දුවගේ මගුල ජයට ගන්න බිස්නස් එකට බැස්සා – කෝටි 52 ක කුඩුත් හමුවෙයි

474

* කළුතර SIගේ කුඩු ජාවාරමේ අලුත්ම හෙළිදරව්ව

හේමන්ත රන්දුණු

තම දියණියගේ මංගල උත්සවය තරුපහේ හෝටලයක මහ ඉහළින් පැවැත්වීම සඳහා මුදල් උපයා ගැනීමට තමන් මෙම කුඩු ජාවාරමට සම්බන්ධ වූ බව රුපියල් කෝටි 52 ක හෙරොයින් තොගයක් රාජකාරි නිල ඇඳුමින් කොළඹට ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත.

මීට සති තුනකට පමණ උඩදීද මෙම උ.පො.ප.වරයා සිය රාජකාරි නිල ඇඳුමින් සැරසී ගොස් දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 75 ක් කොළඹට ප‍්‍රවාහනය කර ඇතැයිද එම හෙරොයින් තොගය කොළඹට ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් රුපියල් විසිලක්‍ෂයක මුදලක් මෙම උ.පො.ප.වරයාට හෙරොයින් ජාවාරම්කරුවන් විසින් ගෙවා ඇති බවද මේ වන විට හෙළිදරව්වී ඇත.

කළුතර දකුණ පොලිසියේ උ.පො.ප.වරයකු හෙරොයින් තොග පිටින් කොළඹට ප‍්‍රවාහනය කරන බවට මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වෙතය.

පසුව මෙම ජාවාරම පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා පොලිස් මූලස්ථාන අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා වෙත භාරදීමට පතිනායක මහතා කටයුතු කර තිබිණි.

ඒ අනුව දින පහක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් පසු මෙම ජාවාරම සිදුවන ආකාරය හෙළිදරව් කර ගැනීමට නිශාන්ත සොයිසා සහ පොලිස් පරීක්‍ෂක පද්මලාල් ඇතුළු නිලධාරීන් සමත් වූහ.

ඉකුත් 18 වැනිදා රාති‍්‍රයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීන් ගාල්ල හබරාදුව ප‍්‍රදේශයේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබිණි. හබරාදුව ප‍්‍රදේශයේ එක්තරා ස්ථානයකින් ලබාගෙන ඇති හෙරොයින් තොගය මෙම උ.පො.ප.වරයා විසින් මෝටර් රථයක පටවාගෙන හික්කඩුව ගෝනපීනුවල ප‍්‍රදේශයට රැුගෙන ගොස් තිබුණි.

සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවී කොළඹ ප‍්‍රදේශයට මෝටර් රථය ධාවනය කිරීමට උත්සාහ කරද්දී ගෝනපීනුවල ප‍්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම සමත්වී ඇත.

ඒ වන විට මෙම මෝටර් රථයේ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 52 යි ග‍්‍රෑම් 728 ක් තිබී ඇති අතර ඒවා කිලෝ ග‍්‍රෑමය බැගින් වූ පැකට්වල අසුරා තිබී ඇත.

කළු පැහැති ගමන් මලූ තුනක මෙම හෙරොයින් තොගය අසුරා තිබුණ බව පොලිසිය පවසයි.

සැකකාර නිලධාරියාගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මෙම හෙරොයින් තොගය දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීමේ දොරටුවේදී තවත් පාර්ශ්වයකට භාරදීමට නියමිතව ඇති බවයි.

ඒ අනුව විමර්ශන පොලිස් කණ්ඩායම සැකකාර නිලධාරියාද රැුගෙන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටත්වීමේ දොරටුවට පැමිණ ඇත.

එහිදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් වැගන්ආර් වර්ගයේ රථයකින් පැමිණ මෙම කුඩු තොගය භාර ගැනීමට එහි සිටියහ. විමර්ශන කණ්ඩායම එම සැකකරුවන් දෙදෙනා සහ වැගන්ආර් රථයද අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ද්‍රවිඩ ජාතිකයන් වන අතර 46 හැවිරිදි වියේ පසුවන එක් අයකු වාප්පු ලිපිකරුවෙකි. අනෙක් සැකකරු රියැදුරකු ලෙස රැුකියාව කරන අයෙකි. සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ මෙම මහා පරිමාණ කුඩු ජාවාරම මෙහෙය වන්නේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සලිඳු මල්ෂිත නමැති ජාවාරම්කරු විසින් බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිටි අවස්ථාවේද සලිඳු මල්ෂිත නමැති ජාවාරම්කරු වට්ස්ඇප් දුරකථන මාර්ගය ඔස්සේ ඔවුන්ට දුරකථන ඇමතුම් කීපයක් ලබාදී තිබිණි.

සලිඳු මල්ෂිත නමැති ජාවාරම්කරු 25 හැවිරිදි වියේ පසුවන පානදුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉකුත් 2015 වර්ෂයේදී මොහු හෙරොයින් ග‍්‍රෑම් 15 ක් සමග අත්අඩංගුවට පත්ව ඇති අතර ඒ වන විට මොහු 19 හැවිරිදි වියේ පසුවූ ලාබාල තරුණයෙකි. පසුව ඩුබායි රාජ්‍යයට පළාගොස් ඇති මෙම ජාවාරම්කරු වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරතවී ඇත.

හෙරොයින් තොග පිටින් කොළඹට ප‍්‍රවාහනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව භාරගත් උ.පො.ප.වරයා වාද්දුව ප‍්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙකි.

මොහු වාද්දුව, කොළඹ කොටුව, අම්පාර පොලිස් ස්ථානවල රාජකාරි කර ඇති අතර වසර 9 ක් තිස්සේ අල්ලස් හෝ ¥ෂණ විමර්ශන අංශයේ රාජකාරි කළ නිලධාරියෙකි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකාර උ.පො.ප.වරයා වහාම කි‍්‍රයාත්මක වන පරිදි වැඩතහනමට ලක් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබුණි. සැකකරුවන් තිදෙනා දින හතක රැුඳවුම් නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණ නියෝගයක් ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී ඇත.

මත්ද්‍රව්‍ය නාශක අංශය අපරාධ සංවිධානාත්මක අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක පද්මලාල් ඇතුළු නිලධාරීහු පිරිසක් විමර්ශන පැවැත්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment