරියේදී නීත්‍යනුකූල පියවරක් ගන්නා බව දංඕවිටදී මියගිය තරුණියගේ මව වන සුනේත්‍රා ජයමාන්න (66) මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

මහමග යන විට මෙයාකාරයෙන් තවකෙකු මියයෑම වළක්වාලීමේ අරමුණින් තම දියණිය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව පැවසූ ඇය ඇතැම් අය මානව හිමිකම් කොමිසමට යන ලෙසටත්, තවත් අය සාධාරණ වන්දියක් ඉල්ලා අධිකරණයට යන ලෙසටත් යෝජනා කරන බවද කියා සිටියාය.

මේ මොහොතේ තමාත් දියණියගේ පියාත්, දියනියගේ සොයුරු සහ සොයුරියත් සිටින්නේ දරාගත නොහැකි වේදනාවෙන් බවත් මොනදේ කළත් මියගිය දියණිය යළි නොලැබෙන නිසා මොන දේ කළත් සිත සුවපත් නොවන බව ඒ මව සඳහන් කළාය.

කොල්ලකරුවන්ට එල්ල කළ වෙඩි පහරක් බස් රථයේ ගමන්ගත් දියණියගේ හිසට එල්ලවීම සම්බන්ධයෙන් ‘සමාවෙන්න’ කියා පොලිසිය සියල්ල අවසන් කිරීමට උත්සාහ දරන මුත් මේ විප්‍රයෝගයේ දුක දැනෙන්නේ තම පවුලේ උදවියට බවද ඒ මව හැඬූ කඳුළින් කියා සිටියාය.

ඉරේෂා ශ්‍යාමලී (29) යනු තවත් එක් තරුණියක වුවත් ඇය තම පවුලේ සිටි එකම ගැලවුම්කාරයා යැයිද එම මව කියා සිටියාය.

නිරපරාදේ ජීවිතයට සමුදුන් දියණියගේ අවසන් කටයුතුවලින් පසුව පවුලේ උදවිය සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවද ඉරේෂාගේ මව වන සුනේත්‍රා ජයමාන්න මහත්මිය තවදුරටත් සඳහන් කළාය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment