දුවද්දී දැවී යාමෙන් ශ‍්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොඳවේ

707

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී තියුණු තරගයකින් පසුව ශ‍්‍රී ලංකාව ලකුණු හතරකින් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්විය. බටහිර ඉන්දීය කොදෙව්හි කුලීජ් හි පෙරේදා (27 දා) රාතී‍්‍ර පැවැති මෙම තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු වාර 47.1කදී ලකුණු 134කට සීමා කළත් පන්දුවාර 46ක් අවසානයේ සියලූ ශ‍්‍රී ලංකා පිතිකරුවන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 130ක් පමණි.

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 135ක පහසු ජයග‍්‍රහණ ඉලක්කයක් හඹායෑමට ක‍්‍රීඩාංගණයට පිවිසි අවස්ථාවේ පන්දු වාර 17.1ක් නිමවන විට ලකුණු 43කට කඩුලූ 7ක් දැවී දැඩි අසීරුතාවයකට පත්ව සිටියේය. එහෙත් අටවැනි කඩුල්ලට නායක දුනිත් වෙල්ලාලගේ සමඟ එක්වූ උපනායක රවීන් ද සිල්වා ලකුණු 69ක සබඳතාවයක් පවත්වමින් ශ‍්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව 112 දක්වා ඉහළ දැමීමට සමත්වූහ. එම සම්බන්ධතාව ප‍්‍රධාන කොට ශ‍්‍රී ලංකා කණ්ඩායමට ජයග‍්‍රහණයේ බලාපොරොත්තු තබා ගැනීමට අවස්ථාව උදාවූ නමුත් අනපේක්ෂිත ලෙස ශ‍්‍රී ලංකා නායකයාගේ දැවී යෑමත් සමඟ යළිත් අවධානමකට ලක්විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යෑමට ප‍්‍රබල වෑයමක නිරතවූ වෙල්ලාලගේ පන්දු 61කදී හතරේ පහර තුනක් සමඟ අගනා ලකුණු 34ක්ද ඔහුට නොමඳ සහයක් දුන් උපනායක රවීන් ද සිල්වා පන්දු 84කදී හතරේ පහර දෙකක් සමඟ ලකුණු 21ක්ද රැුස්කළහ.

අවසන් කඩුල්ල සඳහා විනුජ රන්පුල්ට එක්වූ ටෙ‍්‍රවේන් මැතිව් ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව තවත් ලකුණු 14 කින් ඉහළ දමමින් ජයග‍්‍රහණයට ලකුණු 5ක් දක්වා අවසානයට රැගෙන ඒමට සමත් වුවත් අපරික්ෂාකාරී දුවද්දී දැවී යෑමකට ට‍්‍රවේන් මැතිව් හසුවීමත් සමඟ ශ‍්‍රී ලංකා යොවුන් පිලේ ලෝක කුසලාන සිහිනයද බොඳ විය. මෙම දුවද්දී දැවී යෑමට අමතරව ඉනිමේ තවත් දුවද්දී දැවී යෑම් 3 ක් සටහන්වීම ශ‍්‍රී ලංකා පරාජයේ ප‍්‍රධාන හේතූන් බවට පත්විය. මැතිව් දැවී යන විට අනෙක් අන්තයේ රැුඳී සිටි විනුජ රන්පුල් පන්දු 14 කදී ලකුණු 11ක් ලබා සිටියේය.

ශ‍්‍රී ලංකා නායක වෙල්ලාලගේ මේ තරගයේදී ද කඩුලූ තුනක් දවාලූ අතර මේ තරගාවලියේ තරග හතරකදී ඔහු දවාලූ කඩුලූ ප‍්‍රමාණය 16කි. ඇෆ්ගනිස්තානයට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරතවූ දකුණත් වේග පන්දු යවන විනුජ රන්පුල් ලකුණු 10කට කඩුලූ පහක් දවාලීය.

ශ‍්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ඇෆ්ගනිස්තානයට පැවරීමෙන් පසුව ඇෆ්ගනිස්තාන පිතිකරුවන් ඉනිමේ කිසිදු අවස්ථාවක පන්දු වාරයකට ලකුණු තුනක සීමාව කරාවත් පැමිණීමට අපොහොසක් විණි.

විනුජ් රන්පුල්ගේ සහ ටෙ‍්‍රවේන් මැතිව්ගේ දක්ෂ පන්දු යැවීම මත ඇෆ්ගනිස්තානය පන්දුවාර 25ක් අවසාන වනවිට කඩුලූ හතරක්ම දැවී ලබා සිටියේ ලකුණු 55කි. රන්පුල්ගේ පන්දුවාර 9.1දී ලකුණු දහයකට පිතිකරුවන් පස්දෙනකුම දැවීයෑමත් ඉනිම මුල් පන්දුවාර දහයෙන් පිතිකරුවකු දැවී ලකුණු 13ක් පමණක් රැුස්කිරීමත් මත ඇෆ්ගනිස්තානයට ප‍්‍රමාණවත් ලකුණු

සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාව උදා නොවිණි. නායක වෙල්ලාලගේ මේ තරගයේදී පන්දු යැවීමේ සුපුරුදු පන්දු යැවීමේ දක්ෂතාවයන් තීව‍්‍ර කළේ මැද පෙළ පිතිකරුවන් තිදෙනකු දවාලමිනි. පිතිකරණයේදී ඇෆ්ගනිස්තානයට යන්තමින් හෝ දස්කමක් පෙන්වීමට අවස්ථාව උදාවූයේ ඉනිමේ අවසාන පන්දුවාර හතේදී රැස්කරගත් ලකුණු 46මතය.

ඇෆ්ගනිස්තාන ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ නූර් අහ්මඞ් පන්දු 33කදී ලකුණු 30ක් රැස්කළේ හයේ පහර හතරක් එල්ල කරමිනි. වැඩිම ලකුණු ලාභියා වූ අබ්දුල් හාඩි පන්දු 97කට මුහුණදී ලබාගත් ලකුණු 37ට හතරේ පහර තුනක් සහ හයේ පහරක්ද ඇතුළත් විය. ලකුණු රැුස්කිරීමේදී සාර්ථකවූ අනෙක් පිතිකරුවා වූ අල්ලා නූර් ලකුණු 25ක් ලබාගත්තේ පන්දු 58කදී හතරේ පහරක් සමඟය. ශ‍්‍රී ලංකාව තරගාවලියේ 05 වෙනි ස්ථානයේ සිට 08 වෙනි ස්ථානය දක්වා ඉදිරියේදී තරග වැදීමට නියමිත වෙයි.

ලකුණු සාරාංශය

ඇෆ්ගනිස්තානය පන්දු වාර 47.1කදී සියල්ල දැවී 134යි – (අබ්දුල් හාඩි 37, නූර් අහ්මඞ් 30, අල්ලා නූර් 25, විනුජ රන්පුල් 10/5, දුනිත් වෙල්ලාලගේ 36/3, ට්‍රොවීන් මැතිව් 13/1)

ශ‍්‍රී ලංකාව පන්දුවාර 46කදී සියල්ල දැවී 130යි – ( දුනිත් වෙල්ලාලගේ 34, රවීන් ද සිල්වා 21, චමිඳු වික‍්‍රමසිංහ 16, විනුජ රන්පුල් 11, බිලාල් සාමි 33/2)

advertistmentadvertistment
advertistmentadvertistment